Reservoir Dogs (1994) English | Sinhala Article

Reservoir Dogs (1994) English by Kosala D Maduraweera

⭐⭐⭐⭐

Quentin Tarantino ගෙ 2000ට පස්සෙ ආපු නිර්මාණ කිහිපයක් නරඹලා තිබුණට ඔහු ගමන පටන් ගත්ත තැන ඉඳන් ආපු නිර්මාණ මම නරඹලා තිබුනෙ නැහැ. ඉතින් ඒ කාර්‍යය පටන් ගත්තා.

Reservoir Dogs තමයි ටැරාගෙ පළවෙනි අධ්‍යක්ෂණය. එහෙත් මම Jackie Brown (1997) බැලුවා Reservoir Dogs (1992) ට කලින්. ජැකී බ්‍රවුන් ෆිල්ම් එකේ මම දැක්ක විශේෂ ලක්ෂණ කිහිපයක් තිබුණා.

– එකක් තමයි ඒකෙ කතාව ඇත්තටම මේ ලෝකෙ කොහේ හරි තැනක සිදු විය හැකි සිදුවීමක් අලලා තමයි ගොඩ නඟලා තිබුණෙ. ඒ කියන්නෙ අතිශයෝක්තියක් නැහැ. එදිනෙදා ජීවිතයේ දි ඔබට යි මට යි පවා ඒ වගේ සිදුවීම් අත් දකින්න පුළුවන්. ඒ කියන්නෙ ඒ වගේ සිදුවීමක් මේ සමාජයේ සිදුවිය හැකි යි. ඒ කියන්නෙ යතාර්ථවාදී යි.

– ඊ ලඟ කාරණය තමයි කතාව ගොඩ නගලා තිබුණ අපූරුව. කිසිම තැනක හිල් තිබ්බෙ නැහැ. ගානට පටන් ගත්ත තැන ඉඳන් අවසානය වෙනකල්ම අපූරු පෙළගැස්මක් තිබුණා. කොහේදිවත් අවුල් කර ගෙන වැඩේ අනාගෙන තිබුණෙ නැහැ.

ටැරැන්ටීනෝ ගැන මම දේශනා දෙන්න තවම දන්නෙ නැහැ. හේතුව ටැරාගෙ ආඛ්‍යානයට මම අලුත්. ඒත් ඔය උඩ කියපු කාරණා දෙක අතිශය වැදගත්. හේතුව ටැරාගෙ Jackie Brown සහ Reservoir Dogs කියන නිර්මාණ දෙකේම ඔය උඩ තිබුණ ලක්ෂණ දෙක මම දැක්කා.

දැන් හැරෙමු Reservoir Dogs පැත්තට. තාත්වික කතාවක්. චරිත පෙළගස්වා තිබූ ආකාරය අපූරු යි. තාර්කික යි. විය හැකි සිදුවීම් පෙළක්. අතිශයෝක්තියකින් තොර යි.

දැන් කතා කරමු Jackie Brown තුළ නොතිබි නමුත් Reservoir Dogs තුළ තිබුණු දේවල් පිළිබඳව. පළවෙනි, දෙවනි සහ තෙවනි කාරණාව තමයි #ලේ ?. පටන් ගන්නෙත් ලේ වලින් (වෙඩි කාපු පොර කාර් එකේ). අවසාන වෙන්නෙත් ලේ වලින්. වෙන්න පුළුවන් කතාවක් අපූරු ලෙස සිනමාවට නගලා.

පෞද්ගලිකව මම සිනමාවෙ ආස කරන නිර්මාණ ප්‍රවේශය වෙනස්. Reservoir Dogs කියලා කියන්නෙ මම කැමතිම ආකාරයේ නිර්මාණ ප්‍රවේශය නෙමෙයි. එහෙත් Reservoir Dogs තුළ මම කැමති ප්‍රධාන ලක්ෂණයක් තිබුණා. ඒ තම යි තාත්වික බව. යතාර්ථවාදී බව. වෙන්න පුළුවන් බව. එහෙම නිර්මාණ සිනමාව කියන කලා මාධ්‍යයේ නියම හිමි කරුවෝ කියල යි මට හිතෙන්නෙ. තිත්ත ඇත්ත ඒ ලෙසින් ම තිරය මත දිග හැරෙනවා.

හැබැයි අති බහුතරයක් ඒ හැටි ප්‍රියතාවයක් නොදක්වන නිර්මාණත් මෙයාකාරයේ නිර්මාණම යි. කලාව රස විඳින බහුතරය නියම කලා නිර්මාණ රස විඳලා නැහැ. ඒක ඔය ගීත වේවා නාට්‍ය වේවා චිත්‍රපට වේවා පොත් පත් වේවා ඕනිම කලා මාධ්‍යයකට අදාල යි. ඒ වෙනුවෙන් කලාව රස විඳින මිනිස්සුන්ට දොස් කියන්නත් බැහැ. හේතුව මුළු දවසම රියැලිටියක් තුළ ඉඳලා මොහොතකට ඒ රියැලිටියෙන් බැහැර වෙද්දි මිනිස්සුන්ට තමන් දවස තිස්සේම අත් දැක්ක රියැලිටියක් ආයෙත් වුවමණා නැහැ. ඕනි කරන්නෙ මොහොතකට වෙනත් ලොවකට යාමට යි. ඒ හේතුව අතිශය සාධාරණ යි. සාමාන්‍ය යි.

එහෙත් ආවාට ගියාට කලාව ඇසුරු කිරීම පුද්ගලයාට අතිශය පාඩු ලබා දෙන අතපසු වීමක්. යතාර්ථවාදී නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයාට ලැබෙන දේවල් ගැන මෙතෙකැ යි කියා ලියා නිම කරන්නට බැහැ. මම දකින දේම නෙමෙයි තවත් කෙනෙක් දකින්නෙ. Kumbalangi Nights කියන මලයාලම් නිර්මාණය නැරැඹුවා නම් ඔබට ඒ යතාර්ථවාදී නිර්මාණය තුළින් ජීවිතයට කිසියම් ඉදිරිගාමී උත්තේජනයක් ලබා ගත හැකි වේවි. එහෙත් තව යතාර්ථවාදී නිර්මාණයක් වන Reservoir Dogs නැරැඹීමෙන් ඔබට එවැනි පන්නරයක් ලැබීමට හැකියාවක් නොලැබේවි. එහෙත් මේ සමාජයේ අපි ඕනෑ තරම් අසා ඇති දැක ඇති සිදුවීමක් ඒ ආකාරයෙන් ම නැතත් එයට සමාන වන ආකාරයෙන් දැක බලා ගැනීමට හැකි වේවි. යතාර්ථය විඳ ගැනීම ද අතිශය පුද්ගලානුබද්ධ යි. රියැලිටිය යනු හැම වෙලේකම Kumbalangi Nightsමත් නෙමෙයි.

Tarantino පොරක් වෙන්නෙ අන්න ඒ යතාර්ථවාදී වැඩ කරන්න ගිය නිසා කියල යි මට හිතෙන්නෙ. හැබැයි ඒ කියලා ටැරාගෙ හැම නිර්මාණයක්ම එහෙම ඒවා ය කියලා වරදවා සිතිය යුතුත් නැහැ. සමස්ථයක් වශයෙන් සලකා බලද්දි තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ Quentin Tarantino කියන්නෙ රියැලිටිය තුළින් අපූරු කතා මවන පොරක් හැටියට යි.

Reservoir Dogs තුළ දිගෑරෙන කතාව ගැන දේවල් කියලා මම ස්පොයිල් කරන්න යන්නෙ නැහැ. හැබැයි කියන්න ඕනි, මේ වගේ නිර්මාණ අනිවාර්යයෙන්ම බැලිය යුතු යි. සිනමාව කියලා කියන්නෙ දැවැන්ත සාගරයක්. අගක් මුලක් නැති සාගරයක්. මොන මොන දේවල් ගිල ගෙන ඉන්නවද කියලා කියන්න කාටවත්ම බැහැ. ඉතින් ඒ සාගරයේ කිමිදෙමින් ගැඹුරට යනෙන අයට පතුලෙම තියෙන මුතු බෙල්ලන් හමු වේවි.

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *