Rumor – Vijai vs Surya
❤️ සූර්යා – විජේ ❤️
“විජේ තමයි හොදම සූර්යා කවුද?”
ඇත්තටම මේ නම් දෙක දැක්කම අපේ ඔලුවෙ මැවෙන දෙයක් තියෙනවා… ඒ තමයි දැඩි තරගකාරීත්වය… නැත්නම් සරල භාෂාවෙන් කීවොත්, Rivalry ! මේ වගේ rivalsලා ඕනෙම සිනමාවක අපිට දකින්න පුලුවන්, හින්දි සිනමාවේ, ශාරුක්-අමීර්-සල්මාන් වගේම පැරණි සිංහල සිනමාවේ විජය-ගාමිණී කියන්නේත් මෙන්න මේ වගේ rivalsලා තමයි…. සූර්යා -විජේ කියන්නේ කොලිවුඩයේ දැනට සිටින දැවැන්තම තරගකාරි නළුවන් දෙදෙනෙක්… කොතරම් තරගකාරීද කීවොත්, ඔවුන්ගේ රසික රසිකාවියන් ඇණකොටාගෙන ගහමරාගන්නා තරමටම මේ තරගය උණුසුම්…! හරි…එහෙනම් අපි මේ කතාවේ මුලටම යමූ…
සූර්යායි විජේයි මුලින්ම හමුවන්නේ චිත්‍රපට ක්ෂේත්රයේ දී නම් නෙවෙයි… ඔවුන් දෙදෙනාම ඉගෙනගෙන ඇත්තේ චෙන්නායි නුවර ලොයෝලා කොලේජයේ… විජේයි සූර්යාට වඩා එක අවුරුද්දකින් සීනියර්ලූ… දැනටත් ලොයෝලා කොලේජ්හී ආදිශිෂ්‍ය සංගමේට අයත් වට්සැප් ගෘප් එකේ, සූර්යා හා විජේයි දෙදෙනාම ඉතාමත් ක්‍රියාකාරී ලෙස සිටින බව සූර්යා පසුකාලීනව ප්‍රකාශ කර තිබෙනවා.. “නේරුක්කු නේර්” චිත්‍රපටය සූර්යාගේ ප්‍රථම සිනමා අත්දැකීම වූවාට, එහි අනෙක් ප්‍රධාන චරිතය රගපෑ විජේයි ඒ වන විටත් ක්ෂේත්රය තුල යම් තැනක් හදාගෙන සිටි කෙනෙක්… ඉතින් මේ අලුත ආපු සගයාට හැකිපමණ උදව් කරන්නට විජේයි පසුබට වෙන්නේ නම් නෑ… නේරුක්කු නේර් චිත්‍රපටයේ රූගතකිරීම් පුරාවටම සූර්යා සමග හොදින් කුළුපග වූ විජේයි ගැන සූර්යාගේ හිතේ හොද පැහැදීමක් ඇතිවෙනවා…
පසුව දෙදෙනාම එක්ව රගපෑ Friends චිත්‍රපටයේ සැලකිය යුතු සාර්ථකත්වයත් සමගම මේ දෙදෙනා ඉතා හොද මිත්රයින් බවට පත් වෙනවා… කාලයත් එක්ක තම තමන්ගේ මාර්ග වලට දෙදෙනාම පිවිසුන අතර, කෙටි කාලයක් යන විට දෙදෙනාගේම චිත්‍රපට සුපර් හිට්, බ්ලොක්බස්ටර් බවට පත් වන්නේ, ඉතා තරගකාරී චිත්‍රපට රැසක් සමස්ථ ප්‍රේක්ෂකයා වෙත දායාද කරමින්.. සෑම වසරකම පාහේ කරට කර තරඟවදින මේ දෙපලගේ චිත්‍රපට අතිසාර්ථක ඒවා බවටද පත් වෙනවා… මේත් සමගම මේ දෙදෙනා ගැන නොයෙක් ආකාරයේ කතන්දර ද මතු නොවුනා නොවේ…
මේ දෙපළ එකිනෙකා ප්‍රිය නොකරන බවත්, මුණගැසෙන අවස්ථා වලදී මගහැර යන බවත් මේ කටකතා අතර විය.. නමුත් ඒ සියල්ලක්ම බොරු කරමින්, සූර්යා මෙන්ම විජේයිද බොහෝ අවස්ථා වලදී එකිනෙකාව අගය කිරීමට ලක් කර තිබෙනවා… සූර්යා පවසන ආකාරයට, ඔහු විජේගේ චිත්‍රපටයක් නැරඹූ විගස විජේ වෙත ප්රශංසනාත්මක SMS පණිවිඩයක් යවන අතර, එලෙසම SMS පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් විජේගෙන්ද තමන්ගේ චිත්‍රපටයක් තිරගත වූ පසු ලැබෙන බව ඔහු වරෙක කියා සිටියා… එසේම ඔවුන් හමුවූ අවස්ථාවන් වලදී චිත්‍රපට ගැන කතා කරනවාට වඩා පවුලේ තොරතුරු ගැන කතාබහ කරන බවද ඔවුන් මාධ්‍යයට අදහස් දක්වා ඇත..
මේ දෙදෙනා මෙන්ම දෙදෙනාගේ බිරින්දෑවරුන් වන ජෝතිකා හා සංගීතාද හොද යෙහෙළියන් ය… විජේගේ එක්තරා උපන්දින සාදයක් සදහා, විජේ පුද්ගලිකවම සූර්යාට දුරකථනය මගින් ආරාධනා කර ඇති අතර, සූර්යා ප්‍රමාද වී පැමිණෙන නිසා සාදය මදක් දිගු කිරීමටද ඔහු කටයුතු කර ඇති බව පසුකලෙක විජේ විසින්ද පවසා තිබුනා… මීට අමතරව, විජේ සූර්යාගේ “ආදවන්” චිත්‍රපටයේ ගීත ඇල්බමය නිකුත් කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තෙක් ලෙසද සහභාගි වී ඇත…. එසේම ඔවුන් දෙපළ සම්මාන උළෙලකදී එකිනෙකා ළඟින් වාඩි වී ඉතා සතුටින් කතාබස් කරනා ආකාරය රැගත් පින්තූර සහ වීඩියෝ පට අන්තර්ජාලය පුරා උණුකැවුම් මෙන් පලවූ කාලයක්ද තිබුණි…
ඉතින් සැබැවින්ම ඔවුන් හොද මිතුරන් යැයි කීමට මීටත් වඩා සාක්ෂියක් කුමටද ? කෙසේ හෝ සූර්යා හා විජේ එකිනෙකට සංසන්දනය කිරීමට යාම නම් අනුවණ ක්‍රියාවක් බව ඔබත් මමත් හොදාකාරවම දන්නවා ඇති… විජේට ඔහුටම ආවේණික වූ රංග පෞරුෂයක් තිබෙනවා සේම, අපගේ වීරයා වූ සූර්යාටද විජේගෙන් හාත්පසින්ම වෙනස් වූ රංග පෞරුෂයක් ඇත… ඉතින් “විජේ තමයි හොදම සූර්යා කවුද?”, නැතිනම්, “සූර්යා තමයි සුපිරි, විජේ වැඩක් නෑ” කියමින්, තමන්ගේ නලුවා තමයි හොදම කියාගෙන අනෙකා පහත්කර සලකන බොහෝ බාල අදහස් ඇති අයට නම් මේ ලිපිය තිත්ත රසයක් ගෙන දෙනු ඇත…
ඒත් ඇත්තම කතාව නම් සැබෑ දිවියේ ඔවුන් එකිනෙකා අගය කරගන්නා, හොද මිත්රයින්..!!! ස්තූතියි ??
(අන්තර්ජාලයේ පලවූ ලිපි ඇසුරින් ලියන ලදී)