Raksha Bandan (2022) by Ramitha Vimukthi
Anand L. Rai ගේ චිත්‍රපටයක ඇතුලත් වන බොහෝ අංගයන් මේ චිත්‍රපටයෙත් ඇතුලත් වනවා. ඉන්දීය අධ්‍යක්ෂක Sooraj Barjatya ගේ සිනමා නිර්මාණ ඔබ නරඹා තිබෙනවා නම්, රායිගේ චිත්‍රපටද තුලද ඒ හා සමාන රසයක් ඇතුලත් වන වග අලුත් දෙයක් නොවේ. විශේෂයෙන්ම පවුල, විවාහය, සහෝදර ප්‍රේමය, මධ්‍යම පාන්තික සමාජ පසුබිම් සහ ඉන්දියානු සම්ප්‍රදායන් පාධක වන තේමාවන්, එම චිත්‍රපට තුල ප්‍රධාන වශයෙන් ඇතුලත් වනවා. Raksha Bandan ද එම සිනමා රසයන් තුලින්ම නිර්මාණය වුනු චිත්‍රපටයක්. මෙහි නමේම හින්දු ආගමික සම්ප්‍රදායක් ඇතුලත් වනවා. රක්ෂා බන්දන් යනු හින්දු ආගම තුල සහෝදරත්වය සමරන සම්ප්‍රදායික අංගයක්. මේ හින්දු සම්ප්‍රදායික අංගය සමගම ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් සිද්ද වන සමාජ ගැටළුවක් පිලිබඳවද කථිකාවක් ඉදිරිපත් කරනවා. මේ සියල්ලක්ම අධ්‍යක්ෂක Anand L. Rai සහ තිර රචකයින් වන Himanshu Sharma / Kanika Dhillon ඉදිරිපත් කරන්නේ 90 දශකයේ ඉන්දියානු සිනමා රසයට සරිලන නොස්ටැල්ජික් ස්වභාවයක් ඉතුරු කරමින්. නමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වනවාද?.
ඉන්දියානු සහ බොහෝ දකුණු ආසියාතික සංස්කෘතීන් තුල විවාහය යනු බොහොම බැරෑරුම්ව කතාබහ කළ යුතු මාතෘකාවක්. හින්දු චාරිත්‍රයන්ට අනුකූලව සිදුවන විවාහ මංගල්‍යන් තුල අපට මතුපිටින් පෙනෙන වර්ණවත් බව බැලූ බැල්මට ආකර්ශණීයයි. නමුත් ඒ තිරයේ පිටුපස ඇති කතාව අප දකින දෙයට වඩා හාත්පසින්ම වෙනස්. මෙය කාන්තාවන්ගේ කෝණයෙන් බැලුවොත් ඔවුන්ට විවාහය ජීවිතයට අත්‍යවශ්‍යම අංගයක් ලෙස සමාජ මතයක් ගොඩනගා තිබෙනවා. මෙම මතවාදය බොහෝ අවස්ථාවන් වලදී ඉදිරිපත් වන්නේ පීඩනයක් සමග. නමුත් එම පීඩනය විවාහයෙන්ම නතර වන්නේ නැත. විවාහය සමග සැමියාගේ පාර්ශවයෙන් ඉල්ලන දෑවැදි, මවක් වීම සහ සැමියාගේ පාර්ශවය නිතරම අංක එකේ වගකීමක් කර ගැනීම ආදියේ නොයෙකුත් පීඩනයන්ට කාන්තා පාර්ශවයට මුහුණ දීමට සිදුවනවා. පිරිමියාගේ පැතිකඩින් ගත්තොත් තම ජීවිතයේ බොහෝ වැදගත් දේවල් තම දියණියන්ගේ සහ සහෝදරියන්ගේ අනාගතය වෙනුවෙන් කැප කිරීමට සිදුවනවා (කාන්තාවන්ටද අදාල වේ). නමුත් සම්ප්‍රදාය මුවාවෙන් සිද්ද වෙන මේ චෙක්ලිස්ට් එක, අපද නොදැනුවත්වම මනුෂ්‍යයෙකුගේ විනාශයටද ගෙන යා හැකිය. Raksha Bandan චිත්‍රපටයේ ඇතුලත් වන සහෝදර ප්‍රේමය හමුවේද ඉදිරිපත් කරන්නේ එවැනි කාරණාවක්.
Raksha Bandan චිත්‍රපටයේ සාර්ථකයි ලෙස සිතුනු අංගයන් කිහිපයක්ද ඇතුලත් වුනා. චිත්‍රපටයේ ඇතුලත් වන තේමාව බොහෝ සෙයින් පැණි දවටා තිබුනත්, පවුලේ සහෝදරියකගේ විවාහයක් තුල මිනිසුන් සම්ප්‍රදාය මුවාවෙන් කෙතරම් බරපතල අන්තයන්ට යනවාද යන කාරණය අක්ශේ කුමාර්ගේ චරිතයෙන් පෙන්නුම් කළා. ඇතැම් සම්ප්‍රදායන් මුවාවෙන් මිනිසුන්ගේ සැබෑ අනන්‍යතාවයන්ට සිදු කරන හානියද යම් මට්ටමකට පෙන්නුම් කර තිබුනා. විශේෂයෙන් ම එවැනි සමාජ වටපිටාවක ජීවත් වන කාන්තාවකට සහ පිරිමියෙකුට එල්ල වන පීඩනය සහ භයානක ප්‍රතිපලයන්ද පෙන්නුම් කර තිබුනා. විශේෂයෙන්ම මෙහි මධ්‍යම පාන්තික පවුලක් තුල ඇති සහෝදරත්වය සහ එකමුතුකම රසවත් ලෙස ඉදිරිපත් කර තිබුනා.
ලාලා කෙදර්නාත් ලෙස චිත්‍රපටයේ කැපී පෙනෙන රංගනය ඉදිරිපත් කරන්නේ අක්ශේ කුමාර්. ඛාන්ලා ත්‍රිත්වයට හාත්පසින්ම වෙනස් වුනු comic timing සහ screen prescence එකක් තිබෙන නිසා, අක්ශේ කුමාර් කවදත් හින්දි වාණිජ සිනමාවට සුවිශේෂී තරුවක් වනවා. නමුත් ඔහුගේ එම තරු ගුණය අනවශ්‍ය ලෙස ඉස්මතු කිරීමට යාමෙන්, කතාවේ ඇතුලත් වන එම සංවේදී තේමාව අවුල් ජාලයක් කර තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන තේමාව කාන්තාවන්ට මුහුණ පාන්නට සිදුවන ගැටළුවක් වූවත්, එය ඉදිරිපත් කරන්නේ අක්ශේගේ තරු ගුණය උපයෝගී කර ගෙන. එම නිසා කාන්තා චරිතයන් තුල අක්ශේ කුමාර්ගේ චරිතයට සමබර කළ හැකි ආකාරයට අවකාශයක් තිර රචනයෙන් ලබාදී නැත. කෙදර්නාත්ගේ සහෝදරියන්ගේ චරිත හතරෙන් සහ ඔහු සමග විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින දිගු කාලීන පෙම්වතියගේ චරිතයන් තුලින් මීට වඩා යමක් ඉදිරිපත් කරන්නට හොඳ අවස්ථාවක් තිබුනා. විශේෂයෙන්ම මෙහි ඇතුලත් වන සමාජ තේමාව සමග සලකා බලද්දී. භූමී පද්නේකාර්ගේ චරිතයට යම් මට්ටමක අවකාශයක් ලැබුනත් සමස්තයක් වශයෙන් තිර රචනය මෙම කාන්තා චරිත පහට හොඳ අනන්‍යතාවයක් ලබා දීමට අපොහොසත්වී තිබෙනවා. විශේෂයෙන්ම මෙහි සම තිර රචනයෙන් දායක වන කනිකා ඩිලෝන්, ඇය මීට පෙර රචනා කළ Manmarziyan, Judgementall Hai Kya සහ Haseen Dilruba වැනි චිත්‍රපට වල ප්‍රභල කාන්තා චරිතයන් ඉදිරිපත් කළා. නමුත් Raksha Bandan තුල එයට කිසි සේත්ම ළඟා කළ නොහැකි ආකාරයට ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක්. අක්ශේ කුමාර් හැරුණු විට අනිකුත් සහාය චරිතයන්ට ප්‍රභල අවදානයක් තිර රචනයෙන් සලසා නොදීම ප්‍රධාන අඩුපාඩුවක් ලෙස දිස්වුනා. Anand L. Rai ගේ චිත්‍රපට තුල ප්‍රධාන වශයෙන් කැපී පෙනුණ අංගයක් ආකර්ෂණීය ගීත. නමුත් Himesh Reshammiya ගේ සංගීත අධ්‍යක්ෂණය තුල මෙහි තේමා වාදනය හැරුණු කොට, වෙන කිසිම ගීතයක් තුලවත් මතකයේ රැඳෙන ස්වභාවයක් පෙන්නුම් කලේ නැත.
පසුගිය කාලයේ බහුතරයක් හින්දි චිත්‍රපට තුල ප්‍රධාන මාතෘකාවක් වූයේ සමාජ ගැටළු. නමුත් එම සංවේදී සමාජ ගැටළු ගැලරිය චූන් කිරීමේ මුවාවෙන් ඉදිරිපත් කරන්නේ විශාල පැණි දැවටීමක් සමග. Raksha Bandan මෙම පැණි දැවටීමේ අන්තයකට ගිය චිත්‍රපටයක් ලෙස අවසන් වශයෙන් කියන්නට සිදු වෙනවා. මුළුමනින්ම අක්ශේ කුමාර්ගේ රසිකයින්ව පිනවීමට පමණක් හැදූ ඉතාම සාමාන්‍ය මට්ටමක චිත්‍රපටයක්.