Rocketry : The Nambi Effect by Ramitha Vimukthi
ඉන්දියානු සිනමාව තුල අභ්‍යවකාශ සම්බන්දව චිත්‍රපට ඇත්තේ ඉතාම අවම ප්‍රමාණයක්. එම අවම ප්‍රමාණය අතරින් 2019 දී තිරගත වුනු Mission Mangal මෑත කාලීනව විශාල අවදානයක් ලබා ගත් චිත්‍රපටයක්. එයට පාධක වූයේ ඉන්දියාවේ Mars Orbitary Mission එකයි. Mission Mangal බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් වූවත්, එයට පාධක වූ ප්‍රධාන තේමාව පිලිබඳ ප්‍රභල අධ්‍යනයක් තිබුනේ නැත. විවිද වාණිජමය අංගයන් යොදා ගැනීම නිසා එහි සංකීර්ණ තේමාව නිසි ලෙස අධ්‍යනය කර තිබුනේ නැත. එය තිරගතවී වසර හතරකට පසුව Rocketry : The Nambi Effect චිත්‍රපටය තිරගත වනවා. ඉන්දීය අභ්‍යවකාශ ඉතිහාසයේ දැවැන්ත චරිතයක් වන නම්බී නාරායනන්ගේ ජීවිත කතාව Rocketry ඔස්සේ ප්‍රධාන වශයෙන් අධ්‍යනය වනවා. Mission Mangal චිත්‍රපටයට පෙන්නුම් කිරීමට නොහැකි වූ පැතිකඩ Rocketry පෙන්නුම් කළා කිවහොත් එය නිවැරදිය. මෙහි නම්බී නාරයනන් ලෙස ආර්. මාධවන් ප්‍රධාන චරිතය රඟ දක්වනවා පමණක් නොව, මෙහි අධ්‍යක්ෂණයෙන්/ තිර රචනයෙන් සහ සම නිෂ්පාදනයෙන්ද ඔහු දායක වනවා.
නම්බී නාරායනන්ගේ ජීවිත කතාවෙන් බිඳක් :
නම්බී නාරායනන් යනු ඉන්දීය අභ්‍යවකාශ වැඩසහන වෙත දැවැන්ත දායකත්වයක් ලබා දුන් අභ්‍යවකාශ ඉංජිනේරුවෙක්. ISRO (Indian Space Research Organisation) හි මූලිකව කාර්මික අංශයෙන් සේවය කළ නාරායනන්ට, ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් හිමි වනවා. මහාචාර්ය Luigi Crocco යටතේ Chemical Rocket Propulsion සම්බන්දයෙන් හැදෑරීමට ඔහුට අවස්ථාවක් හිමි වනවා. ඔහුට NASA Fellowship එකක්ද පිරිනැමුණත්, නාරායනන් බොහොම කෙටි කලක් ඇතුලත නැවත ඉන්දියාවට පැමිණෙනවා. දැවැන්ත පඩියක් සහ ඇමරිකානු සමාජයේ ඉන්දියාවට වඩා පහසුවෙන් ජීවත් විය හැකි අවස්ථාවක් ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඊට හේතුව නාරායනන් තම මව් රටේ දියුණුවට බෙහෙවින් කැපවී සිටින දේශප්‍රේමියෙක් නිසා. ඔහුගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ඇමරිකාවෙන් ලබාගත් දැනුම, ඉන්දීය අභ්‍යවකාශ වැඩසහනේ ඉදිරි ප්‍රවර්දන කටයුතු වෙනුවෙන් බෙදා ගැනීමටයි. එහි ප්‍රතිපලයක් වශයෙන් liquid fuelled rocket engine සංකල්පය, ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනට හඳුන්වා දෙන්නේ නාරායනන් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමයි. ඉන් නිර්මාණය කළ පළමු එන්ජිම විකාස් (Vikas) ලෙස නම් කර තිබෙනවා. එතැන් පටන් බහුතරයක් ඉන්දීය අභ්‍යවකාශ මෙහෙයුම් වලට යොදා ගන්නේ මෙම Vikas එන්ජිමයි. මෙවැනි දැවැන්ත කාර්යක් තම මව් රටට සිදු කළ නම්බී නාරායනන්ට, අසත්‍ය බරපතල චෝදනාවක් හමුවේ සිර භාරයට ගැනෙනවා. එය සිදුවීමට පාධක වූ හේතු සහ නම්බී නාරායනන්ගේ ජීවිත කතාව විස්තර සහිතව දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුය.
Rocketry : The Nambi Effect ප්‍රධාන වශයෙන් අයත් වන්නේ Biographical ශානරයට. විටෙක ඒකාකාරී ස්වාභයක් තිබෙන මෙම ශානරයට හොඳ රසාස්වාදයක් එකතු කිරීමට මෙම චිත්‍රපටය සමත්වී තිබෙනවා. නම්බී නාරායනන් යනු දැඩි අදිෂ්ඨානශීලී පෞරුෂයක් තිබුනු පුද්ගලයෙක්. තම රට වෙනුවෙන් කැප වුනු එම දැවැන්ත පෞරුෂය ඇතුලත, සංකීර්ණ ගති පැවතුම් ඇති කළු සුදු මිශ්‍ර චරිතයක්ද ජීවත් වූවා. රැකියාවට පළමු තැන ලබා දුන් පුද්ගලයෙක් වශයෙන්, නම්බී නාරායනන්ට තම බිරිඳ සහ දරුවන් මග හැරෙනවා. රැකියාව සහ රට වෙනුවෙන් ඇති කැපවීම නිසාම, මානුෂීය වශයෙන් දැඩි අවස්ථාවාදී තීරණද ගෙන තිබුනා. ඒ සමගම තම රට වෙනුවෙන් ඕනෑම භයානක අන්තයකට යාමටද අදිෂ්ඨානයක් තිබූ පුද්ගලයෙක් ඔහු. මෙම චිත්‍රපටයේ තුල ඉතා සමබරව නාරායනන්ගේ ජීවිතයේ මෙම පැතිකඩවල් පෙන්නුම් කර තිබුනා. මෙම චරිතය චිත්‍රපටය තුල ඉතා මානුෂීය ලෙස දැනෙන්නේ එය නිසා. ඒ සමගම නොකරපු වරදක් වෙනුවෙන් අත්විඳීමට සිදුවන හිංසනය දුටු විට, නාරායනන්ගේ ජීවිතය දෙස සංවේදනාත්මකව බැලීමට අපව පොළොඹවනවා.
ආර් මාධවන් මෙහි රංගනයට අමතරව අධ්‍යක්ෂණයට සහ තිර රචනයටද දායක වීම, කලාකරුවෙකු වශයෙන් ගත් විශාල අභියෝගයක්. යම් අඩුපාඩු තිබුනද ඔහු මෙම අංශ ත්‍රිත්වයේම සමස්තයක් වශයෙන් සාර්ථක වී ඇත. නම්බී නාරායනන්ගේ චරිතයේ ඇති විවිද කාල සීමාවන් ඔහුගේ රංගනය හමුවේ ඉතා ප්‍රභලව ඉස්මතු වුනා. විශේෂයෙන්ම එම චරිතයෙන් ප්‍රේක්ෂකයාට ඇඟවිය යුතු එම සංවේදනාත්මක පැතිකඩ, ඉතා සාර්ථකව මාධවන්ගේ රංගනයෙන් පෙන්නුම් කළා. නාරායනන්ගේ බිරිඳගේ චරිතය වන මීනාට පණපොවන්නේ සිම්රන්. සිම්රන්ට ඉතා සීමිත දර්ශන කාලයක් හිමි වූවත්, ලැබුණු අවස්ථාවෙන් උපරිමය ලබාදී තිබෙනවා. චිත්‍රපටයේ යම් අඩුපාඩුවක් ලෙස ප්‍රධාන වශයෙන් දනුණේ මෙහි flashbacks අතර ඇති ඇතැම් දර්ශනයන් තුල අපැහැදිලි බවක් තිබුනා.
මෙහි තාක්ෂණික අංශයන් තුලින් Sirisha Ray ගේ සිනමාකරණය සහ Sam C. S ගේ සංගීත අධ්‍යක්ෂණයද කැපී පෙනුණා. ඒ සමගම කලා අධ්‍යක්ෂණය සහ වේෂ නිරූපණයද හොඳ මට්ටමක දක්නට ලැබුනා.
මෙම වසරේ දමිළ සිනමාවෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස මෙය නම් කරන්නට පුළුවන්.