Paths of the Soul (2015) Tibetan | Sinhala Article

Paths of the Soul (2015) Tibetan by Luckshman Aranvala

“අපේ බුදුන් අපි වඳින්න – පෙරළි පෙරළි අපි වඳින්න”
‘Paths of the Soul’ (2015)

ටිබෙට් කල්චර් එකේ තියෙනවා “මුං මිනිස්සු නම් වෙන්න බෑ” කියල හිතෙන තරමේ අති දුෂ්කර පිල්ග්‍රිමේජ් එකක්. ඒ ගැන හැදුණු විශිෂ්ටතම චිත්‍රපටයක් තමයි මේ ‘Paths of the Soul’. දුෂ්කර ක්‍රියාවක් බඳු මේ වන්දනා ගමන දිහා බලන් ඉන්න කෙනාගෙත් ඇඟ පත රිදෙන්න ගන්නවා. එහෙනම් කිලෝමීටර් 1200 ක දුරක් ගෙවාගෙන මාස හය හතක් තිස්සේ පා ගමනින්ම මේ චාරිකාවෙ යෙදෙන බැතිමතුන්ට කොහොම ඇතිද? “අපේ බුදුන් අපි වඳින්න – පෙරළි පෙරළි අපි වඳින්න” කියල කියන එකේ සැබෑම අර්ථය මෙහිදී හමුවෙනවා කිව්වොත් නිවැරදියි. අපේ සිරිපා කරුණාව වගේම වයස් සීමාවක් නැතිව, බාල තරුණ වැඩිහිටි ඕනෑම අයෙක්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ ගමනට එක් විය හැකියි. අවශ්‍ය වන්නේ බුදුන් කෙරෙහි වූ අපමණ භක්තියත්, හිතේ හයියත් විතරයි. ඒ අනුව කුඩා ගැහැණු ළමයෙකුත් ගැබිනි මවකුත් මේ නඩයේ ගමන් ගන්නා අයුරු දකින්නට පුළුවන්.

මෙයාලා සම්පූර්ණ කිලෝමීටර් 1200 ම පා ගමනින් නිමා කරනවාම විතරක්ම නෙමේ. පා ගමනේ යෙදෙන අතරතුරදීම මහ පොළව මත දිගා වී නළල බිම තබා වන්දනාමාන කල යුතුයි. ඉදිරියට තබනා සෑම පියවර 7-8 ක් අතරතුරදීම මේ පූජනීය නමස්කාරය කළයුතුමයි. ඉතින් පයට පමණක් නෙමේ සකල සර්වාංගයටම දැනෙන්නේ වේදනාවක්. නමුත් කිසිම විටෙක ඒ වේදනාව කරදකාරී සිතකින් ඔවුන් පිළිගන්නේ නැහැ. Kowtow නමින් හැඳින්වෙන මෙම පූජනීය වන්දනාමාන චාරිත්‍රවිධිය නිවැරදිව සිදුකරනා අයුරු දැක්වෙන රූපසටහනක් පළමු කමෙන්ටුවේ දක්වා ඇති. ඒ ආකාරයටම තම පූජනීය වතාවත ඉටුකරමින්, ටිබෙට් ජනයාගේ විස්මිත විශ්වාසයන් සහ ඇදහිලි වලට අසීමිත භක්තියක් එකතුකරමින්, ඔවුන්ගේ ශාක්‍යමුනි බුදුන්ගේ පිහිටාරක්ෂාව ආශිර්වාදය ලබමින්, තමාටත් වඩා අනෙකාගෙ ශුභසිද්ධිය සහ යහපත් සෞඛ්‍යය උදෙසාම සිදුකරනු ලබනා වූ මේ ආශ්චර්යය ජනක වන්දනා ගමන නරඹන්නටම වටිනා එකක් වනවා.

සමස්ත චිත්‍රපටයම ඩොකියුමන්ට්‍රියක් ආකාරයටම නෙමෙයි සමන්විත වෙන්නේ. මෙවන් වන්දනා චාරිකාවකදී සිදුවන සෑම ආකාරයේ සිදුවීමක්ම නැරේටිං එකක් නොවන චිත්‍රපට කතන්දරයක් විදිහට ඉදිරිපත් කර තිබෙනවා. සෑම චරිතයක්ම සැබෑ ලෙසින්ම මේ දුෂ්කර චාරිකාවේ නියැලෙන හැටි දකින්නට පුළුවන්. අධ්‍යක්ෂකවරයාම මෙහි තිරපිටපත සම්පාදනය කර ඇති නමුත් “there was no script, everything was unknown.” ලෙසින් ඔහු පවසා තිබෙනවා. එකම අධිෂ්ඨානයකින් අචල භක්තියකින් යුතුව තම ගමනාන්තය කරා පියනගනා මේ බැතිමතුන් හමුවේ තිබෙන්නේ කිලෝමීටර් 1200 ක දුරක අභියෝගයක් පමණක් නොවේ. ගිමන් නිවාගන්නට සහ රාත්‍රී නින්ද සඳහා ගමන නවතන්නට හැකි නමුත් දැඩි අවු රශ්මිය, අධික හිම පතනය, මඩ ගොහොරු ආදී කිසිම බාධකයක් හමුවේ තම ගමන නතර කරන්නට බැහැ. එවන් බාධක කොතරම් පීඩාකාරීව මේ වන්දනාකරුවන් ව පෙලනවාද, නමුත් ඒ සෑම අවස්ථාවකදීම උපේක්ෂා සහගතව ඒ සියල්ලක්ම මැඩ පවත්වාගනිමින් මේ සම්පූර්ණ නඩයම තම ඒකායන අරමුණ වෙත පිළිපන්වන හැටිත් විස්මය දනවන ආකාරයකින් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ මාස ගණනක දීර්ඝ වන්දනා ගමන තුළදීම දරු උපතක් සහ මරණයක් සිදුවන අයුරු පවා දකින්නට පුළුවන්. ඒ ඔස්සේ ලබා දෙන ආධ්‍යාත්මික පණිවිඩයත් බෞද්ධ දර්ශනය ඔස්සේ ප්‍රායෝගිකව ගළපගන්නත් පුළුවන්.

සමස්ත චිත්‍රපටයම සමන්විත වෙන්නේ දීර්ඝ චාරිකාවක් ඔස්සේම වුවත් කොයිම වෙලාවකවත් එය ඒකාකාරී අලස බවකින් යුක්ත නොවන්නට නිර්මාණකරුවා විසින් වගබලාගෙන තිබෙනවා. ලෝකයේ පියැස්ස ලෙසින් හඳුන්වන, සංචාරකයෙකුට ලෙහෙසියෙන් සංචාරයේ යෙදීමට අපහසු, සොබහවික සෞන්දර්යයෙන් අනූන ලොව විභූතිමත්ම ටිබෙට් දේශයේ අසිරියත් මේ චාරිකාව තුළදී අත්විඳින්නට හැකියි. ටිබෙට් සංස්කෘතිය කෙරෙහි උනන්දුවක් නැත්තෙක්ට වුවත් ඒ භුමි දර්ශන නිසාවෙන්ම මෙතෙක් නැරඹූ විශිෂ්ටතම Road Movie අත්දැකීමක් විදිහට වඩාත් සමීප වෙන්නට පුළුවන්. නමුත් කාලාන්තරයක් තිස්සේම ටිබෙට් සංස්කෘතිය කෙරෙහි දැඩි ඇල්මකින් ගවේෂණය කරන්නෙක් හට මේ චිත්‍රපටයෙහි වටිනාකම කියා නිම කළ නොහැක්කක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. චීන පාලනය යටතේ නව්‍යකරණය වූ ටිබෙට් දේශය තුළ, තවමත් එලෙසින්ම පවතින සාම්ප්‍රදායික ටිබෙට් සංස්කෘතිය, කිසිම දාක එහි වැසියන්ගේ භක්තිමත් හදවත්වලින් සමුනොන්නා බවටත් සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටනා ටිබෙටයේ ඈත ගම් දනව් වල සිට ලාසා නුවරට කෙරෙනා මේ චාරිකාවම සාක්ෂ්‍යක් වනු ඇති.

***************************************************

Written, Directed and Produced by
Zhang Yang

Starring
Yang Pei
Nyima Zadui
Tsewang Dolkar
Tsring Chodron
Seba Jiangcuo

Cinematography
Guo Daming

Country
China

Language
Tibetan

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *