Posham Pa (2019) Hindi | Movie Article

ප්රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනික ද?
Posham Pa (2019) Hindi
අප අවට සමාජයේ අඳුර පැතිරී ඇති සීමාව කොතෙක් ද යන්න පිළිබඳව සැබැවින්ම අපට නිශ්චිත අවබෝධයක් නොමැත. එහෙත් ඒ අඳුර බොහෝවිට තවත් අඳුරකට උපත ලබාදෙන බව නොරහසකි. ඒ අඳුරට කොතරම් අපේ නෙත් වසාගත්ත ද, කොතෙක් කල් එසේ අපේ නෙත් ඒ අඳුර වෙතින් වසන් කර තැබිය හැකි ද?
Posham Pa සිනමාපටය ඒ අඳුර පිළිබඳව විනිවිදින සුළු සිතුවමක් නිර්මාණය කිරීමට සමත් වන සිනමාපටයකි.
සිනමාපටයට පාදක වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ සිදු වී ඇති සත්ය සිදුවීමකි. එම සිදුවීම අළලා වාර්තා චිත්රපටයක් නිර්මාණය කිරීමට තරුණයෙකු සහ තරුණියක ගන්නා උත්සහයක් හරහා සිනමාපටය ගොඩනැගේ.
චිත්රපටය ප්රධාන වශයෙන්ම නිර්මාණය වී ඇත්තේ කාන්තා චරිත තුනක් වටා ය. ඒ ප්රජක්තා ඇයගේ දියණියන් වන රේඝා සහ ශිඛා වටා ය. සිනමාපටය නිර්මාණය වන පසුබිම වන විට ප්රජක්තා මියගොස් සිටිය ද ඇයගේ සෙවනැල්ල සහ බලපෑම සමස්ත චිත්රපටය පුරාම කැපීපෙනෙන අයුරින් දැකගත හැකි ය. නමුත් සිනමාපටය අවසන් වන්නේ මේ සියල්ල සැබැවින්ම හුදෙක් ප්රජක්තාගේ බලපෑම මත සිදු වූ ක්රියාදාමයක් ද? යන පැනය පිළිබඳව විනිශ්චයකට එළඹීමට ප්රේක්ෂකයාව යොමුකරවමිනි. ඒ පිළිබඳව මා මෙහි කිසිදු සඳහනක් නොකරන්නේ එය ප්රේක්ෂක ඔබ විසින්ම මෙය නරඹා ඒ අත්දැකීම අත්විඳ එළඹිය යුතු විනිශ්චයක් වන බැවිනි.
සැබැවින්ම වරද කාගේ ද?
වාර්තා චිත්රපටය නිර්මාණය කරන තරුණයා සහ තරුණිය සමග ඔබට ද ඒ සොයායෑමේ චාරිකාවේ නිරතවීමට සිනමාපටය තුළ අවකාශය සලසා දෙයි. එය එක්තරා අන්දමක පුද්ගලයන් පිළිබඳව විනිශ්චයකින් ඔබ්බට ගොස් සමස්ත සමාජ ක්රමයම ප්රශ්නගත කිරීමට ප්රේක්ෂකයා පොළඹවයි.
කුඩා වීදි දරුවන් ඝාතනය කළ දාම ඝාතක ක්රියාවලියක් සම්බන්ධයෙන් දිගහැරෙන මනෝවිද්යාත්මක ත්රාසජනක ශානරයේ (Physcological Thriller) චිත්රපටයක් වන මේ චිත්රපටයේ වෘතාන්තය තුළ අපරාධයකට නැඹුරුවන පුද්ගලයෙකු ඒ කෙරෙහි නැඹුරුවීමට බලපාන සමාජීය සහ මනෝවිද්යාත්මක කරුණු පිළිබඳව කැපීපෙනෙන නිරූපණයක් සිදුකර තිබේ. ඉන් වඩාත් කැපීපෙනෙන්නේ ඒ කෙරෙහි සිදුවන සමාජීය බලපෑම පිළිබඳව සිදුකෙරෙන කැපීපෙනෙන නිරූපණය යි. එම සමාජීය සහ මනෝවිද්යාත්මක නිරූපණය සියුම් විනිශ්චයන් කරා ප්රේක්ෂකයා මෙහෙයවන්නකි.
නමුත් අපට අසන්නට ලැබෙන දේ, දකින්නට ලැබෙන දේ ඇසුරින් අපට ප්රත්යක්ෂ වන දේ සැමවිටම නිවැරදි ද?
ඒ ඇසුරින් අප ගොඩනගන නිගමන සෑමවිටම නිවැරදි ද? එයට කදිම පිළිතුරක් මේ සිනමාපටය ඔබට ලබා දේ. එය ඔබේ හදවත මෙන්ම හිස තුළ ද කිසියම් කැළඹීමක් ඇතිකිරීමට සමත්වන්නකි. ප්රත්යක්ෂය ඇසුරින් අප එළඹෙන කඩිනම් නිගමනවල වලංගුභාවය පිළිබඳව ප්රශ්නගත කිරීමට එය අපව පොළඹවයි.
සිනමාපටයේ වෘතාන්තයට නිර්මාණාත්මක බවක් එක් කිරීම සඳහා සත්ය කතා පුවතට යම් වෙනස්කම් සිදුකර ඇති බව ඒ පිළිබඳව තවදුරටත් අධ්යයනය කිරීමේදී පෙනී යයි.
මින් දශක දෙකකට පමණ ඉහත දී ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ සිදු වූ වීදි දරුවන් පැහැරගැනීම සහ දාම ඝාතන ක්රියාවලියක් මත මෙම චිත්රපටය පසුබිම් වේ. අංජනා ගාවිත් (මව), රේණුකා ශින්ඩේ (වැඩිමහල් දියණිය), සීමා ගාවිත් (බාල දියණිය) යන මව සහ දියණියන් තිදෙනා විසින් 40කට වඩා වැඩි දරුවන් පිරිසක් පැහැරගෙන ඉන් 12දෙනෙකු පමණ ඝාතනය කොට ඇති බවත්, ඒවායින් ඝාතන සිදුවීම් 5ක් පමණ අධිකරණය හමුවේ තහවුරු වී ඇති බවත් සැලකේ. ඉන් ඔවුන්ගේ මව නඩු විභාගය කාල සීමාව අතරතුර බන්ධනාගාරයේදී මරණයට පත් වී ඇති අතර දියණියන් දෙදෙනාට මරණ දඬුවම හිමි වී ඇත. දියණියන් දෙදෙනාට ජනාධිපති සමාව ඉල්ලාසිටිමින් ගොනු කළ පෙත්සම ද හිටපු ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි විසින් ප්රතික්ෂේප කර ඇත.
එවන් කුරිරු අපරාධ සිදුකිරීමට ඔවුන් පෙළඹෙන්නේ ඇයි?
Posham Pa චිත්රපටය සමාජයේ අප වෙතින් සැඟවී පවතින, අප දුටුව ද එතරම් අවධානය යොමුකරමින් කතාකිරීමට නොපෙළඹෙන, ඇතැම්විට කඩතුරාවකින් වසා තැබීමට යත්න දරන එක්තරා අඳුරු පැතිකඩක් පිළිබඳව නිරාවරණය කිරීමකි. ඇතැම්විට අපි සියල්ලෝම මෙහි අඩුවැඩි වශයෙන් කොටස්කරුවෝ නොවන්නෙමු ද?
මෙය සත්ය සමාජීය ඛේදවාචකයක් වීම ඔබගේ සිත වඩාත් සසල කරවනු ඇත.
චිත්රපටයේ කැපීපෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ ඒ තුළ දැකිය හැකි ප්රබල කාන්තා දායකත්වය යි. මෙහි ප්රධාන චරිත බොහොමයක් කාන්තාවන් වීම එක්තරා අන්දමක සුවිශේෂී බවකි. චිත්රපටයේ ප්රධාන චරිතවලට පණ පොවන මාහි ගිල්, සයනි ගුප්තා සහ රාගිනි කන්නා වෙතින් ප්රකට වන රංගනය ද ප්රශස්ත මට්ටමක පවතී. මෙම චිත්රපටයට හිමි වී.ඇති IMDb අගය 6.3කි.
Posham Pa යනු,
  • ප්රජක්තා දේශ්පාණ්ඩේගේ කතාව ද?
  • රේඝාගේ කතාව ද?
  • ශිඛාගේ කතාව ද?
එසේත් නැතිනම් ඒ සියල්ලෙන්ම ඔබ්බෙන් පවතින වෙනත් කතාවක් ද? ඔබේ ඇස් මානය ඉදිරිපිට ඔබෙන් වසන්වන දේ මේ සමාජය තුළ කොතරම් පවතී ද?
මෙය නරඹා තීරණය කිරීම ඔබ සතු ය.
Posham Pa සිනමාපටය ඔබට අපූරු Crime Thriller ශානරයේ අත්දැකීමක් ලබාදීමට සමත්වනු ඇත.
– හංසිනී කවින්දි –
********************************************
  • Directed by – Suman
  • Mukhopadhyay
Produced by – Dhirajj Vinodd Kapoor
Written by – Nimisha Misra
Starring – Mahie Gill
Sayani Gupta
Ragini Khanna
Production companies –
Ten Years Younger Productions
Amber Entertainment
Distributed by – ZEE5
Release date – 23 August 2019
Running time – 75 minutes
Country – India
Language – Hindi

හංසිනී කවින්දි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *