Ray (2021) Hindi Tv Series
Spoiler Alert!
Netflix හරහා මෑතකදී නිකුත්වූ තවත් එක් Anthology මාලාවක් Ray. මෙහි කෙටි චිත්‍රපට හතරක් ඇතුලත් වන අතර එම කතාවන්ට පාදක වන්නේ ඉන්දියානු සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ රචකයෙකු වූ සත්‍යජිත් රේගේ කෙටි කතාවන් පෙළක්. මෙහි සුවිශේෂත්වය වන්නේ, කතාවට ප්‍රධාන වශයෙන් පිරිමියා සංකේත කර නිර්මාණය කිරීමයි. රේ ගේ කෙටි කතාවන් කියවා නොතිබුනත්, ඔහුගේ සිනමා කෘතීන් බහුතරයක් නරඹා තිබෙනවා. රේ යනු සමාජය සේම මනුෂ්‍යයාව දැඩි සංවෙදනයකින් අධ්‍යනය කළ පුද්ගලයෙක්. ඊට උදාහරණ වශයෙන් Apu Triology, Charulata, Mahanagar, Nayak සහ Ghare Baire නම් කළ හැකිය. එවැනි සංවේදනයකින් මිනිසාව අධ්‍යනය කළ රේගේ නිර්මාණකරණයට, Ray චිත්‍රපට පෙළ සාදාරණයක් ඉටු කළාද?. පිළිතුර ඔව් සහ නැත. මා කැමතිම පිළිවෙලේ සිට අකමැතිම චිත්‍රපටය දක්වා, අනු පිලිවෙලින් විස්තරය ඇතුලත් කරන්නම්.
1. Spotlight
(Based on Short story of the same name)
වික්‍රම් අරෝරා නොහොත් වික් යනු ජනප්‍රිය චිත්‍රපට නළුවෙක්. වික් කෙතරම් ජනප්‍රිය වූවත් ඔහුව බහුතරයක් දෙනා අගයන්නේ ඔහුටම අවේනික වූ trademark පෙනුමකට පමණයි. මෙය නිසාම ඔහුගේ රංගනය පොදුවේ බහුතරයක් සිනමා විචාරකයින් තුලින් විවේචනයට පත් වනවා. මෙය සමගම ඔහුට තම ජනප්‍රියත්වයද හිසරදයක් වන තැනට පත් වනවා. වික්ට ඔහුගේ ජනප්‍රියත්වය දරා ගැනීමේ අපහසු වීම සේම, ඔහුගේ රංගනය සහ අවේනික පෙනුම කෙරෙහි ඇති ඒක පුද්ගලික විවේචනය හමුවේ වික් අර්බුදකාරී තත්වයකට මුහුණපානවා. වික් යනු අහංකාර සහ මුරණ්ඩු චරිතයක්. එම නිසාම බහුතරයක් දෙනා සමග ඔහු කුමක් හෝ ආරවුලක පැටලී තිබෙනවා. වික්ට සමාන්තරව යන චරිතය වන්නේ දීදී නම් දේව චරිතයක්. දීදී යනු ඉන්දියාව තුල බහුතරයක් දෙනා දේවත්වයෙන් අදහන චරිතයක්. අපට කතාවේ අවසාන භාගය දක්වා දීදීගේ සැබෑ රුව පෙන්නන්නේ නැත. වික් සහ දීදී යනු දෙවිදියක ජනප්‍රියත්වයක් ලැබූ පුද්ගලයින් දෙදෙනෙක්. දීදීගේ චරිතය වික් රූගත කිරීම් සිදු කරන හෝටලයට පැමිණීමත් සමග ඔවුන් දෙදෙනාගේ ජනප්‍රියත්වය සමාන්තරව විස්තර කළ හැකි තැනකට චිත්‍රපටය පැමිණෙනවා.
අධ්‍යක්ෂක වසන් බාලා මෙහිදී අපට හමුවන වික් සහ දීදීගේ චරිතයන් ඉතා අපූරුවට අධ්‍යනය කිරීමට සමත් වනවා. විශේෂයෙන්ම එම චරිතයන්ගේ අභ්‍යන්තරයට ගමන් කිරීමට ඔහු පැකිලුනේ නැත. විශේෂයෙන්ම ජනප්‍රියත්වය හමුවේ මිනිසා තම අනන්‍යතාවය පිලිබඳ ව්‍යාකූලත්වයට පත්වීම සහ එය මානසිකව බලපාන ආකාරය පිලිබඳ ප්‍රභල විග්‍රහයක් Spotlight තුලින් ඉදිරිපත් කරනවා. වික්ගේ චරිතය රඟ දැක්වූ Harshvardhan Kapoor ඔහුගේ චරිතයට උපරිම සාදාරණයක් කිරීමට සමත්වී තිබෙනවා. නමුත් මෙහි කැපී පෙනුණ රංගනය ඉදිරිපත් කළේ රාධිකා මාදන් විසින්. ඇය තිරයේ සිටින කාල වෙලාව විනාඩි දහයක් පමණයි. නමුත් කෙටි කාලය ඇතුලත එම චරිතයේ ඇති මනෝභාවය සහ ව්‍යාකූලබව ඉතා විශිෂ්ට ලෙස ඇය ඉදිරිපත් කළා.
ඒ අනුව Ray කතා මාලාවේ මා අංක එකට තබන්නේ Spotlight.
2. Hungama Hai Kyon Barpa
(Based on Barin Bhowmik -er Byaram)
මුසාෆිර් අලී යනු Ghazal ගායකයෙක්. දිනක් ඔහු දිල්ලිය බලා යන දුම්රිය ගමනක අස්ලාම් බෛග් නම් තවත් මගියෙකු මුණගැසෙනවා. බෛග් පවසන්නේ ඔහු පැරණි ව්රෙස්ට්ලින්ග් ක්‍රීඩකයෙක් සහ වර්තමානයේ ක්‍රීඩා සම්බන්ද මාධ්‍යවේදියෙක් බවයි. මෙම ගමන අතරතුර අලී සහ බෛග් තේරුම් ගන්නා කාරණයක් වන්නේ ඔවුන් මීට පෙර කොතැනක හමුවී ඇති වගයි. ඔවුන් දෙදෙනා තුල ඇති සම්බන්දය කුමක්ද?.
මෙය අධ්‍යක්ෂණය වන්නේ අභිෂේක් චෞබි විසින්. මෙහිදී අපට හමුවන මසාෆිර් අලී සහ අස්ලාම් බෛග්ද තමන්ගේ අනන්‍යතාවය සම්බන්දව වෙනස්ම ආකාරයක අරගලයක නියැලෙන චරිත දෙකක්. චෞබි මෙම චරිත දෙක ඉදිරිපත් කරන්නේ හාස්‍ය සහ උපහාසාත්මක රසයත් ඉතා මනාව භාවිතා කරමින්. ඒ සමගම සංකේත භාවිතයද ඉතා අපූරුවට යොදාගෙන තිබෙනවා. මනෝජ් බජ්පායි සහ ගජ්රාජ් රාඕගේ විශිෂ්ට රංගනයද මෙහි ප්‍රධාන වශයෙන් කැපී පෙනුණ අංගයක්.
3. Forget Me Not
(Based on Bipin Chowdhury’r Smritibhrom)
ඉප්සිත් නායර් යනු සාර්ථක ව්‍යවසායකයෙක්. එක් රාත්‍රියකදී ඔහුට රියා සාරන් නම් කාන්තාවක් මුණගැසීමෙන් අනතුරුව, ඔහුගේ ජීවිතයම කණපිට පෙරළෙනවා. රියා පැවසූ අන්දමට, ඔවුන් දෙපළ මීට වසර තුනකට පෙර අජන්තාහි ගිය සංචාරයකදී එක රැයක් ගත කර තිබෙනවා. එය සිදුවී ඇත්තේ ඔහුගේ 30 වන උපන්දිනය දවසේදී. නමුත් ඉප්සිත්ට මෙය සම්බන්දව කිසිදු මතකයක් නොමැත. ඉප්සිත් සහ රියා අතර මෙය සම්බන්දව ඇති වූ බහින්බස් වීමකින් එම සංවාදය නතර වූවත්, මෙය ඉප්සිත්ට මානසිකව වද දෙන කාරණයක් බවට පත් වනවා. ඉන් අනතුරුව මෙය self destruction තත්වයක් දක්වා වර්ධනය වනවා. Forget Me Not හි සමස්ත කතා වස්තුව හොඳ වූවත්, අධ්‍යක්ෂක ශ්‍රිජීත් මුකර්ජී එම ප්‍රධාන චරිතයන් සංවේදනයකින් අධ්‍යනය කරන්නේ නැත. චරිත වර්ධනයද සිදු වන්නේ ඉතා දියාරු ලෙස. මෙහි ප්‍රධාන අඩුපාඩුවක් ලෙස පෙනී ගියේ ඉතාම අස්වාභාවික ලෙස ලියැවී තිබෙන දෙබස්. ඇතැම් සංකීර්ණ දර්ශනයන් තුලදී ඇතුලත් වූ දෙබස් තුල කුතුහලයක් ඇති කරනවා වෙනුවට සිදු වූයේ විහිළුසහගත හැඟීමක්. Ali Fazal සහ Shwetha Basu Prasad හොඳ රංගනයන් ඉදිරිපත් කරත්, තිර රචනය ඔවුන්ගේ චරිතයන්ට සාදාරණයක් ඉෂ්ට කර නැත. නමුත් සමස්ත කතාවේ ඇති කුතුහලය යම් මට්ටමකින් අවසානය දක්වා පවත්වා ගැනීමට සමත් වුනා.
4. Bahrupiya
(Based on Bahurupi)
ඉන්ද්‍රශීෂ් යනු කාර්යාල රැකියාවක නිරත වන තනිකඩ පුද්ගලයෙක්. ඒ සමගම අතුරු රැකියාවක් ලෙස වේශ නිරූපන ශිල්පියෙක් ලෙසද ඔහු කටයුතු කරනවා. ඉන්ද්‍රශීෂ් යනු බහුතරයක් දෙනාගේ වාසියට භාවිතා කළ පුද්ගලයෙක්. එම නිසා ඔහුට සමීපතයින් නැත. ඉන්ද්‍රනිල්ගේ මිත්තණියද දක්ෂ වේශ නිරූපන ශිල්පිනියක්. වේශ නිරූපණය හරහා බොහෝ දේවල් ඉදිරිපත්/නිර්මාණය කරන නිසාවෙන් ඔවුන් දෙවියන්ට සම කළ හැකිය යන මතය, ඉන්ද්‍රශීෂ්ගේ මිත්තණිය ඔහුගේ හිතට ඇතුලත් කරනවා. ඇයගේ මරණයත් සමග ඇය දැන සිටි දැනුම් පෙළක් ඉන්ද්‍රශීෂ්ට තබා යනවා. ඉන්ද්‍රශීෂ් ඇගේ වේශ නිරූපන ක්‍රමවේදයන් හරහා විවිද ආකාරයට වෙස් වලා ගන්නවා. තමන්ව අවභාවිතා කළ සහ අසාදාරණයක් කළ පිරිසගෙන් පලිගැනීමේ ක්‍රමයක් ලෙස ඔහු වෙස් වලා ගන්නවා. නමුත් ඔහු සාර්ථකද?.
මෙම චිත්‍රපට පෙළේ දුර්වලම චිත්‍රපටය ලෙස මා නම් කරන්නේ මෙම චිත්‍රපටයයි. මෙයද අධ්‍යක්ෂණය වන්නේ ශ්‍රිජීත් මුකර්ජී විසින්. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ ඉන්ද්‍රශීෂ්ගේ චරිතය ඉතා ව්යාකූල ආකාරයට ලියැවී තිබීමයි. ඔහු කාර්යාල සේවකයෙක් ලෙස සාමාන්‍ය රැකියාව කළත් වේශ නිරූපනයේ නියැලෙන්නේ ඔහුගේ ආශාව නිසාද යන කාරණයක් අපැහැදිලියි. තවද ඉන්ද්‍රශීෂ් පලි ගැනීමට යොදාගන්නා උපක්‍රම සහ ඇතැම් චරිතයන් සමග සම්බන්දතා ගොඩ නැගීම තුල කිසිදු තාත්වික බවක් නැත. තවද දෙබස් තුල ඇති අස්වාභාවික බව මෙම චිත්‍රපටයේද දක්නට ලැබුනා. Kay Kay Menon ගේ දක්ෂ රංගනයද මෙම දුර්වල තිර රචනය නිසා පරාජය වනවා. ශ්‍රිජීත් මුකර්ජී යනු සත්‍යජිත් රේ සේම බෙන්ගෝලි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු සත්‍යජිත් රේගේ සිනමාව සහ කලාව පිලිබඳ ලොකු අවබෝධයක් ඇති කෙනෙක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් අවාසනාවට මෙහි දුර්වලම චිත්‍රපට පෙළ ඉදිරිපත් කරන්නේ ඔහු විසින්.