Ponmagal Vandhal (2020)
පොන්මගල්_වන්දාල්
“Justice delayed is justice denied.”
(“යුක්තිය ප්‍රමාද වීම ද යුක්තිය ප්‍රතික්ෂේප වීමකි.)
අප සියලුදෙනාම පාහේ නීතියේ පිහිට පතා පැමිණෙන්නේ යුක්තිය අපේක්ෂාවෙනි. නමුත් එහිදී අපගේ සාධාරණ අපේක්ෂාවන් බිඳවැටෙන්නේ නම්, අපට හිමි යුක්තිය ඉටුවීම ප්‍රමාදවන්නේ නම් ඒ කෙරෙහි අප තැබූ විශ්වාසය පළුදු වී යාම කිසිසේත්ම නොවැළැක්විය හැකි කරුණකි. වර්තමානයේ නීතිය සහ යුක්තිය වුව ද බලයට සහ මුදලට විකිණෙන බවට බොහෝදෙනෙකු අතර ප්‍රබල මතවාදයක් ගොඩනැගී ඇත්තේ එබැවිනි. එක් නිර්දෝෂී පුද්ගලයෙකු අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීම අපරාධකරුවන් දසදෙනෙකු නිදහස් කිරීමටත් වඩා අයහපත් ක්‍රියාවකි. එය නීතියේ යුක්තියෙන් පමණක් නොව හෘදසාක්ෂියේ නීතියෙන් ද ඔබ්බෙහි පවතින්නකි. මන්ද කෙනෙකුට තම අනන්‍යතාවය අහිමි කිරීම එතරම්ම නොතරම් අයුක්ති සහගත ක්‍රියාවකි.
නමුත් සත්‍යය කෙදිනක හෝ හෙළිවන බවට ලොව ප්‍රබල විශ්වාසයක් පවතී. එනිසා ප්‍රමාද වී හෝ යුක්තිය ඉටුවනු ඇතැයි අපේක්ෂාවක් අපගේ සිත් කොනක දල්වා තබාගැනීමට අපට හැකිය. යම් හෙයකින් යුක්තිය ඉටුවීම ප්‍රමාද වන්නේ නම් එය නීතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතාවයකි. ඒ සම්බන්ධයෙන් ඉහත කී අන්දමේ ප්‍රකාශයක් ගොඩනැගී ඇත්තේ ද එබැවිනි. එනිසා ඒ පිළිබඳව අදාළ පාර්ශවයන්ගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතුම ය. “පොන්මගල් වන්දාල්” වූ කලී එවැනි කාලීන ප්‍රපංචයන් කීපයක් කතිකාවතට බඳුන් කරන සිනමාපටයකි.
*වසර 15කට පසුව නැවතත් අධිකරණය හමුවේ විවෘත වන පැරණි නඩු ගොනුවක්
*ඒ හා සමඟ නැවතත් කරළියට පැමිණෙන අති සංවේදී සමාජීය ගැටලුවක්
*තමා වෙනුවෙන් යුක්තිය පතා නීතිය හමුවට පැමිණෙන දියණියක්
*සැබැවින්ම වසර 15කට පෙර සිදු වූයේ කුමක් ද?
*නීතිය හමුවේ ඇයට යුක්තිය සහ සාධාරණත්වය ඉටුවේ ද?
*නීතියේ ඇසින් යුක්තිය වසාදැමුවේ කවුරුන් ද?
ඒ ගැන දැනගැනීමට නම් ඔබ පොන්මගල් වන්දාල් චිත්‍රපටය නැරඹිය යුතුය. සැබැවින්ම ඒ තුළින් කතිකාවකට බඳුන් කරන්නේ අප කාගේත් හද කම්පාකරන අතිශය සංවේදී සමාජ ගැටලුවකි. මෑත කාලීනව ලංකාව තුළ ද අසන්නට දකින්නට ලැබුණු නිසා එය ඉන්දියාවට මෙන්ම ලංකාවට ද එක ලෙසින් අදාළ විය යුතු යැයි මම සිතමි.
“කෙල්ලෙක් තමන්ගෙ ප්‍රශ්නයක් වෙනුවෙන් නිර්භීතව සටන් කරන එක පිස්සුවක් වගේ පේන්නෙ ඇයි සර්?
අපට සිද්ධවෙන ප්‍රශ්නයක් ගැන කිව්වම ඒක නාට්‍යයක්.
අපේ කඳුළු බෙදාගත්තොත් ඒක රඟපෑමක්
අපේ වේදනාව පිටිපස්සේ තියෙන ඇත්ත ඇයි සර් ඔයාලට හැමවෙලාවෙම බොරුවක් වගේ පේන්නෙ?
කවදහරි නිදාගෙන ඉන්නකොට සිය දෙනෙක් ඔයාගෙ බෙල්ල මිරිකනව වගේ හීනයක් දැකල ගැස්සිල නැගිටල තියෙනවද? එහෙම නැගිටල නැතුව ඇති….
වේදනාව කියන්නෙ මොකක්ද?
නැතිවීම කියන්නෙ මොකක්ද?
දුක කියන්නෙ මොකක්ද?
කියල දන්නෙම නැතුව ඇති….ඒත් මම එහෙම නෙවෙයි….
එක රැයක් සැනසීමෙන් නිදාගෙන අවුරුදු ගාණක් වෙනවා. මගේ හැම හිනාවක් පිටිපස්සෙම කඳුළු තියෙනවා. මගේ අතීතෙ අමතක කරන්න බැරි කේන්තිය තියෙනවා. හැම රැයක්ම අඳුනන්නෙ නැති දහස් ගාණක් මගේ පස්සෙන් පන්නගෙන එනව කියල හිතල බයෙන් මැරි මැරි ජීවත්වෙනව.
වේදනාව, අහිමිවීම්, දුක….
ඒවගෙ තියෙන බය මේ ඇඟ පුරාම තියෙනවා.
ස්වාමීනි,
ඔබට “අසීෆා”ව මතකයිද? අනිවාර්යයෙන්ම මතක ඇති. මොකද ඔයාගෙ ගෙදරත්, මගේ ගෙදරත් අසීෆාගෙ වයස පහුකරපු ළමයි ජීවත්වෙනව.
අසීෆා…හාසිනී….නන්දනී
හැමදාම අපි පහුකරගෙන යන නම්…නිකම් ප්‍රවෘත්ති අපට නම්. කවදමහරි දවසක් ඒ ළමයින්ගෙ තැන ඔයාලගෙ ළමයි තියල බලල තියෙනව ද? එතකොට තමයි ඒ ප්‍රවෘත්තියේ වේදනාව තේරෙන්නෙ. අපි දන්න විදියට නම් අපේ ළමයි ගොඩක් ආරක්ෂා සහිතව ඉන්නව කියල අපි විශ්වාස කරනව. ඒත් ඒක ඇත්ත නෙවෙයි. කොයිම වෙලාවක හරි ඔයාගෙ ළමයි එක්ක ආදරෙන් ඉන්න වෙලාවක අහල බලන්න, ඒ ළමය එක්ක කවුරුම හරි මොනම වෙලාවක හරි වැරදියට හැසිරෙන්න උත්සහ කරා කියල කියාවි.
අපේ රටේ හැම වීදියකම ගොඩක් අසීෆලා, හාසිනීලා ඉන්නව. ඒත් එයාලට වෙන අසාධාරණය කියන්න එයාලට හයියක් නෑ. තවත් ගොඩක් අයට තමන්ට වෙන අසාධාරණය කොහොමද කියන්නෙ කියලවත් තේරුමක් නෑ. මේ ජීවිතේ දුක, සතුට මොකක්ද කියල දැනගන්නත් කලින්ම පොඩි ළමයෙක් කියල බලන්නෙ නැතිව ඒ ළමයගෙ ඇඟෙන් වාසි ගන්න එක කොච්චර මිලේච්ඡ ක්‍රියාවක් ද?”
“පොන්මගල් වන්දාල්” යනු ජෝතිගේ හෝ වෙන්බාගේ කතාව පමණක් නොවේ. එමෙන්ම එය අසීෆාගේ(2019), හාසිනීගෙ(2017) හෝ නන්දිනීගේ(2016) කතාව පමණක් ද නොවේ. එමෙන්ම මෙය නිර්භයාගේ(2012) ද කතාව පමණක් නොවේ. මේ සමස්ත කාන්තාවට එරෙහි ක්‍රියාත්මක වන ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කෲරත්වය පිළිබඳව කතාවයි. ඉනුත් මල් වැනි සියුමැලි කුඩා දැරියන්ට එරෙහිව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය සහ කෲරත්වය අතිශයින්ම මිලේච්ඡ ය. හද කම්පාකරවන සුළු ය.
මේ, සේයා සදෙව්මිගේ (2015), ශිවලෝගනාදන් විද්‍යාගේ(2015), ක්‍රිශාන්ති කුමාරස්වාමිගේ (1996), ප්‍රේමවතී මනම්පේරිගේ (1971) කතාවයි. ඔවුන් මෙන් වදනින් මේ සා යැයි විස්තර කළ නොහැකි හිංසනයන්ට ගොදුරු වූ සියලුම ගැහැනුන් සහ ගැහැනු දරුවන් පිළිබඳව කතාන්දරයයි. මේ අප දන්නා පුවත් කීපයක් පමණි. අප නොදැනුවත්ව මෙවන් සිදුවීම් කොපමණ සංඛ්‍යාවක් මේ කුඩා දිවයින තුළ, මේ ලොව තුළ සිදුවනවා ඇති ද? තමන්ට සිදුවූ අසාධරණය වෙනුවෙන් හඬක් නැගීමට නොහැකිව ඔවුන් කෙතරම් වාර ගණනාවක් සිතින් යළි යළිත් ඉපදෙමින් මියයනු ඇති ද? මෙවන් නිර්මාණයකට ගොනු කළ හැක්කේ ඔවුන් විඳි දහසකුත් එකක් වේදනාවන්ගෙන් ඉතාමත් කුඩා වූ අංශු මාත්‍රයක් පමණි. එය ද නැරඹීමෙන් පසුව අපට අපගේ දෑසින් ගලන කඳුළු නවත්වාගැනීමට නොහැකිය. මෙම පුවත් පිළිබඳව නඩු වාර්තා, පුවත්පත් වාර්තා, ලිපි ආදිය කියවද්දී, මෙවැනි චිත්‍රපට නරඹද්දී මගේ සිරුරේ රෝමෝද්ගමනය වී දෑස් කඳුළින් තෙත්වීම වළකාලීමට මම අපොහොසත් වෙමි. ඒ උපතින් මට හිමිවූ “ස්ත්‍රීත්වය” නිසාවෙන් බැව් කෙනෙකු පැවසීමට පුළුවන. සැබෑ ය. එය එනිසා වන්නට පුළුවන. මන්ද ස්ත්‍රියක ලෙස උපත ලැබීම හේතුවෙන්ම ඇය විඳින සියලුම වේදනාවන් මැනවින් වටහාගැනීමට මට හැකි බැවිනි. නමුත් මාසික ඔසප් වේදනාවේ සිට විලිරුදා විඳ දරුවෙකු බිහිකිරීම දක්වාත්, ඉන් පසුත් ස්ත්‍රියක විඳින වේදනාවන්ගෙන් අංශු මාත්‍රයක් හෝ හඳුනන පුද්ගලයෙකුට සිතට නැගුණු කම්පනයකින් සහ දෑසට නැගෙන කඳුළකින් තොරව මෙවැනි පුවතක් පිළිබඳව කියවීමට හෝ මෙවැනි සිනමාපටයක් නැරඹීමට නොහැකි යැයි මම සිතමි. එය කියවන නරඹන අපට එසේ නම්, ඒ වේදනාව සැබැවින්ම අත්විඳි ඇයට එම අත්දැකීම කෙබඳු එකක් වන්නට ඇත්ද? “පොන්මගල් වන්දාල්” ද එලෙස ඔබගේ හදවත සියුම් ලෙස කම්පනයට ලක්කොට නෙතගට කඳුළක් නැංවීමට සමත් නිර්මාණයකි.
නමුත් අප කුමන අන්දමින් මේ පිළිබඳව කතිකාවතක් ඇති කළ ද මෙය නතර වන්නක් නොවේ. මෙය එහි අවසානයක් ද නොවේ. හෙට මා, ඔබ මෙන්ම තවත් මවක, නැගණියක, බිරිඳක හෝ දියණියක ඉදිරියේ අවිනිශ්චිත අනතුරක අඳුරු පැහැ සේයාවන් වැතිරී ඇත.
වර්තමානය වන විට ඉන්දීය අධිකරණය වරින් වර සමාජය තුළින් පැන නගින මෙම අතිශය සංවේදී ගැටලුව හමුවේ මේ සම්බන්ධව ඉතා වැදගත් වර්ධනකාරී, තීරණාත්මක අධිකරණ තීන්දුවලට එළඹ තිබෙන ආකාරය අපට පසුගිය කාල සීමාව තුළ දැකගත හැකි විය. ඒ අතරින් වඩාත් සමීපතම සිදුවීම වන්නේ 2014 වසරේ මාර්තු මස 14වන දින නිර්භයා නඩුවේ විත්තිකරුවන් චූදිතයන් බවට පත්කරමින් ඔවුන්ට මරණ දඬුවම පනවා දිල්ලි මහාධිකරණය විසින් පනවන ලද මරණ දඬුවමට එරෙහිව චූදිතයන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම තහවුරු කිරීමේ සිදුවීමයි. නිර්භයා නඩුවේ චූදිතයන්ට එරෙහි මරණ දඬුවම 2020, එනම් මෙම වසරේ මාර්තු මස 3වන දින ක්‍රියාත්මක විය. බොහෝ සිත් සතන්වලට සැනසුම ගෙන එමින් පමා වී හෝ නිර්භයාට සිය යුක්තිය ඉටුවිය. නමුත් අදටත් ඉන්දියාව තුළ මෙවැනි සිදුවීම්වල කිසිදු අඩුවක් දක්නට නැත.
මේ සම්බන්ධව ලංකාවේ නීති තත්වය ද පවතින්නේ පසුගාමී වර්ධනය විය යුතු මට්ටමක ය. එය සැබැවින්ම කණගාටුවට කරුණකි. තමාට කුඩා කල සිදු වූ ලිංගික අපචාරයක් වෙනුවෙන් යුක්තිය අයදිමින් දරුවන් ද අතින් කටින් එල්ලාගෙන අධිකරණය හමුවට පැමිණෙන කාන්තාවන් මම දැක ඇත්තෙමි. වසර ගණනාවකට පෙර කුඩා කල තමන්ට අත්විඳීමට සිදු වූ කුරිරු හිංසනය වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීමට වසර ගණනාවක් මුළුල්ලේ ඒ මතකයන්ගෙන් සිය ආත්මය හා හදවත ගිනිතබා ගනිමින් ඇය අධිකරණය වෙත පැමිණිය යුතු විය. එය කොතරම් දුරට සාධාරණ ද? යුක්තිය ඉටු නොවීම තිබෙනවාට වඩා පමා වී හෝ යුක්තිය ඉටුවීම හොඳයැයි කෙනෙකු පැවසීමට පුළුවන. නමුත් මා ලිපිය ආරම්භයේ දී ම සඳහන් කළ “Justice delayed is justice denied.” යන කියමන වඩාත් අදාළ වන්නේ එතැන දී යැයි මම සිතමි.
නීතිවේදීන්, විනිසුරුවරුන්, නීතීඥවරුන්, නීති විශාරදයින් කොපමණ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළත්, අවසන් ප්‍රතිඵලය බිහිවිය යුත්තේ ව්‍යවස්ථාදායකය තුළිනි. 1833 තරම් ඈත අතීතයේ දී ලංකාවට හඳුන්වාදුන් දණ්ඩ නීති සංග්‍රහයට මේ වන තෙක්ම සංශෝධනයන් දෙකක් පමණක් එක් වී තිබීම අපේ ව්‍යවස්ථාදායකයේ කාර්‍යක්ෂමතාවය මැනවින් පිළිබිඹු කරවන්නකි. වර්තමානයේ පවතින්නේ එදා දණ්ඩ නීති සංග්‍රහය පැනවූ 1833 තිබූ සමාජීය පරිසරය සහ වටපිටාව නොවේ. නමුත් අපේ ව්‍යවස්ථාදායකයේ අසුන් හොබවන උත්තමයන් හට ඔවුන්ගේ පැසුණු බුද්ධිය සහ වටිනා කාලය වැය කරමින් සිදුකිරීමට නොයෙක් වැදගත් රාජකාරි ඇති බැවින් මෙවන් දේ ගැන අප කතිකාවතකට බඳුන් කිරීම කොතරම් පල සහිත ක්‍රියාවක්දැයි මම නොදනිමි.
අතිශය සංවේදී කාලීන සමාජීය ප්‍රපංචයක් තේමාකොට ගනිමින් 2020 වසරේ ඉන්දියාවේදී ද්‍රවිඩ බසින් නිර්මාණය වී ඇති “පොන්මගල් වන්දාල්” සිනමාපටය තුළ සිනමාත්මක වශයෙන් කිසියම් අඩුලුහුඬුකම් කීපයක් මා දුටු බව ද සඳහන් කළ යුතුම ය. මෙහි දී අතිශය නිර්මාණාත්මක ප්‍රශස්ත මට්ටමේ තිර පිටපතක් දැකිය හැකි වුව ද අධ්‍යක්ෂණයේ දී ඉන් නිසි පල නෙළාගැනීමට නොහැකි වී ඇතුවාදැයි විටෙක මට සිතේ. වරින්වර රූපරාමු ගැළපීමේ ඇති දුර්වලතා සහ තරමක් අධිවේගී ධාවනකාරී බවක් මේ තුළ මට දැකගත හැකි විය. සංස්කරණයේ දී අදාළ කාල සීමාව තුළට චිත්‍රපටය ගොනුකිරීමට යාමේදී එම ගැටලුව ඇති වන්නට ඇතැයි මට සිතේ. නමුත් ඒ කිසිවක් සංවේදී ලෙස මෙම නිර්මාණය රසවිඳීමට ඔබට විශාල බාධාවක් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. එමෙන්ම ඒ හරහා ආමන්ත්‍රණය කිරීමට සහ කතිකාවකට බඳුන් කිරීමට අපේක්ෂා කරන අතිශය සංවේදී සමාජීය ගැටලුව සමාජගත කිරීම සම්බන්ධයෙන් නම් මෙම චිත්‍රපටය සාර්ථක වනු ඇති බව මගේ මතය යි.
මෙහි තිර පිටපත සැබැවින්ම ඉතා නිර්මාණාත්මක වන අතර හදවතට තදින් ආමන්ත්‍රණය කරන, සංවේදී දෙබස් ඛණ්ඩ රාශියකින් එය පෝෂිත ය. එහි දී ප්‍රධාන චරිතය වන වෙන්බාගේ චරිතය නිරූපණය කරන ප්‍රකට දමිළ නිළි ජෝතිකාගේ ආකර්ෂණීය සහ හැඟුම්බර රංගනය ද, එහි ඇතුළත් සංවේදී රූප රාමු සහ අපූරු සංගීතයෙන් හැඩ වූ ගීතයන් ද චිත්‍රපටයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. සැබැවින්ම මෙම චිත්‍රපටය තුළින් ලාලිත්‍යය සහ සුන්දරත්වය පරයා ජෝතිකා වෙතින් නිරූපණය වන සංවේදී හැඟුම්බර බවට සහ පෞරුෂයට මම ප්‍රිය කරමි. මෙය ජෝතිකාගේ සැමියා වන සුප්‍රකට දමිළ නළු සූරියාගේ නිෂ්පාදනයක් වන අතර එයට හිමි වී ඇති IMDb අගය 7.3 කි. චිත්‍රපටය අවසාන වන්නේ කෙසේ වුව ද සෑම මිනිසෙකුටම හෘද සාක්ෂියේ නීතියක් ඇති බව සහ යමෙකුගේ වේදනාව වටහාගැනීමට නම් රුධිර බන්ධනයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බව යන යථාර්ථයන් මට පසක් කරවමිනි.
ඉඳින් මෙය වෙන්බාගේ කතාව පමණක් නොවේ. මේ ඔබේත් මගේත් දියණියගේ කතාවයි. ඔබ සියලුදෙනාම පාහේ එක් වරක් හෝ “පොන්මගල් වන්දාල්” චිත්‍රපටය නැරඹිය යුතු යැයි මා ඔබට පවසන්නේ එබැවිනි.
“දිනුම පැරදුම තීරණය කරන්න මේක ක්‍රීඩාවක් නෙවෙයි. මේ “යුක්තිය”
– හංසිනී කවින්දි –
***********************************************
Directed by – J. J. Fredrick
Produced by – Suriya
Written by – Lakshmi Saravanakumar
J. J. Fredrick
Additional dialogues:Murugesan Pon Parthiban
Starring – Jyothika
Narrated by – Suriya
Music by – Govind Vasantha
Cinematography – Ramji
Edited by – Ruben
Production company – 2D Entertainment
Distributed by – Prime Video
Release date – 29 May 2020
Running time – 120 minutes
Country – India
Language – Tamil
Box office
₹9 crore (US$1.3 million) (Prime Video)