8.2/10IMDb
89% liked this film Google users
බොලිවුඩය වැනි පුරුෂාධිපත්යගත සිනමාවක කාන්තාව අළලා නිම වූ අද්විතීය සිනමා සන්ධිස්තානය ලෙස Queen චිත්රපටය හඳුන්වා දිය හැක. එය සංස්කෘතික සීමාව තුළ සිර වූ ගතානුගතික කාන්තාවකගේ සිට ස්ත්රී නිදහස වැනි බරසාර මාතෘකාවක් කරා පියවරෙන් පියවර ගමන් කරනු ලැබූවකි. කන්ගනා රනවුත්ගේ හිත හිරිවට්ටන රංගනයට රාජ්කුමාර් රාඕ විසින් දක්වනු ලැබූ සහාය ද චිත්රපටයේ සාර්ථකත්වයට බෙහෙවින්ම හේතුවක් වී ඇති බැව් පෙනේ.
රාණි යනු ඉන්දීය මධ්යම පාන්තික සාම්ප්රදායික තරුණියකි. ඇගේ පෙම්වතා විජේ වේ. රාණි එතරම් උගත් නොවූවද විජේ විදේශ රටක ඉගෙනුම ලැබූ තරුණයෙකි. නමුත් මොවුන්ගේ පෙම් පළහිලව්ව පටන් ගන්නේ විජේ විදේශයට යෑමට පෙරයි. තම කසාදයට සිහින මවන්නේද දෙමාපිය ආශිර්වාදය මැද එය තීන්දු කරගන්නේද විජේ විදේශයට යෑමට පෙරයි. නමුත් අවසාන මොහොතේ විජේ කසාදයට පිටු පායි. අන්තිම මොහොත නම් කසාදයට පෙර දිනයි. චිත්රපටය ආරම්භ වන්නේ මෙතැන් සිටයි. ආරම්භයේදීම ගත් ශෝකාන්තයක් තුළින් චිත්රපටයක කතා තේමාව ගෙතීම අසීරු වුවද Queen හි සාර්ථකත්වයද එයමයි.
විජේ විසින් රාණිව විවාහ කර ගැනීමට අකමැති හේතුව කුමක්දැයි අසද්දී ඔහු පවසන්නේ ඇය තමන්ගේ සමාජ තත්වයට නොගැළපෙන බවයි. මේ කරුණ ප්රේක්ෂක සීමාවෙන් ඉදිරියට ගොස් විචාරය කිරීම අනිවාර්යෙන්ම කළ යුත්තකි. සිනමා අධ්යක්ෂකවරයා මේ ව්යංගයෙන් පවසන්නේ මුලු ඉන්දියානු කාන්තා සමාජයම පත් වී ඇති ඛේදජනක තත්වයයි. පුරුෂ කේන්ද්රීය ඉන්දියානු සමාජයේ කාන්තාවට අදාළ වගකීමක් ලෙස අධ්යාපනය නොසැලකේ. අධ්යාපනය යන විෂය ක්ෂේත්රය තුළ ඇයව කොන් කරනු ලබයි. පුරුෂයා විසින් කාන්තාවට අත් කරන ලද මෙවන් ඛේදජනක තත්වයක් උඩ විජේ විසින් රාණිව අත් හැර දමන්නේ සමාජ තත්වයේ මදිපාඩුව නිසා ය. වෙන ලෙසකින් බැලුවහොත් මේ සමාජ තත්වයේ මදිපාඩුවට වග කිව යුත්තේද විජේ ඇතුළු අධිපති ධාරාවේ පුරුෂයන් රොත්ත මය!!
කසාදයට දිනකට කලින් තමන්ගේ මුලු හීන ලෝකයම කඩන් වැටුණු කල කාන්තාවක් පත් වන මානසික පීඩනය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. විශේෂයෙන්ම ස්වාධීන පැවැත්මක් ගැන හාංකාවිසියක් නොදැන සිටින රාණි වැන්නියක් කෙබඳු පීඩනයකට ලක් වනවා ඇත්ද? මේ වේදනාවෙන් ගැළවීමට ඇය කරන්නේ පැරිසීයට යාමයි. තම සැමියා වන්නට සිටි විජේ සමඟ ආදරය පිරුණු මධුසමයකට පැරීසියට යෑමට සිටි රාණි තීරණය කරන්නේ තනියම ඒ ගමන යාමටයි. නොදන්නා රටක නොදන්නා සමාජයක් මැද්දට රාණි තනියම යෑමට පෙළඹේ. මේ සාම්ප්රදායික රාණිගේ පළමු ස්වාධීන නැඟිටීමයි.
ඉන්දියානු ජාතික විජයලක්ෂ්මිගේ මුණ ගැසීම රාණිගේ ජීවිතය වෙනස් මඟකට යොමු කරයි. කාන්තාවක වශයෙන් තනියම නැඟී සිටිය යුතු ආකාරය පිළිබඳ පළමු පාඩම රාණිට කියා දෙන්නේ ඇයයි. ප්රංශය තුළ පවතින සංස්කෘතික නිදහස ඒ සඳහා බෙහෙවින්ම බලපානු ලබයි. මෙතැන් කල් විජේගේ නීති රීති අනුව ජීවත් වුණු රාණි තමන්ට අවශ්ය ආකාරයට ජීවිත් වීමට පටන් ගනී. මේ පුරුෂාධිපත්යගත පීඩනය කෙතරම් ද යන්න ප්රේක්ෂකයාට පැහැදිලි වන ලෙස යම් සිනමා සංසිද්ධියක් විනෝදාත්මකව චිත්රපටය තුළට එබ්බවීම තරම් අධ්යඛක්ෂකවරයා සූක්ෂම වී ඇත. විජයලක්ෂ්මි සමඟ රාත්රී සමාජ ශාලාවකට ගොස් වෙරි වූ රාණි ඉන් එළියට පැමිණ ටැක්සි රියදුරු ඉදිරිපිට එකදිගට නටන්නට පටන් ගන්නේ ඒ පීඩනය ඉවත දැමීමේ අදහසිනි. ඒත් සමඟම චිත්රපටයේ දර්ශනය වන්නේ මඟුල් ගෙදරකදී නැටුවා යැයි විජේ විසින් රාණිට බැණ වදින දර්ශනයකි. පුරුෂයාගෙන් නොඅසා කිසිම තීරණයක් ගැනීමට නොහැකි වන තරමට ඒ සමාජය පිරිහී ගොස් ඇත.
ඔලෙක්සැන්ඩර්, ටාකා, ටිම් ඇතුළු පිරිසගේ මිතුරු සමාගමද රාණිව ස්වාධීන කාන්තාවක වශයෙන් නැඟී සිටුවීමට උපකාරී වේ. චිත්රපටය අවසානය වන විට ඉන්දියාවේ රසකැවිලි කඩයක ලඩ්ඩු සෑදු ගතානුගතික රාණි වෙනුවට අපට දක්නට ලැබෙන්නේ විජේගෙන් නිදහස් වී තම අයිතිය වෙනුවෙන් නැඟී සිටි වෙනස්ම කාන්තාවකි.
වැඩවසම් විජේ වැන්නවුන්ගෙන් ගැලවෙන්නට උත්සාහ දරන රාණිලට මේ සිනමා නිර්මාණය උපහාරයක්ම වේවා!!!
Vikas Bahl
Initial release: March 7, 2014 (India)
කවිනු වීරක්කොඩි
Writer