Pottu (2021) Tamil Short film
ලෝකය පුරා මේ දක්වා බිහිව තිබෙන භාෂා සංඛ්‍යාව 6000-7000ක් අතර ප්‍රමාණයක් ගිනියි. ඒවායේ ඇති වචනවලින් වැඩිමනක් භාවිතයට ගනුයේ කාන්තාවන් වර්ණනා කිරීමටය. කුඩා වියෙහි සිට විවාහය දක්වාම නොයෙකුත් වර්ණනාවට ලක් වන කාන්තාව ශ්‍රියා කාන්තාවක ලෙස හඳුන්වනු ලැබේ. කෙසේ වෙතත් මෙම ගුණ වර්ණනා සියල්ලම ඇයගේ සැමියා ජීවත්ව සිටීම දක්වා පමණය. සැමියා මිය ගිය පසුව මංගල ලක්ෂණයක් වූ කාන්තාව නිවසේ දොර මුල්ලට කොටු කෙරේ. සමාජය විසින් ඇය ඉදිරියේ මවා තිබු වීදුරු මාළිගාව විනාශ කරන්නේ, වැන්දඹුවක් ලෙස ඇයට හංවඩු ගසමින්ය.
මල්, තිලක, වර්ණවත් වළලු, පා සළඹ, සහ සේද වර්ගයේ වර්ණවත් සාරි අඳිමින් සිය විවාහ ජීවිතයට ඇතුළු වන තරුණියකගේ සැමියා අකාලයේ මිය යන්නේ නම් ඔහුගේ මෘත දේහය සමඟින් ඉහත සඳහන් සියල්ලම භූමදානය කරනු ලැබේ. විශේෂයෙන් උපන්දා සිට සිය නළල අලංකාරවත් කළ තිලකය අහිමිව යන්නේ, සැමියාගෙන් වියෝ වූ දුක දෙගුණ තෙගුණ කරමින්ය. ඉන් අනතුරුව ඇයට සමාජයෙන් ලැබෙන පිළිගැනීම ද එතරම් යහපත් නොවේ. මෙපමණ දවසක් ශ්‍රියාකාන්තාව යැයි කියු පිරිස් ඇයගේ මුහුණ දැකීම අයහපත් කරුණක් ලෙස සමාජය දකියි. මෙවැනි සමාජයක අකාලයේ සිය සැමියාව අහිමි කරගනිමින් සිය ජීවිකාව රැගෙන යන කාන්තාවන් වෙනුවෙන් හඬක් අවදි කළ කෙටි චිත්‍රපටියක් නවයුගා කුගරාජාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන “පොට්ටු” හඳුන්වා දිය හැකිය.
කාන්තාවක සිය නළලෙහි තිලයක තබන්නේ, අනෙකුත් පිරිමින්ට තමන් විවාහකයි යන්න හැඟවීමට පමණක්ම නොවේ. ඒ තුළ විද්‍යාව ද ගැබ්ව තිබේ. මිනිස් මොළයට ස්නායු පද්ධතිය තුළ හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. එහි හෝර්මෝන නිෂ්පාදන ක්‍රියාවලිය භාරව තිබෙන්නේ, පිටියුටිරි ග්රන්ථියටය. එම ග්‍රන්ථිය සහ නළල මධ්‍යයෙහි තබන තිලකය අතර ඇත්තේ සුවිශේෂි සබඳතාවයකි. අප විසින් තිලකය තැබීමට නළල පිරිමදින විට පිටියුටිරි ග්‍රන්ථිය යම් උත්තේජනයක් ලබන අතර එම නිසා මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් වන බව සඳහන්ය. ඉන් ඔවුන්ගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගත හැකිය. එමෙන්ම ශිව දෙවියන් සතුව ඇති තෙවැනි ඇස ලෙස ද මෙම තිලකය නම් කළ හැකිය. අනෙක් තිලකය ඇහි බැමි ද්විත්වය එකතු වන ස්ථානයේ තබනු ලැබේ. එම තිලකය හරහා මොළයේ ඇති සියලු ස්නායුවලට උත්තේජනය ලැබෙන බවත්, මොළයෙහි ක්‍රියාකාරීත්වය යහපත් කරන බවත් පැවසේ.
සැමියා මිය ගිය පසුව එම තිලකය කාන්තාව ඉවත් කරනුයේ මින් මතුව තමන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අනවශ්‍යයි යනුවෙන් පවසමින් ද යන සැකයක් පවතියි. සිය සැමියාව අහිමි කරගැනීමෙන් අනතුරුව සිය දියණිය සමඟ ජීවත් වන තිලකා වැනි බොහෝ කාන්තාවන් ඔබ මා පය ගසා සිටින භූමියේ ජීවත් වෙති. සැමියා අහිමි වීමෙන් පසුව වැන්දඹුවක වන කාන්තාවට විවාහ ඇතුළු සතුටුදායක අවස්ථාවලට සහභාගී වීම ද අකැපය. සැමියා සමඟින් ඇයට මෙවැනි අවස්ථා අහිමි වන්නේ කෙසේ ද යන්න අප පෙරළා මෙම සමාජයෙන් ප්‍රශ්න කළ යුතුමය. අප විසින් සිදු කළ යුතු ප්රශ්නය මෙම චිත්‍රපටිය තුළින්ම අසා තිබීම විශේෂත්වයකි.
මෙරට තුළ පැවැති තිස් වසරක සිවිල් යුද්ධය හේතුවෙන් අකාලයේ සිය තිලකය අහිමි කරගත් තරුණියන් රැසක් උතුරේ සිටිති. පොට්ටු කෙටි චිත්‍රපටිය නිර්මාණය කිරීමේ මූලික අරමුණවී ඇත්තේ ද, තිලකය සහ කාන්තාවන් අතර පවතින දුර්මතයන් ඉවත් කර කාන්තාවන්ට ලැබිය යුතු අයිතිවාසිකම යළිත් හිමි කර දීමය. වැන්දඹුවකට යළිත් තිලකය තැබිය හැකි ද යන විවාදය තවදුරටත් ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාවයක් සමාජය තුළ මතුව ඇත.
අධ්‍යක්ෂවරිය විසින්ම ප්‍රධාන චරිතයට පණ පොවන මෙම කෙටි චිත්‍රපටයේ සෙසු චරිතවලට රංගන දායකත්වය සපයන්නේ ශැරොන් ප්රේසි, ප්‍රියා ඩැනියෙල්, ගීතානි සෙනවිරත්න, මනුජිතා දිමන්සා, යශෝධා රාධාක්‍රිෂ්ණන්, ජුලියානා ජෝන්ෆිලිප් විසිනි.
කැමරා අධ්‍යක්ෂණයෙන් මධුනි හිරන්‍යා අලහකෝන්, නිෂ්පාදන සැලසුම්, සංස්කරණය, VFX සහ තේමා ජෝෂුවා හිබී, සංගීතයෙන් MC රාජ්, කලා අධ්‍යක්ෂණයෙන් ගෝබි රාමනන්, හඬ නිෂ්පාදනය සහ සැලසුම්කරණයෙන් නන්දා නන්දි ජයකොඩි සහ ලාල් දිසානායක, ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකර, අංග රචනයෙන් මදාරා ගොඩගේ, ආලෝක සැපයුම්කරණයෙන් සුන්දරේසන් ජගදීසන්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, නිෂ්පාදන කළමනාකරණයෙන් පවිත්‍රා මධුභාෂිනී, පළමු සහය අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරිස්, දෙවන සහය අධ්‍යක්ෂණයෙන් කිරුශාන්ති ඥානප්‍රකාශම්, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් චතුරංගි රසිකලා පතිරගේ, සහය-නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් පතුර්ජන් විජේසේකර ඇතුළු විශාල පිරිසක් මේ නිර්මාණ කාර්යට උර දී තිබේ.
“පොට්ටු” චිත්‍රපටිය මෙම විවාදය ඉදිරියට රැගෙන යාමට පිටිවහලක් වනු ඇතැයි මා විශ්වාස කරමි. මිනිත්තු 12ක් පුරා දිවෙන මෙය, ශ්‍රී ලංකා බ්‍රිතාන්‍යය කවුන්සිලය විසින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ නිර්මාණය කෙරුණකි.
Cast : Navayuga Kugarajah , Sharon Pracy , Priya Daniel, Geethani Senavirathne
Director of Photography : MadHuni Hiranya Alahackone
Music : MC Raj
සිනමාව ගැන අපගේ Facebook පිටු සදහා පිවිසෙන්න