Premam (2015) Malayalam
8.3/10 IMDb
67% Rotten Tomatoes
93% liked this film Google users
ප්‍රේමම් නොහොත් ප්‍රේමයේ සුන්දර අවධි තුන සිනමාශාලා වලට ඇවිත් වසර හයකුත් ගතවෙලා….❤️❤️❤️
Premam කිව්වම නොදන්න කෙනෙක් හොයාගන්නත් හරි අමාරු තරමටම අපේ රටේ සිනමා ප්‍රේක්ශකයන් අතරෙ පවා ගොඩක්ම ජනප්‍රිය උන චිත්‍රපටියක් තමයි මේ… ඒකාලේ සමාජ ජාලාවල පවා ගොඩක්ම ජනප්‍රිය උන මේ අපූරු සිනමාපටය බොහෝ දෙනෙක් ගේ අවධානයට නිතැතින්ම ලක් උන මලයාලම් සිනමාවෙ තවත් අපූරු නිර්මාණයක්. ඇතැම් කෙනෙක් මේක බලලා හිතපු තරම් දෙයක් මේකේ තිබුනෙ නෑ කියලා කිව්වත් ගොඩක් දෙනෙක්ට තමන්ගෙම ජීවිතේ එක්තරා අවධි තුනක ඇත්තම කිව්වොත් ප්‍රේමයේ අවධි තුනක මතකයන්ට යලිත් රැගෙන යන්න සමත් උන චිත්‍රපටියක් කිව්වොත් නිවැරැදි ❤️❤️❤️ ඉතින් 2015 දී සිනමා රසිකයින් අතට පත්වෙලා වසර හයකුත් ගෙවිලා ගිහින් නිසා ඒ ගැන මතක් කරමින් තබන සටහනක් තමයි මේ.. ඇත්තටම සිනමාපටය බලපු අය සහ මේ වෙනකන් බලලා නැති බලන්න අදහසකුත් නැති අයම මේක කියවනවනම් තමයි වඩාත් හොඳ… එහෙනම් අපි පොඩ්ඩක් ප්‍රේමම් ගැන කතාකරමු..❤️❤️❤️
ප්‍රේමම්.. එහෙමත් නැත්නම් ප්‍රේමය කියන්නෙ ඉපදෙන මැරෙන කොයි කාගෙ උනත් ජීවිතේ කොයිම මොහොතක හරි ඇතිවෙන හැඟීමක්. ඒවගේම කාටවත් හරි උත්තරයක් දෙන්න, මේක මෙහෙමයි කියලා විස්තර කරන්න හරිම අමාරු හැඟීමක්.. ඉතින් මේ අපූරු චිත්‍රපටිය අපිට ප්‍රේමය ගැන විස්තර කරන්නෙ නම් නෑ. ඒක විඳින සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ජීවිතේ එක්තරා අවධි තුනක ඇතිවෙන්න පුලුවන් ප්‍රේමයන් තුනක් ගැන අපිට පෙන්වනවා.. ඒක මම මගේ වචන වලින්ම කිව්වොත් පලමුවෙනි අවධිය තමයි ප්‍රථම ප්‍රේමය නැත්නම් බොලඳ ප්‍රේමය.. ඊලඟට අපි එනවා සැබෑ ප්‍රේමය.. එහෙමත් නැත්නම් සත්‍ය ප්‍රේමය දිහාවට.. ඊලඟට තුන්වෙනි අවධිය තමයි පරිණත ප්‍රේමය.. හැබැයි ඉතින් මේ අවධි තුනම ජීවිතේ විදින අය නෑ. සමහර අයගෙ ජීවිතේ ප්‍රථම ප්‍රේමයම සැබෑ ප්‍රේමය වෙලා ඒකම අවසන් ප්‍රේමය වෙන අවස්ථාත් තියෙනවා. ඒවගේම මුල් අවධි දෙක විතරක් තියෙන අවස්ථාත් තියෙනවා. නමුත් ඉතින් බහුතරයක් ගත්තොත් ඔවුන්ගේ ජීවිතේ මම මේ කියපු අවධි තුනටම ගමන් කරනවා.. ඔවුන් ඒ තුලින් ජීවිතේ සුන්දර වගේම අමිහිරි මතක තුල ජීවත් වෙනවා. ජීවිතේට අපූරු පාඩම් ඉගෙන ගන්නවා. ප්‍රේමය විඳිනවා.. විඳවනවා… ප්‍රේමයෙන් වතාවකදි සැනසීම ලැබිලා තවත් වතාවකදි පපුවට දරාගන්න බැරි දුක්ඛදායී මතකයන් ලැබෙනවා.. අන්න ඒ වගේ අපිව ජීවිතේ සතුටේ උපරිමේටම අරගෙන ගිහින් ක්ශණිකව පහලටම ඇදලා දාන්න පවා බලයක් ප්‍රේමයට තියෙනවා.. ඉතින් එහෙනම් අපි අපේ කතාවෙ ජෝර්ජ් ඩේවිඩ් ගේ ජීවිත අන්දරයේ අවධි තුනෙන් පෙන්වන ප්‍රේමයන් තුන ගැන කියවමු…
කතාව පටන් ගනිද්දිම අපි වගේම ජෝර්ජ් ඉන්නෙත් ප්‍රේමයේ පලමු අවධියේ. නැත්නම් ප්‍රථම ප්‍රේමයේ… ඇත්තම කිව්වොත් මේ කාලය තරම් බොලඳ මෝඩ වැඩ කරන කාලයක් ජීවිතේ කවදාවත් එන්නෙ නෑ..?? මේ කාල වකවානුවෙදි අපිත් ජෝර්ජ් එයාගෙ ප්‍රථම වගේම සදාකාලික ප්‍රේමය වෙයි කියලා විශ්වාස කරගෙන ඉදපු කොණ්ඩෙ බොකුටු හැඩකාරි මේරි ගේ පස්සෙන් හැමදාම බයිසිකලෙත් තල්ලු කරගෙන ගියා වගේ කොල්ලො කීදෙනෙක් ගිහින් ඇත්ද… තමන් වචනයක් වත් කතා කරලා නැති උනත් තමන් තමන්ගෙ ඒක පාර්ශවික ආදරවන්ති ගැන නොදන්න දෙයක් නෑ කියලා හිත රවට්ටන් ඉන්න කාලයක් මේ.. ඉතින් හිනාවෙන්න කතා කරන්න තියා කෙලින් මූණවත් බලාගන්න බැරි අපි අපේ ආදරවන්තිගේ මුරකාරයා වගේ හැමදාම එයා පස්සෙන් යනවා විතරයි. ඊලඟට එයා එක වතාවත් හරි මූණ බලයි කියලා අවුවෙ කට්ට කාගෙන තැන් තැන්වල පැය ගණන් රස්තියාදු වෙවී බලන් ඉන්නවා. සමහර දවස්වලට අදාල කෙනා එන්නෙත් නෑ… එදාට ඉතින් හුලං තමයි. හැබැයි බැරි වෙලාවත් ඇවිත් යන්තම් මූණ බලලා පොඩි හිනාවක් දැම්මොත් කොල්ලොන්ට ඒ ඇති සතියකට බඩ පිරෙන්න…??? අන්න ඒ වගේ කාලයක් මේ. ඉතින් සුපුරුදු පරිදි මේ කතාව පටන් ගන්නෙත් ජෝර්ජ් තමන්ගෙ හිතේ ඉන්න ආදරවන්තිට ලියුමක් ලියන තැනකින්.. මේ වගේ අපේ අය ලියපු ලියලා අප්පෝ මේ මොන මගුලක්ද මේ ලියලා තියෙන්නෙ කියලා ගුලි කරලා විසිකරපු ලියුම් ගැන දන්නෙ ඉතින් කාමරේ තියෙන කුණු බක්කිය විතරයි.. කොහොම නමුත් අවුරුදු ගාණක් උනත් ඇඳෙන්න පුලුවන් මේ ප්‍රථම ප්‍රේම අවධියෙ අවසානය එන්නෙ කොල්ලා මොන විදියෙන් හරි හිතට වෙර වීරිය අරගෙන ගෑනු දැරිවිගෙන් අහපු දවසට තමයි…?? ඔන්න එදාට එක්කෝ හිත මගුල් ගෙයක් වෙන්නත් පුලුවන් නැත්නම් මල ගෙයක් වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් කියන්න ඕන බහුතරේකට ලැබෙන්නෙ මං කියපු දෙවෙනි option එක තමයි.. ඒවගේම සමහරවිට කතාවෙ ජෝර්ජ් ට උනා වගේ ප්‍රතික්ශේප කිරිමකට එහා ගියපු සිද්ධියක් වෙන්නත් බැරිකමක් නෑ. ඉතින් ඔන්න එතනින්ම අපේ සදාකාලික ප්‍රථම ප්‍රේම chapter එක ක්ලෝස් කරන්න අපිට සිද්ධවෙනවා..?? කොහොම උනත් කාගෙ කාගෙත් ජීවිතේ අමතක කරන්න ඕන උනත් එහෙම අමතක වෙන්නෙත් නැති අමතක කරන්නත් අමාරු ලස්සන බොලඳ මතකයන් ටිකක් තමයි මේ ප්‍රථම ප්‍රේම අවධිය…
ඔන්න ඊලඟට අපි වගේම ජෝර්ජ් යනවා සැබෑ ප්‍රේම අවධියට.. සමහරවිට මේ කාලේ වෙනකොට ප්‍රථම ප්‍රේමයට පස්සෙ තව අත්හදාබැලීමේ ප්‍රේමයන් කිහිපයක්ම පහුකරලා මේ ප්‍රේම අවධියට ආපු අයත් ඇති. කොහොම උනත් මේ අවධිය ජෝර්ජ් වගේම අපිත් ටිකක් නාහෙට නාහන දඩබ්බර කාලයක්. හැබැයි ඉතින් පෙර අත්දැකීම් එක්ක උනත් මට ඔය කෙල්ලො අදාලම නෑ.. ඕකුන්ට සෙකන්ඩ් වෙන්න මම නම් යන්නෑ කියන ඕන අයියා කෙනෙක් ගෙ හිත හිරිවට්ටලා දාන්න පුලුවන් එක්තරා කෙනෙක් මුණ ගැහෙනවාම තමයි. පොඩි කොල්ලොන්ව රැග් කර කර ඉන්න නාහෙන නාහන ජෝර්ජ් ට කටකාර මලර් ටීචර් හම්බෙනවා වගේ.. ඉතින් මේ ප්‍රේමයේ නම් කලින් වගේ බොලඳ ගතියක් නෑ.. නමුත් මේක සිරාවටම දැනෙන පට්ටම ආදරයක් කියන්න පුලුවන්. දෙන්නා අතරෙ හුවමාරු වෙන හීනි ඉඟි බිඟි වලින් පටන්ගන්න ප්‍රේමයේ අංකුර දෙන්නා ටිකෙන් ටික දෙන්නවම අඳුන ගනිද්දි තව තවත් දලු දාලා අවසානයෙදි අතඇරගන්න අමාරු බැඳීමක් දක්වාම වර්ධනය වෙනවා. අවසානයෙදි දෙන්නට දෙන්නා නොදැක දවසක් වත් ඉන්න අමාරු තත්ත්වෙකට උනත් මේ ප්‍රේමය අපිව පත් කරන්න පුලුවන්. මං මේ චිත්‍රපටියේ දැක්ක ලස්සනම තැනක් තමයි ජෝර්ජ් මලර් ටීචර් එක්ක ඇස් වලින් ඉඟි බිඟි කරන කොටස..❤️❤️❤️ එතන මලර් ටීචර් උන සායි පල්ලවී ගේ වගේම ජෝර්ජ් උන නිවින් ගේ ඇක්ටින් නම් superb. අපිටත් මේ වගේ ටීචර් කෙනෙක් හිටියනම් කියලා කොල්ලො කීදෙනෙක් නම් හිත්වලට දැනෙන්න ඇතිද කියලා දන්නෙ ඉතින් උන්ම තමයි…?? ඉතින් මුලින්ම දෙන්නගෙම හිත හිරිවට්ටලා පටන්ගන්න මේ ආදරේ අපිට ජීවිතේ සුන්දරම අත්දැකීම් දෙන්න සමත්වෙන ප්‍රේමයක් කිව්වොත් නිවැරැදි… ඇතැම් අය මේ ප්‍රේමයම ඉස්සරහට අරගෙන ගිහින් ජීව්තේ අවසන් ප්‍රේමය කරගත්තත් ජෝර්ජ් වගේ ඇතැමෙක්ට නම් ඒකට වාසනාව ලැබෙන්නෙ නෑ. මේක බොහෝවිට ජෝර්ජ් ට උනා වගේ අවාසනාවන්ත බාහිර බලපෑමක් වෙන්න පුලුවන්… කොහොම නමුත් ඒ වගේ අවස්ථාවක දැනෙන වේදනාවත් අර මං කිව්ව සුන්දර මතකයන් හා සමානවම ප්‍රබලයි සහ අමතක කරන්න කොහෙත්ම බෑ. මේ වේදනාව කොයිතරම්ද කියලා ඒ වෙද්දි තද මනුස්සයෙක් උන ජෝර්ජ් මහ වැස්සෙ ඉකි ගගහා අඬන විදියෙන් අපූරුවට පෙන්නන්න චිත්‍රපටියේ ජෝර්ජ් විදියට රඟපාපු නිවින් අපූරුවට සමත්වෙලා තිබුනා. චිත්‍රපටියේ තිබුන සංවේදිම අවස්ථාවන් දෙකෙන් එකක් විදියට මං ඒ අවස්ථාව නම් කරන්න කැමතියි. කොහොම උනත් අපිත් ජෝර්ජ් මලර් ටීචර් එක්කම ජීවිතේ ඉතුරු කාලෙත් ගතකරයි කියන බලාපොරොත්තුව ඒ වැස්සෙන් හේදිලාම ගියා වගේ අපිට වගෙම ජෝර්ජ් ටත් දැනෙන්න ඇති…???
ඊලඟට එනවා වඩාත් පරිණත ප්‍රේමයට.. මේ වෙද්දි ජෝර්ජ් කියන්නෙ අර දඩබ්බර තරුණ කාලෙ අවසන් කරපු වගකීම් සහගත පුද්ගලයෙක්.. හොඳ ව්‍යාපාරයක් කරගෙන ඉන්න සාර්ථක මනුස්සයෙක්. ඔන්න ඔය අතරෙදි තමයි දෛවගේ සරදමකට වගේ ජෝර්ජ් ට සෙලින් ව හම්බෙන්නෙ. මං මෙතනදි දෛවයේ සරදමක් කිව්වෙ මේ සෙලින් කියන්නෙ අපි මුලින්ම කතාකරපු ජෝර්ජ් ගෙ ප්‍රථම ප්‍රේමය උන මේරිගේ පුංචි නංගි නිසා..?? කොහොම හරි පලවෙනි ප්‍රේමය සහ අවසාන ප්‍රේමය එකම පවුලෙ අක්කා නගෝ අතරෙම ඇති උන එක දෛවයේ සරදමක්ම නෙමෙයිද… කොහොම උනත් මෙතනදි අපිට දකින්න ලැබෙන්නෙ ප්‍රේමය ගැන පරිණත විදියට හිතන මතන ජෝර්ජ් කෙනෙක් සහ ඒ හා සමානවම ජෝර්ජ් ගැනත් අවබෝධයෙන් ඉන්න සෙලින් කෙනෙක්.. නමුත් මේ වෙලාවෙදි නන්නාඳුනන මනුස්සයෙක් බඳින්න වෙලා ඉන්න සෙලීන් වාසනාවකට වගේ ඒකෙන් ගැලවෙනවා.. ඉතින් ඉන්පස්සෙ ජෝර්ජ් ට පුලුවන් වෙනවා තමන් එක්ක පොඩි කාලෙත් කතා කර කර ඉදපු ඒකාලෙ පුංචි දඟකාරියෙක් උන මේ හැඩකාරිව තමන්ගෙ ජීවන සහකාරිය කරගන්න. පසුගිය ප්‍රේමයන්වල මතකයන්ගෙන් හෙම්බත් වෙලා ඉන්න ජෝර්ජ් මේ තීරණය ගන්නත් දෙතුන් පාරක් හිතන්නෙ නෑ. මොකද සෙලින්ව තමන්ගේ ජීවන සහකාරිය කරගන්න සපුරන්න ඕන ඔක්කොම සුදුසුකම් ඒ වෙනකොටත් ජෝර්ජ් සපුරලා අවසන් නිසා සහ දෙන්නට දෙන්නා ගැන හොඳ අවබෝධයක් ඒ වෙනකොටත් ඇතිවෙලා තිබුන නිසා. ඉතින් ඔන්න ඔහොම ජෝර්ජ් ගේ ප්‍රේම චාරිකාවත් නිමාවෙනවා. හැබැයි මේ විවාහ උත්සවේට එනවා එක්තරා අමුත්තියක්. ඒ තමයි ජීවිතේ ඇත්තම ප්‍රේමය උන මලර්…❤️❤️ ඉතින් හිතාගන්න පුලුවන් ද ඒ වෙද්දි ජෝර්ජ් ගේ හිතේ ඇති උන ඝට්ටනය මොනවගේ එකක් ද කියලා. තමන් තමන්ට ආදරේ කරන කෙනාව බැඳලා මංගල පෝරුවෙ ඉන්න අවස්ථාවෙදිම තමන් පණ වගේ ආදරේ කරලා මේ මංගල පෝරුවට කැන්දන් එන්න හිතන් ඉදපු ගෑනු ලමයා දුරින් ඉදන් එයාට සුභ පතද්දි…?? ඒකනම් පුදුමාකාර සංවේදී අවස්ථාවක් කියන්න පුලුවන්. ජෝර්ජ් ගේ මූණෙන් පවා ඒක ඒ වෙලාවෙදි ලස්සනට පේනවා..ඒ වෙලාවෙදි මලර් ජෝර්ජ් සහ සෙලින් දෙන්නව පෙන්නලා හොඳට ගැලපෙනවා කියලා අතින් පෙන්නන අවස්ථාවෙදි ජෝර්ජ් ට සතුටක් වගේම දුකකුත් දැනෙන්න ඇති. මලර් ගේ පැත්තෙන් බැලුවත් ඒ වෙනකොටත් එයාගෙ මතකය ආයෙ ලැබිලා නෑ වගේ පෙන්නුවත් මම නම් හිතන්නෙ ඒ වෙද්දි මලර්ට හැමදේම මතකයි. නමුත් ඇයත් ජෝර්ජ්ටත් වඩා හොඳට එයාගෙ හැඟීම් සඟවාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදියට අපේ කතා නායකයා උන ජෝර්ජ් ඩේවිඩ් ගේ ප්‍රේමයේ අවධීන් තුන නිමාවට පත්වෙනවා වගේම ප්‍රේමම් සිනමාපටයත් නිමාවට පත්වෙනවා…❤️❤️❤️ එහෙනම් මම හිතනවා මගේ මේ අදහස් දැක්වීම ඔයාලට යම් මට්ටමකින් වටිනවා ඇති කියලා. මේ ගැන ඔයාලගෙ අදහසුත් පහලින් comment කරගෙන යන්න..❤️❤️ එහෙනම් තවත් මේ වගේ රසවත් සිනමාපටයක් ගැන ලඟදිම කතාකරමු. එතෙක් සිනමාලෝලී ඔබ සැමට ජයවේවා !!
PRG…