Pengabdi Setan (2017) Indonesian| Sinhala Article

Pengabdi Setan (2017) Indonesian


Horror/Sci-fi/Action/ Cult Cinema

88% liked this film Google users

Pengabdi Setan යනු Horror/Mystery කාණ්ඩ යටතට වර්ගීකරණය වන මිනිත්තු 107 ධාවන කාලයකින් යුතු ඉන්දුනීසියානු චිත්‍රපටයකි. 

1982 වසරේ තිරගත වුනු Pengabdi Setan චිත්‍රපටියේ ප්‍රතිනිෂ්පාදනය ලෙස මෙය Joko Anwar අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් 2017 වසරේ තිරගත විය. Joko Anwar යනු ප්‍රථම ඉන්දුනීසියානු සුපර්හීරෝ චිත්‍රපටිය වන Gundala චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය. ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයකම තිරගත වුනු, නොමඳ විචාරක/ ප්‍රේක්ෂක පැසසුමට ලක් වුනු, එසේම දේශීය සහ විදේශීය සම්මාන උළෙල වලදී සම්මානයට පාත්‍ර වුනු ‘⁣සාතන්ගේ වහල්ලු’ චිත්‍රපටය box office ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 16.2 උපයා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය සඳහා වියදම ලෙස සටහන් වන්නේ  අමෙරිකානු ඩොලර් 150,000 පමණ මුදලකි. 

Horror, Sci-fi, Action සහ Cult Cinema කාණ්ඩ යටතට වැටෙන චිත්‍රපට වෙනුවෙන්ම පවත්වන Toronto After Dark Film Festival (2018) හිදි Best Horror Film සහ Most Scary Film යන සම්මාන ද්විත්වයම දිනාගැනීමට Pengabdi Setan චිත්‍රපටය සමත්වී ඇත. 

චිත්‍රපටිය තුළින් ප්‍රේක්ෂකයා අසූව දශකයට රැගෙන යයි. දැන් 1981 වසරයි. ජනප්‍රිය ගායන ශිල්පිනියක වුනු ඉබූ දැන් සිටින්නේ දැඩි ලෙස ගිලන්ව ලෙඩ ඇඳෙහි ය. ඇගේ සැමියා සහ දරුවන් සිව් දෙනා විසින් ඇයව රැක බලා ගැනීම සිදු කරති. ඉබූගේ සැමියාගේ මවද ඔවුන් සමග එම නිවසෙහි ජීවත් වෙයි. රෝගී තත්වයේ උත්සන්න වීමක් නිසා එක් රැයක ඉබූ මිය යයි. ඇයගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගමික චාරිත්‍ර අනුව පැය විසිහතරක් තුළ සිදු කෙරෙන අතර එයින් දිනකට පසුව දරුවන් සහ තම මව නිවසෙහි සිටියදී ඉබූගේ සැමියා යම් රැකියාවක් සඳහා නිවසෙන් පිටව යයි. ඉබූගේ අසනීපයට ප්‍රතිකාර කිරීමට ඔවුන් සතු සියලු තැන්පත් මුදල් වැය වීම නිසා පවුලේ ආර්ථික මට්ටම පවතින්නේ බෙහෙවින් ක්ෂය වුනු මට්ටමකය. 

පියා නිවසින් පිටව යාමත් මවගේ මරණයෙනුත් කම්පාවට පත්වී සිටින විසි දෙහැවිරිදි රිනී, දහසය හැවිරිදි ටෝනි, දහ හැවිරිදි බෝන්දි සහ සය හැවිරිදි ශ්‍රවණාබාධිත ඉයන් තම මිත්තණියද සමග නිවසෙහි තනි වෙති. තම නිවසෙහි යම් අද්භූතමය බලවේගයක් හේතුවෙන් මිත්තණියද දිවියෙන් සමුගන්නා අතර ඔවුන්ගේ බාලම සොහොයුරා වන ඉයන් යනු එම අද්භූත බලවේගයෙහි ඊළඟ බිල්ල බව ඔවුන්ට දැනගැනීමට ලැබේ.

                       ……………………………………………………..

මරණය යනු මිනිසාට සදාකාලිකව ඇති ප්‍රහේලිකා වලින් එකකි. බුදුන්වහන්සේ විසින් මරණය සහ මරණයෙන් පසුව ජීවිතය පිළිබඳව ඉතා පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. අනිකුත් ආගම් වලද එම ආගමික මතවාද වලට අනුව මරණයෙන් ඉක්බිති ජීවිතය පිළිබඳව පැහැදිලි විග්‍රහයන් පවතී. ආගමික මතවාද වලට අමතරව විවිධ ජන වර්ග, ගෝත්‍ර සහ කණ්ඩායම් අතරද මරණය සහ එයින් මතු ජීවිතය පිළිබඳව නොයෙකුත් විශ්වාසයන් සහ ප්‍රවාද ඇත. ඇතැම් පිරිසක් උච්⁣⁣ඡේදවාදී දෘෂ්ඨිය අනුගමනය කරමින් ජීවත් වෙති.  

මෙම චිත්‍රපටිය තුළින් ඉදිරිපත් කරන්නේ ඉබූ ප්‍රමුඛ මරණයෙන් පසු සැනසීමක් ලබා ගත නොහැකි වුනු ආත්මයන් සමූහයක් එක් අරමුණක් වෙනුවෙන් ඒකරාශීව ක්‍රියාත්මක වන ආකාරයයි. සොම්බි චිත්‍රපටයකට තරමක් දුරට සමානකමක් දක්වන්නේ යැයි පැවසුවද වරදක් නැත. 

සාමාන්‍යයෙන් ඕනෑම හොල්මන් චිත්‍රපටියක මූලික වශයෙන් දක්නට ලැබෙන ආලෝකයත් වාතාශ්‍රයත් අඩුවෙන් ලැබෙන පැරණි පාරම්පරික නිවසක්, ⁣නිවස අසල පිහිටි සොහොන් බිමක්, අඳුරු, හුදකලා වටපිටාවක් ආදී මූලික ගතිලක්ෂණ මෙහිද දකින්නට පුලුවන. 

පසුබිම් සංගීතයක් නොව ප්‍රධාන වශයෙන්ම නිහඬතාවයත් සමග මුසු වුනු දෙබස් සහ ශබ්ද මුළු චිත්‍රපටිය පුරාවටම පවතින අතර එමගින් නිරායාසයෙන්ම ගුප්ත භාවය පිළිබඳව හැඟීම් ප්‍රේක්ෂකයාගේ මනසට කාන්දු කරවීමට නිර්මාපකයන් සමත්ව ඇත. චිත්‍රපටි ආරම්භයේ සිට අවසානය දක්වාම සමීප දර්ශන  සහ දර්පණ ප්‍රතිබිම්භ ඉතා සාර්ථකව භාවිතා කර තිබෙයි. සංගීත භාණ්ඩ මගින් ඇති කරනු ලබන බිය දනවන සුළු සංගීතයන් සහ ශබ්ද ආදියෙන් තොරව 99%ම නළු නිළියන්ගේ රංගනය සහ වේශ නිරූපණය තුළින් පමණක් සාර්ථකත්වයට පත්වූ  චිත්‍රපටයක් ලෙස මෙය අගය කළ යුතු ය.

රංගනය පිළිබඳව පැවසුවහොත් මෙහි සියළුම නළු නිළියන් විශිෂ්ඨ හා තාත්වික රංගනයක නියැලෙති. විශේෂයෙන්ම ඉයන් ලෙස රංගනයේ යෙදෙන අවුරුදු හයක් පමණ වයස වන ළමා නළුවාගේත් බෝන්දි ලෙස රංගන දායකත්වය ලබා දෙන දරුවාගේත් රඟපෑම ප්‍රශංසා සහගත ය. ඔවුන්ගේ වයසට වඩා රංගනය වසර කිහිපයක් ඉදිරියෙන් පවතී. 

Horror චිත්‍රපටයක් වුවද මෙහි ආරම්භයේ සිටම අවසානය දක්වා ප්‍රේක්ෂකයාට හොල්මන් පෙන්වා හොල්මන සාමාන්‍යකරණය කිරීම සිදු කර නොමැත. හොල්මනක් දකින්නට ලැබෙන්නේ අවස්ථාවන් කීපයක නමුත් එම අවස්ථාවන් වලදී ඇති කරනු ලබන භීතිය මුළු චිත්‍රපටිය පුරාම(සහ අවසන් වූ පසුත්) නරඹන්නන් සමග රැඳී පවතියි. මෙය Best Scary Film සම්මානය දිනා ගැනීමේ කිසිදු ගැටලුවක් හෝ සැකයක් ඇත නොකරන අතර එය චිත්‍රපටය වෙනුවෙන් ලැබිය යුතුම සම්මානයකි. එසේම costume designing සඳහාද චිත්‍රපටය සම්මානයට පාත්‍රවී ඇති අතර එහි විශිෂ්ඨත්වය ⁣සඳහා උදාහරණයක් ලෙස මෙහි හොල්මන වුවද ප්‍රමාණවත් ය. 

ඉන්දුනීසියානු ආගමික සහ සමාජීය  මතවාදයන්ට අනුව මරණය, මළ සිරුරක අවසන් චාරිත්‍ර ඉටුකිරීම ආදිය පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර පවතී. 

මේ චිත්‍රපටය සඳහා ප්‍රධාන වශයෙන්ම ඉන්දුනීසියානු ජන සමාජීය ප්‍රවාද දෙකක් මත ගොඩනැගී ඇත. එයින් පළමු වැන්න මළගියවුන් භූමදානය කිරීම හා බැඳී ඇත.

ඉබූගේ මරණයට පෙර ඇගේ දෙවන පුත්‍රයා වන බෝන්දි එක අවස්ථාවකදී තම සොහොයුරිය වන රිනීට මෙලෙස පවසයි; 

“අපට ආගම උගන්වන ගුරුතුමා කිව්වා කෙනෙක් මැරිලා වළදැම්මට පස්සේ ඒ මිනී වල ගාවින් අන්තිමේටම පිටත් වෙන පවුලේ සාමාජිකයා අඩි හතලිහක් ඇවිදගෙන ගියාම මිනිය එක පාරටම නැගිටලා බලනවලු තමන්ව සම්පූර්ණයෙන්ම ආවරණය කරලද කියලා බලන්න”  

ඔහුගේ සොහොයුරිය ඒ කතාව ගණන් නොගනී. නමුත් ඉබූ භූමදානය කිරීමෙන් පසු එලෙස එම ස්ථානයෙන් අවසන් වරට පිටවූ සාමාජිකයා බෝන්දි වන අතර එය ඔහුගේ මනසට දැඩිව බලපායි. 

පොදුවේ ඉන්දුනීසියානුවන්ට අනුව අවමංගල්‍යය උත්සවයක් යනු මියගිය පුද්ගලයාගේ ආත්මය එහා ලොවට රැගෙන යන පාලමයි. 

?ජාවා දූපත් වාසීන් අවමංගල්‍යය උත්සවය පවත්වන්නේ බ්‍රහස්පතින්දා දිනක රාත්‍රියේය.

?Sulawesi දිවයිනේ වෙසෙන ටොරාජා ජනවර්ගයට අනුව අවමංගල්‍යය උත්සවයට මීහරකුන් සහ ඌරන් අවශ්‍යය. ඔවුන්ගේ විශ්වාසය අනුව මිය ගිය පුද්ගලයාගේ ආත්මය එහා ලෝකයට යන්නෙ එම මීහරක් සහ ඌරන්ගේ පිටේ ය. උත්සවය අවසානයේදී එම සතුන් මරා දැමෙති. එසේම වසර තුනකට පසු නැවතත් මෘත ශරීරය ගොඩ ගන්නා ඔවුන් එය නිවසට රැගෙන පැමිණ පුද සත්කාර කරති.

?ඉස්ලාම්  භක්තිකයෝ පැය විසි හතරක් ගෙවීමට පෙර තම ආගමික චාරිත්‍ර අනුව මෘත ශරීරය භූමදානය ⁣කරති. 

?බාලි දූපතේ වෙසෙන හින්දු භක්තිකයෝ මෘත ශරීර ආදාහනය කරති.

දෙවන ප්‍රවාදය එක්තරා ජන වර්ගයක් සතුව පවතින විශ්වාසයකි. එය දරුවන් පිළිසිඳ ගැනීම හා බැඳී පවතී. රිනී සහ ටෝනි පසුව දැනගන්නා පරිදි රිනී බිහිවන්නේ ඔවුන්ගේ මව සාතන්ගෙන් ඉල්ලීමක් කළ පසුවලු. එය මව අයිති ජන කොට්ඨාසයේ විශ්වාසයකි. එයට කෘතගුණ සැලකීමක් ලෙස පවුලේ බාල දරුවාට හත්වැනි විය පිරෙත්ම ඔහුව ඔවුන්ට බාර කළ යුතුයි. ඔවුන්ගේ මව පෙර දරුවාට සත් විය පිරෙන්නට පෙර තවත් දරුවෙක් බිහි කර  ඇති අතර දැන් බාලයා වන ඉයන්ට මවගේ මරණයෙන් දින කිහිපයකට පසු සත්වන විය සපිරීමට නියමිත අතර ඔහුව පිළිගැනීම සඳහා අඳුරු ලොව බලවේග සහ ඒවාට සම්බන්ධ පිරිසක් සූදානමින් සිටිති. 

කෙසේ හෝ සෑහෙන කලකට පසුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Horror යැයි පැවසිය හැකි චිත්‍රපටයක් නැරඹූ බව නම් පැවසිය යුතුමයි. Pengabdi Setan චිත්‍රපටය horror යන වචනය වෙනුවෙන් 100% සාධාරණය ඉෂ්ඨ කර තිබේ. දැන් මගේ එකම පැතුම නින්දට යන මොහාතේ සිට  හෙට උදෑසන වන තෙක් අඛණ්ඩ නින්දක් පමණි. රෑ ⁣මැද අවදිවන්නට සිදු වීම භයානක වනු ඇත ?

අවවාදයයි: අවදිව සිට මධ්‍යම රාත්‍රී දොළහට නැරඹීමට සුදුසු චිත්‍රපටියක් ලෙස කිසිසේත්ම අනුමත නොකරමි.

Joko Anwar

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *