Peranbu ( 2018 ) Tamil by Luckshman Aranwala
අද සැප්තැම්බර් 7 වෙනිදා මලයාලම් සිනමාවේ පතාක යෝධයෙක්ගෙ උපන්දිනේ. හැබැයි කතාකරන්න තෝරගත්තේ මලයාලම් චිත්‍රපටයක් නම් නෙමේ, ඔහුගේ විශිෂ්ට රංගනයක් දැකපු දමිළ චිත්‍රපටයක්. මේක බලල නම් හුඟක් කල්. හැබැයි කිසිම දෙයක් ලියන්න හිතුණෙ නෑ. පෞද්ගලිකව මම මෙවැනි තේමාවන්ට ආස නෑ. මෙහිදී දකින්නට ලැබෙන දැරියගේ වැනි චරිත දිහා මට බලන් ඉන්න බෑ. ආබාධිත කිව්වත්, මන්ද මානසික කිව්වත්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කිව්වත් ඒ කිසිම හැඳින්වීමක් මේ අය වෙනුවෙන් භාවිතා කරන්න මට බෑ. ඒක මාරම අපහසුකාරී හැඟීමක්. ඒ නිසාම මේ චිත්‍රපටය කොතරම් උසස් යැයි සම්මත වුවත් මට මේ එක්ක චිත්‍රපටයක් නරඹන විටකදි ලබනා වින්දනය ලබන්නට බෑ. නමුත් එකම එක කාරණයක් නිසා පමණක් මට මේ චිත්‍රපටය අවසානය වනතෙක්ම නරඹන්නට හැකිවුණා. ඔව්, ඒ මමූට්ටි නිසා.
චිත්‍රපටය ඇතුළෙ කතා කරනවා හරිම අනුවේදනීය කාරණා රැසක්. තාත්තෙක්ට තමන්ගෙ දරුවා වෙනුවෙන් උහුලන්නට හැකි සියලුම සීමාවන් ඉක්මවා ක්‍රියා කරන හැටි අපිට දකින්නට පුළුවන්. සමහර කාරණා සෑහෙන ආන්දෝලාත්මකයි. මුලිනුත් කිව්ව වගේ අර වගේ දරුවෙක් එක්ක එහෙම රළු දේවල් දිහා බලන් ඉන්න එක මට නම් කරන්න බැරි වැඩක්. පෞද්ගලිකව බලපාපු එක් කාරණයක් නිසාම මම මේ චිත්‍රපටය තුළ දැකපු එක අවස්ථාවකට මාරම ආදරෙයි. මගේ ජීවිතේ මම නොසෑහෙන්න පිළිපැද ඇති දෙයක්, ජීවිතේ බොහෝ අවස්ථාවන් වලදී මම දක්වා ඇති ප්‍රතිචාරයක් මමූට්ටි ගෙ අද්විතීය රංගනය නිසාම තවත් තදින් හිතට දැනුණා.
ඒ ගැන කියනවානම් මෙන්න මෙහෙමයි. හැබැයි මේ කොටසේ ස්පොයිල්ස් අඩංගු විය හැකියි. ඔහුට සිදුවෙනවා දරුණුතම වංචාවකට මුහුණ දෙන්නට. ඔහු හීනෙකින්වත් වත් නොසිතූ සාපරාධී වංචාවක්. තමන් දැඩිසේ විශ්වාස කළ, තමන්ගෙ අසරණ දරුවාගේ මුළුමහත් අනාගතයම සුරක්ෂිත දෑතකට පත් වුණා නේද යන දැඩිව විශ්වාසය තැබූ පාර්ශ්වයකින් අනුකම්පා විරහිත වංචාවක් ඔහුට සිදුවුණා. නමුත් ඔහු එහිදී දැක්වූ ප්‍රතිචාරය පුදුමාකාර එකක්. මනුස්සයෙක්ට දරාගන්නටම බැරි මට්ටමේ සිදුවීමක් වුණත් ඔහු එය දැවැන්ත උපේක්ෂාවකින් බාරගන්නවා. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය කෙරෙහි කිසිම වෛරයක් ඔහු ඇති කරගන්නේ නැහැ. තමන්ට මෙච්චර දරුණු දෙයක් කරපු අයට ඔහු පෙරළා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඔහු සියල්ල දරාගෙන තමන්ගෙ පාඩුවේ ඉවත්ව යනවා. ඔහුගේ එම බලාපොරොත්තු නොවූ හැසිරීම අනෙක් පාර්ශ්වය දැඩිසේ අපහසුතාවයකට පත් කරන්නට සමත් වෙනවා. අවස්ථාවට අනුව හඬා වැලපෙන්නට ඕන ඔහු නමුත් අන්තිමේදි අඬන්න වෙන්නේ ඔහුට වින කළ අයටමයි. “අපි මෙච්චර ජරා වැඩක් කරලත් ඇයි මේ මනුස්සයා මෙහෙම හැසිරෙන්නේ?” කියන දරාගත නොහැකි වරදකාරී හැඟීමකින් ඒ අය පෙළෙනෙවා. “අනේ මහත්තයෝ අපි අසරණයි. එක පාරක් අහල යන්න ඇයි අපි එහෙම කළේ කියලවත්?” ලෙසින් ඔවුන් හඬාවැටෙනවා. ඒත් ඔහු සිනහමුසු මුහුණෙන් නිහඬවම යන්න යනවා.
ජීවිතේ සිදුවන මැරෙන්න පවා හිතෙන දරන්නටම බැරි තරමේ දේවලටත් උපේක්ෂාවෙන් මුහුණ දෙන හැටි ඒ අවස්ථාවෙන් පෙන්වා දෙනවා. මේ අවස්ථාව ඇතුළු තව බොහෝ අවස්ථාවන් වලදී මමූට්ටි ගේ රංගනයේ සංයමය මනාව දකින්නට පුළුවන්. ආදරණීයව, අනුවේදනීයව ඔහු විසින් ඒ තාත්තා ගේ චරිතය ජීවමාන කරනා හැටි අතිවිශිෂ්ඨයි. සාමාන්‍යයෙන් මෙහෙම කතන්දරයකදී වැඩිපුරම ඇගයීමකට ලක්වෙන්නට ඕන දරුවාගේ රංගනය වුවත්, නිරායාසයෙන්ම වැඩිම ප්‍රේක්ෂක අවධානයක් හිමිකරගන්නේත් ඒ දරුවාගෙ චරිතය වුණත් ඇත්තටම මගෙ නම් හිත රැඳුනෙම තාත්තා ළඟම තමයි. ඒ තාත්තා නැත්නම් මම මේ චිත්‍රපටය අවසානය වන තෙක් බලන එකකුත් නෑ. මමූට්ටි කියන්නෙ එහෙම රංගධරයෙක්. දැන් වයස 70 ක්.
****************************************************
Written & Directed by : Ram
Produced by : P. L. Thenappan
Starring
Mammootty
Anjali
Sadhana as Pappa
Cinematography : Theni Eswar
Music by : Yuvan Shankar Raja
Country : India
Language : Tamil