Saani Kaayidham (2022) Tamil Anushka Rasanjana Desilva
චිත්‍රපටයක ප්‍රබලත්වය ඉස්මතු කරවන ප්‍රධාන සාධක හතර විදියට ප්‍රභල පිටපත, ප්‍රභල රංගනය, ප්‍රභල රූපමය භාවිතය හා සංගීතය හදුන්වන්න පුළුවන්. එකී කාරණා හතර ප්‍රබලව හමුවන චිත්‍රපටයක් විදියට පසුගිය දිනක Amozon Prime හරහා නිකුත් වුන Saani Kaayidham හදුන්වන්න පුළුවන්.
චිත්‍රපටයේ කතා තේමාව විදියට වෛරය හා පළිගැනීම හදුන්වන්න පුළුවන් වන අතර චිත්‍රපටයේ එක්තරා දෙබසක් සම්පූර්ණ චිත්‍රපටයම අරුත් ගන්වනවා වගේම චිත්‍රපටය ඒ ඔස්සේ ගලාගෙන යනවා..
“පළිගන්නවා කියන්නේ මොකද්ද කියලා දන්නවද?.. කවුරු හරි අපිට ගලකින් ගැහුවොත් අපිත් ගලකින් ගහනවා..කවුරු හරි අපිට කෙළ ගැහුවොත් අපිත් කෙළ ගහනවා… ඒත් කවුරු හරි අපේ හැමදේම විනාශ කලොත්, හරියට අපේ හීන, අපේ ජීවිත නැත්නම් අපේ බලාපොරොත්තු නැත්නම් අපේ මුළු ලෝකයම හරි විනාශ කලොත් ඒ කෙනාව හිරේට යවනවා… ඒකට පළිගැනීමක් කියනවද?..”
තමන් සතු සියල්ල නැතිවී ගිය මිනිසෙක් හා ගැහැණියක් සිය හෘදසාක්ෂිය වෙනුවෙන් සිදුකරන පලිගැනීමක් වටා යන කතාවේ වෛරය හා පළිගැනීම කතා තේමාව නිසාම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් සීමිත ගනනකට සීමා වුනත් මේ චිත්‍රපටයේ පළිගැනීම හා වෛරයට එහා ගිය සියුම් මානුෂීය කාරණා ඉස්මතු කරවීමට චිත්‍රපටයේ රචකයා සමත් වෙලා තියෙනවා.
මීළඟට චිත්‍රපටයේ රංගනය ගැන කතා කලොත් වර්තමානයේ දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ නැගී එන යොවුන් දක්ෂ නිළියක් වන ක්‍රීති සුරේෂ් හා ප්‍රවීණ චිත්‍රපට නළුවෙක් වන සෙල්වරාගවන් ප්‍රධාන චරිත හරහා විශිෂ්ඨ රංගනයක චිත්‍රපටය පුරාවට යෙදෙනවා දකින්න පුළුවන්.. විශේෂයෙන්ම ක්‍රීති සුරේෂ් Mahanathi චිත්‍රපටයෙන් පසුව සිය රංගන දිවියේ වෙනස් හා සාර්ථක කඩයිමක් මේ හරහා පසුකිරීමට සමත් වන රංගනයක් චිත්‍රපටයෙන් දකින්න පුළුවන් වෙනවා.
චිත්‍රපටයේ රූප රාමු ගැන අනිවාර්යෙන් කතා කල යුතු වනවා.කතා තේමාව ප්‍රබලව ඉස්මතු කරවීමට රූපය හසුරවන ආකාරය ඉතා විශිෂ්ඨයි හා කැපී පෙනෙන සුළු වනවා.අතීත මතක පෙන්වීමට යොදා ගෙන ඇති කළු සුදු රූපරාමු වල කැමරා සංයෝජනය සිදු කිරීම ඉන්දියානු සිනමාවේ කලාතුරකින් දකින්න ලැබෙන විශිෂ්ඨ රූප රාමු පෙළක් බවට අවිවාදාත්මකයි… චිත්‍රපටයේ රූප රාමු හරහා කතාවේ තීව්‍රතාවය හා ප්‍රකාශනය සිදු කරන අාකාරය නිසාම මේ චිත්‍රපටය නැවත නැවත විශිෂ්ඨ යැයි කීම අතිශෝක්තියක් නොවනු ඇති බව සිතනවා.
අවසාන වශයෙන් චිත්‍රපටයේ සංගීතය ගැන කතා කලොත් කතා තේමාවට ගැලපෙන ආකාරයේ කතා තේමාවේ සියුම් වෙනස් වීම් වලට ගැලපෙන ආකාරයේ විශිෂ්ඨ සංගීත මෙහෙයවීමක් සිදු කර ඇති බව පෙනී යනවා.. රූපය හරහා ඇසත් සංගීතය හරහා කනත් හසුකරගෙන පැය දෙකකට වැඩි කාලයක් ප්‍රේක්ෂකයාව තිරය ඉදිරිපිට රදවා තබාගැනීමට නිර්මාණකරුවා චිත්‍රපටය හරහා සමත් වී තිබෙනවා.
අවසාන වශයෙන් ඇතැම් සුළු සුළු අඩුපාඩු තිබුණා වුනත් දකුණු ඉන්දීය සිනමාකර්මාන්තයෙන් බිහිවු තවත් විශිෂ්ඨ චිත්‍රපටයක් විදියට Saani Kaayidham චිත්‍රපටය හදුන්වන්න පුළුවන්…