RAJA RANI (2013) Tamil
Spoiler Alert
අපේ හිත් ඇතුලෙ කාටත් හොර රහසේ හංගගෙන ඉන්න සොඳුරු යටගියාවක් තියෙනව. රිදුනු, බිඳුනු හිතකට උනත් ලෝකයටම ඇහෙන්න කියන්න හිතෙන ඒත් වචන වලට නොපෙරලෙන කතාවක් ඇති. ඒක සමහරවිට මිහිරිත් ඇති සමහරවිට කියාගන්න බැරි තරම් අමිහිරිත් ඇති. කාටවත් නොකියාම ඒ මතක බොහෝම සීරුවට අගුල් දාගෙන හැමෝම හිත් ගුහාවල් අස්සෙ ලාගෙන පරෙස්සම් කරනවත් ඇති 

මතක එක්ක පැසෙව්වා උනත් කොයිතරම් විඳෙව්වා උනත් සමහර වෙලාවලට ඒ මතක කොයිතරම් රිදුම් දුන්නත් අපි කැමතී ඒ සදාකාලික මතක සුවඳ එක්කම ජීවත් වෙන්න . හැබැයි සමහර මොහොතවල් එනව ඒ මතක පිටු කාලයක් ගත වෙනකොට පරණ සුවඳ හමනව කියල දැනිල ඒ මතක එක්කම හිතට ඇතිවෙන විඩාබර ගතිය නිසාම වේදනා අමතක කරන්න ඕනෙ නිසාම අලුත් ජීවිතයක් අපට උවමනා වෙන නැතිනම් අපේ හිත් කාලාන්තරයක් තිස්සෙ පෙළපු හුදකලාවට විරාමයක් තියන්න උවමනා වෙන 

ඔව් ඇත්තෙන්ම සමහර මොහොතවල් එනව මතක පිටු පෙරළලම හෙම්බත් වෙලා අලුත් ජීවිතයකට අපි විසින්ම ආයාචනා කරන ….

එහෙම උවමනා වෙන මේ මිහිපිට මනුස්ස ස්වභාවය නිසාම වෙන්නැති කුලරත්න ආරියවංශ මහත්තයාගෙ අතින් පබැඳිලා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගෙ මියුරු හඬින් මෙහෙම ගැයෙන්නේ …
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා …. ආරාධනා …….. 

හැබැයි ඒ කොහොම උනත් රෙජිනාටයි ජෝන්ටයි නම් අතීතයේදි තමන්ගෙ අතින් ගිලිහිලා අඩපණ වෙලා ගිය ජීවිතේ ආයෙ අහුලල ජීවය කවන්න අලුත් දෑතකට ආරාධනා කරන්න තුන් හිතකවත් කිසිම අදහසක් තිබුනෙ නෑ. දෙපළටම උවමනා උනේ අර ගෙවුණු අතීතයේ වේදනාව මුහු උනත් හැමදාටම මිහිරි උනු මතක සයුර එක්ක හැමදාම කිමිදෙන්න .
රෙජිනාගෙ හදවතේ සදාකාලික රිදුම උනේ සූර්යා. ජෝන්ගෙ පපුව හැම රාත්රියකම කකියන්නෙ කීර්තනාගෙ ආදරණීය මතක එක්ක …

දෙන්නටම සිද්ධ උනේ අසීමාන්තික ආලය නිසාම දෙපැත්තකට වෙලා දුක් විඳින්න … අතීතයේ මතක කරඬුවට දාපු මුතු ඇට විසිරුණේ සූරියාගෙන් රැවටීමක් , කීර්තනාගෙ මහපාර මැද්දෙ නිසල උනු දේහයත් කියන දෙවිදියට උනත් , අන්තිමේ රෙජිනාටයි ජෝන්ටයි දෙන්නටම අසීමිත ආදරය නිසා උරුම උනේ එකම ප්රතිඵලය … ඒ දැවැන්ත හිත් බිඳීමක් ….

ඔව් ඇත්තටම රෙජිනා කියපු දේ හරියටම හරි .. මේ ලෝකයට ඇවිත් අපි ඇස් අරින මොහොතෙදිම අපේ දෛවය තීරණය වෙලා තියෙනව කිව්වට ජීවිතේ යම් යම් කාල පරිච්ඡේද වලදී අපේ අනාගතය අපේ දෛවය තීරණය වෙන්නෙ අපිම ජීවත් වෙන හැටි , අපි විසින්ම ගන්න තීරණ අනුව.. සමහර මොහොතවල් වලදි අපි අතින් සිද්ධ වෙන අඩුපාඩුකම් කියන්නෙ ජීවිතේටම තියෙන පිටු කිහිපයක් විතරයි .. ඉතින් ඒ අඩුපාඩු වැරදීම් දුක් වේදනා නිසා තවත් පෙරළන්න තියෙන ජීවිත පිටු ගණනාවම දුර්වර්ණ වෙන්න ඉඩ හරින්නෙ මොකටද ?
රෙජිනායි ජෝනුයි අපූරු ජීවිත යතාර්තයක් පෙන්වල දෙනව .. ඒ තමයි අපි ආදරය කරන පුද්ගලයන් අපට සදාකාලික මතක දායාද කරල අතහැරල ගියත් නැතිනම් අපව තනි කරල සදහටම ඈත අහසෙ තාරකා අතරට ගියත් අපිත් ඒ මගම යන්න උවමනා නෑ කියල … අපේ ජීවිතය හදාගන්න අපිටම පුලුවන් .. අපි ප්රාර්ථනා කරන සතුට සැනසීම මුසු ජීවිතයම අපිට ඒ ආකාරයෙන්ම උරුම වෙන්නෙ නෑ … හැබැයි අපිට පුලුවන් අපේ ජීවිතය ගලාගෙන යන මංමාවත් වෙනස් කරල කලඑළි කරන්න .
.



ඒක නිසා වෙන්න ඇති රෙජිනාටයි ජෝන්ටයි ගිලිහුණු ආදරය ආයෙමත් කප්පරකට බිඳුණු හදවත් වලින්ම මුණගැහුණේ …

අතීතයේදී එක හිතකට අසීමාන්තිකව ප්රේම කරපු යුවලක් හදවත් වල තාමත් ශේෂ වෙලා තියෙන පිරී ඉතිරී යන ආදරය එක්කම ආයෙමත් අතිනත් පටලගත්තෙ , කවදාවත් ගිලිහෙන්නෙ නැති විදියට හදවත් වලින් බොහොම තදට බැඳුනෙ ඒක නිසාම වෙන්න ඇති ……..
සමහර මොහොතවල් වලදි බිඳුනු හදවතක් සුවපත් කරන ඔසුව තවත් බිඳුනු හදවතක් වීමේ සම්භාවිතාවය බොහොම වැඩී … 

ඉතින් ගිලිහුණු ආදරය , අඩපණ උනු ජීවිතය ආදරයක් වියැලුනු හිත් බිඳීමකින් ආයෙමත් උපදින්න පුලුවන් …
ඔව් ඇත්තෙන්ම , ආදරයත් ජීවිතයත් දෙකම එකණෙහිම එක මොහොතෙදිම ආදරයක් බිඳුනාම මුණගැහෙන්න පුලුවන් … ඒ නිසාම ඉහතින් මම සඳහන් කලා වගේ නැවුම් දිවියකට ආරාධනා කරන්නටම උවමනා වෙන්නෙත් නෑ.. බිඳුනු හදවත් දෙකක් ආයෙමත් එකතු කරන්න පිණි බිංදු වලින් මලක් ප්රාණවත් වෙනවා වගේ ජීවිතයට ප්රාණය සපයන අහම්බකාරකය වෙච්ච ආදරය අහඹුවක් විතරක්ම වෙලා හදිස්සියේම ජීවිතයට එන්නෙත් අන්න ඒ නිසාම වෙන්න ඇති … 

රෙජිනාගෙන් ජෝන්ට ,
දිගු කලක ඉඩෝරයෙන්
වියළී ගිය කර්කශ පොළවට
තෙතමනය ඇති කල
නබෝගැබ එකලු කල
ආශිර්වාද වරුසාව නුඹයි.. 


ජෝන්ගෙන් රෙජිනාට ,
මුකුලිතව ගිය හද මඩල මත
ඍතු ගණනකට පසුව යම් හෙයින්
මලක් විකසිත වේ නම්
ඒ මල මට නම් සැමදා නුඹමය … 
