Pipsi (2017) Marathi | Sinhala Article

Pipsi (2017) Marathi by Indeewari Herath

IMDb අගය- 8.7
ගූගල් පරිශීලක මනාප අගය- 90%
භාෂාව- මරාති

ගොවියෙකුගේ දියණිය වන චානි අවුරුදු හතක විතර පොඩි කෙලි පැටික්කියක්. බාලු තමයි චානිගේ හොඳම යාළුවා. ඔහුගේ තාත්තා තමයි ගමේ වෙළඳසැල කරගෙන යන මුදලාලි. මේ කෙලි පැටියත් කොලු පැටියත් දෙන්නම එක පන්තියේ ඉගන ගන්නේ. ඉස්කෝලේ ඇරිලා දෙන්නම යනවා රේල් පාර අයිනේ තියන අතෑරලා දාපු පරණ කෝච්චි පෙට්ටියක් අයිනේ සෙල්ලම් කරන්න. ඒ කෝච්චි පෙට්ටිය තමයි ඒ දෙන්නගේ රාජධානිය.

චානිගේ අම්මාට මොකද්දෝ අසනීපයක් තියනවා. දවසක් අම්මට හොඳටම අමාරු වුන වෙලාවේ ආපු ⁣දොස්තර මහත්තයා කියනවා ඇයට වැඩිකල් ජීවත් වෙන්න බෑ කියලා. ඒ කතාව චානිට ඇහෙනවා. ඇය ඒ වෙලාවේ ඉඳලා කල්පනා කරනවා කොහොමද අම්මව බේරගන්නේ කියලා. බාලු කියනවා “අපි දෙවියන්ට අම්මා ගැන කිව්වොත් දෙවියෝ අම්මව බලාගනීවි” කියලා. ඉතිං දවසක් මේ ළමයි දෙන්නා දෙවියන් වඳින්න ගිය වෙලාවක එයාලට හරිම අපූරු කතාන්දරයක් අහන්න ලැබෙනවා:

“මනුස්සයෙක් ළඟ තියෙන්න පුලුවන් පිරිසිදුම හැඟීම තමයි විශ්වාසවන්ත භාවය. සත්යව්රාථ රජතුමා විශ්වාසය තියාගෙන හිටියේ එක මාළුවෙක් ගැන. අපි බලමු මේ විශ්වාසවන්ත භාවය නිසා සත්යව්රාථ රජතුමාගේ ජීවිතයට ලැබුනේ මොනවද කියලා.

 

රජතුමා දැක්කා හිඳිලා ගියපු වතුර වලක මාලුවෙක් දඟලමින් ඉන්නවා. රජතුමාට මේ මාළුවා ගැන ගොඩක් කණගාටු හිතුනා. ඉතින් එයා මේ මාළුවාව අරගෙන ගිහිල්ලා තමන්ගේ මාලිගාවේ වතුර බාජනේකට දාලා මාළුවට කෑම එහෙම දුන්නා. මාළුවත් ඒ වතුර බාජනේ ඇතුලේ ටික ටික වර්දනය වුනා. දවසක් රජතුමා දැක්කා දැන් මේ වතුර බාජනය මාළුවට සෑහෙන්නෙ නෑ කියලා. ඉතිං, රජතුමා මාළුවා ගෙනිහිල්ලා ළිඳට දාලා ඌට කෑම එහෙමත් දුන්නා. ඔහොම කාලයක් ගත වුනා. මාළුවාත් ළිඳ ඇතුලේ හොඳින් හැදුනා. දැන් ඌ ගොඩක් ලොකු මාළුවෙක්. ඉතිං දැන් මේ මාළුවට ඉන්න ළිඳේ ඉඩකඩ මදි. ඒක නිසා රජතුමා ඌව ගෙනිහිල්ලා ගඟට දැම්මා. ටික කාලයක් යද්දි මාළුවට ගඟත් ඉඩ මදි වුනා. රජතුමා මාළුව අරගෙන ගිහිල්ලා මුහුදට දැම්මා.
මේ මාළුවා තමයි රජතුමාගේ විශ්වාසය බවට පත්වුනේ. ඔහොම කාලයක් යද්දි මහා ගංවතුරක් ගලලා මේ ලෝකේ සම්පූර්ණයෙන්ම වතුරින් යට වුනා. මිනිස්සු හරියට නිකං පණුවෝ වගේ මේ ගංවතුරේ ගහගෙන මුහුදට ඇදිලා ගියා. ⁣මාළුවා දැක්කා සත්යව්රාථ රජතුමත් ගංවතුරට අහුවෙලා ගහගෙන එනවා. මාළුවා රජතුමා ලඟට පීනලා ගිහිල්ලා රජතුමාව පිට උඩ තියාගෙන පරිස්සටම ගොඩබිමකට ගෙනල්ලා ඇරලුවා.
ළමයිනේ, මේක තමයි විශ්වාසයේ, ඇදහීමේ බලය.

 

අහ්! ලයිට් ගියා නේද? දෙවියෝ ඔයගොල්ලන්ව පරීක්ෂා කරනවා වගේ. ලයිට් තිබුනත් නැතත් ඔයගොල්ලෝ විශ්වාසයෙන් ජීවත් වෙන්න ඕන. විශ්වාසය තමයි ඔයාලට හයියක් වෙන්නේ. විශ්වාසය තමයි ඔයාලව ආරක්ෂා කරන්නේ. හැමකෙනෙකුටම තමන්ගේ කියලා මාළුවෙක් ඉන්න ඕන….”

 

කතාව අහගෙන ඉඳපු චානි එයාගේ යාළුවා බාලු එක්ක හිඳිලා ගියපු වතුර වලක ඉන්න මාළුවෙක් හොයාගෙන යනවා. ඒ තමන්ගේ අම්මා වෙනුවෙන්, අම්මගේ විශ්වාසය විදියට මාළුවාව රැක බලාගන්න. මාළුවා ජීවත් වෙලා ඉන්නතාක් කාලයක් තමන්ගේ අම්මත් කරදරයක් නැතුව ජීවත් වෙයි කියලා චානි විශ්වාස කරනවා.

ඉතිං මේ මාළු පැටියා ජීවත් වෙයිද නැද්ද, මොනවා වෙයිද කියලා දැනගන්න නම් බලන්න පිප්සි. පිප්සි විතරක්ම නෙවෙයි ජීවිතයත් බලන්න පුලුවන් වෙයි……

පිප්සි කියන්නේ ඒ පළාතේ තියන පැණි බීම ජාතියක නමක්!

………………………………………………………..

මේ චිත්රපටියේ ප්රධානම සිදුවීම තමයි පොඩි ළමයින් දෙන්නා පොඩි මාළුවෙක්ව බෝතලයකට දාගෙන ඒ මාළුවා ආරක්ෂා කරගන්න දරන උත්සාහය. පොඩි ළමයින්ගේ සුන්දර ළමා ලෝකය ගැනත් ළමයෙකුගේ හදවත මොන තරම් නිර්ව්යාජ, නිර්මල දෙයක්ද කියලත් තමන්ගේ අම්මා එක්ක, යාළුවෝ එක්ක දරුවෙකුට තියන බැඳීම ⁣කොයිතරම් විශාල බැඳීමක්ද කියලාත් මෙයින් පෙන්නුම් කරනවා. බාලූ කියන්නේ තමන්ගේ මිතුරිය එක්ක අපායට යන්න වුනත් එක පයින් ලෑස්ති වෙලා ඉන්න කොලු ගැටයෙක්.

මෙහි ඉන්න අම්මා සහ දුව අතර එක මොහොතකවත් හිනාවක් හුවමාරු වෙන්නේ නැහැ. නමුත් මව සහ දරුවා අතර තියන ආදරණීය බැඳීම ඉතාම අපූරුවට නිර්මාණය කරලා තියනවා. චානි මාළුවෙක් හදන්නේ තමන්ගේ අම්මාගේ ජීවිතය වෙනුවෙන්. ඇය ඒ මාළුවා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. එක වෙලාවකදි ඇය පඩිපෙළක් තියන ගැඹුරු ළිඳකට පවා බහිනවා, දවාලෙත් නෙවෙයි රාත්රී ⁣කාලයේ. චානි තමන්ගේ අම්මාට කොයිතරමක් ආදරෙයිද කියලා පෙන්වන්නේ ඇය මාළුවට සලකන විදියෙන්. මේ ළමයි දෙන්නා හිතන්නේ කවදා හරි මාළුවා මැරුණොත් එදාට චානිගේ අම්මගේ ජීවිතයත් ඉවරයි කියලා. අර මාළුවෙක් හදපු රජතුමාගේ කතාව ළමා මනසට ග්රහණය වෙලා තියෙන්නේ එහෙමයි.

මේ චිත්රපටියේ දෙවනි පෙළ කතාව නම් හරිම දුක්බරයි. අපි කවුරුත් දන්නවා ඉන්දියාව කියන රටේ විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන මිනිස්සු ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ දේශගුණික ස්වභාවයත් කාන්තාර, ශුෂ්ක ප්රදේශ සහ ලස්සන සදාහරිත කොළ පැහැති වැසි බහුල ප්රදේශ වල ඉඳලා හිමෙන් වැසුණු කඳු මුදුන් දක්වා රට පුරා විවිධාකාරයෙන් වෙනස් වෙනවා.

මෙයට පසුබිම විදියට තියෙන්නේ ජල හිඟයෙන් බොහොම උග්ර විදියට පීඩා විඳින ගමක්. මේ ගමේ මිනිස්සුන්ට තියන වටිනාම සම්පත ජලය.

අපේ කතා නායිකව වන චානි හැමදාම හවසට වයසක ආච්චි කෙනෙකුගේ උදව්වට යනවා. එයාට ලැබෙනවා සතියකට රුපියල් විසසක්, ඒ වගේම ලීටරයක පමණ වතුර බෝතලයක්. වතුර බෝතලයක් ලැබෙනවා කියන්නේ දරුවට මැණිකක් ලැබුනා වගේ. එයා ඒක පරිස්සමින් හංගලා තියනවා ගෙදර වතුර නැති වෙලාවක ප්රයෝජනයට ගන්න.

වතුර පිරුණු බෝතලයක් ලැබුනා කියලා අපි කිසිම දවසක චානි තරම් සතුටට පත් වෙලා නැතුව ඇති.

ගොවිතැන් කරගන්න වතුර නැති කම නිසා සියදිවි හානිකරගන්න ගොවියෝ…,

ඒ මදිවට මිනිස්සුන්ගේ වගා බිම් වාණිජ ව්යාප්තියක් වෙනුවෙන් කොල්ලකන්න බලාගෙන ඉන්න නාගරික ව්යාපාරිකයෝ…,

වතුර නැතිව වේලිලා ගියපු ඇළ වේලි, හිඳිලා ගියපු ගංගාව…

බත් උයපු මුට්ටියේ පතුලේ ඉතුරු වෙලා තියන බත් ටිකත් හූරලා වගේ බෙදාගෙන කන්න හදද්දි ගෙදර හදන හරකා බඩගින්නේ කෑගහනවා අහගෙන ඉන්න බැරිව තමන්ගේ කෑම පත හරකට කවන ගොවියෝ…

වතුර බවුසරයක් එනකන් කළගෙඩි තියාගෙන පෝලිමේ ඉන්න ගෑණු….

පාරේ ගියපු වාහනයක් ගේ ළඟ නවත්තලා ඩ්රයිවර් වතුර ඉල්ලුවාම දෙන්න ගෙදර වතුර නැති නිසා හංගලා තියපු වතුර බෝතලේ ගෙනිහිල්ලා දුන්නම ඩ්රයිවර් වාහනේ බොනට්ටුව ඇරලා රේඩියේටරයට අර වතුර දාද්දි චානිගේ මූණේ තිබුන වේදනාව…

ස්වභාව ධර්මයේ අකාරුණිකත්වය නිසා දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත මේ තරම්ම සියුම් විදියට ස්පර්ශ කරන්න පුලුවන් සිනමාකරුවෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන්. චිත්රපටි හදන්න ඕන කෙනෙකුට පුලුවන් ඇති, හැබැයි සිනමා කෘතියක් නිර්මාණය කරන්න හැමෝටම බෑ. චිත්රපටියකින් සිනමා කෘතියක් වෙනස් වෙන්නේ චිත්රපටියක් තුළ නැති සියුම් මානුෂීය සංවේදනාවන් සිනමා කෘතියක් තුළින් ඉදිරිපත් කරන නිසා. සිනමා කෘතියක් යනු නරඹන්නාගේ පරිකල්පනය පුබුදු කරවන, හදවත් තුළ සිර කරගත් හැඟීම් නිරායාසයෙන්ම එළියට ඇදලා ගන්න පුලුවන් අපූරු දෙයක්.

මෙහි ප්රධාන නළුවාත් නිළියත් දෙදෙනාම කුඩා ළමයින්. නමුත් ඔවුන්ගේ රංගනය වයස මෙන් හත් අට ගුණයක් පරිණතයි. රඟපානවා නෙවෙයි, ඔවුන් දෙදෙනා ඒ චරිත තුළ ජීවත් වෙනවා. අනිකුත් සියලුම නළු නිළියන් තම චරිත වෙනුවෙන් සාධාරණ ඉටු කර තිබෙනවා.

සංගීත නිර්මාණයද විශිෂ්ඨයි. සිදුවීම් සමග ගලා යන පසුබිම් සංගීතයක් මෙහි තිබෙනවා.

පිප්සි නැරඹීමට මා උනන්දු කළේ චිත්රපටි නිසාම දැන හඳුනාගත් මගේ ළබැඳි මිතුරෙක්. සැබැවින්ම මරාති සිනමාව පිළිබඳව උනන්දුව අවදි කලේත් ඔහුම තමයි. ඔහුට ස්තූතිවන්ත විය යුතුමයි.

පිප්සි බලන්න. ඔබ බොහෝ දෙනෙකුගේ ළමා කාලයෙන් අවශේෂ වූ දඟකාර, කෙලිලොල් සහ මිහිරි ඡායා මාත්රයන් මේ චිත්රපටියේ කුඩා පැටවුන් තුළින් ඔබට දකින්නට ලැබේවි. ඒත් එක්කම සියුම් වේදනාවකුත්! අම්මලා දරුවෝ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. දරුවොත් අම්මලා වෙනුවෙන් තමන්ගේ පුලුවන් මට්ටමෙන් ඕනම දෙයක් කරනවා. එහෙම කරන්නත් ඕන.

පිප්සි බීම බෝතලය ඇතුලේ හිර කරලා මූඩියක් ගහලා වහලා තියෙන්නේ බලාපොරොත්තු, අපේක්ෂා, සිහින….

චිත්රපටියේ නම පිප්සි වුනේ නිකන්ම නෙවෙයි.

“බාලූ, අපි මේ මාළුවට නමක් දාමුද?”
+ ‘හා, ඒත් මොකද්ද දාන නම? අපි ටොමී කියමු. ටොමී… ටොමී… ටොමී….මේ බලන්න..’
“ටොමී කියන්නේ බල්ලෙක්ට දාන නමක්නේ. බල්ලෙක්ගේ නමක් මාළුවෙක්ට දාන්න ඔයාට පිස්සුද?”
+ “හරි හරි… අපි එහෙනම්…. පිප්සි කියමු!!
ඕහ්!! ඔයා කැමති නෑනේ ඒ නමට, එහෙනම් ඒකත් ඕන නෑ”
“නෑ, ඒ නම හොඳයි. අපි එයාට පිප්සි කියමු බාලූ. එයත් පිප්සි වගේ කළු පාටයි”

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *