Pareeksha (2020) Hindi
(පරීක්ෂණය) තුළින් මතුවන කොතලාවල පනත් කෙටුම්පතේ (KNDU Bill) අනාගතය
“තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”

අධ්‍යාපනය යනු මිනිසෙකුගේ ජීවිතයට කොතරම් මහඟු සම්පතක්දැයි අමුතුවෙන් ඔබට වටහාදීමට අවශ්‍ය යැයි මම නොසිතමි. ඉතිහාසය තුළ පරම්පරා ගණනාවක් පුරා අධ්‍යාපනයෙන් ආලෝකය ලද ප්‍රජාවක් ලෙස එහි වටිනාකම පිළිබඳව උවමනාවටත් වඩා අවබෝධයක් ඔබ සැමට ඇති බව මම සිතමි.
නමුත් ඇතැම් අවස්ථාවල අපට එය අමතක වී යන්නේ ලාංකික පුරවැසියන් වන අප සියලුදෙනාට “නිදහස් අධ්‍යාපනය” ලැබීමේ වරම් හිමිවන නිසාවෙන් දැයි මම නොදනිමි. මන්ද නොමිලයේ ලැබෙන ඕනෑම දෙයක නිසි වටිනාකම එක්වනම වටහාගැනීමට බොහෝ මිනිසුන් අපොහොසත් වන බැවිනි.
නිදහස් අධ්‍යාපනය යනු ලාංකීය පුරවැසියන් භුක්තිවිඳින්නා වූ ඉතා අගනා වරප්‍රසාදවලින් එකකි. නමුත් එය බන්දේසියක තබා පිළිගන්වන ලද්දක් නොවන බව අප වටහාගත යුතු ය. බොහෝ දුෂ්කරතා මැද නිදහස් අධ්‍යාපනය ලාංකීය පුරවැසියන්ට හිමිවන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන C.W.W. කන්නන්ගර මැතිතුමාගේත්, ඔහු වටා එක් වූ පිරිසකගේත් අප්‍රතිහත ධෛර්‍යය සහ නොපසුබට උත්සහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ශිෂ්‍යත්වයක් ලැබ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය හැදෑරීමේ වරම් හිමිකරගත් කන්නන්ගර මහතා තමා විඳි දුෂ්කරතා ඔස්සේ නිදහස් අධ්‍යාපනයේ ඇති වටිනාකම ප්‍රායෝගිකවම හඟින්නට ඇත. දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතාවය හිමි රට බවට පත්වීමට ද ලංකාවට හැකි වූයේ නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්නට ය. ඉන්පසුව මේ දක්වා උසස් අධ්‍යාපනය තෙක් නිදහස් අධ්‍යාපනය වර්ධනය වීමට සහ සුරක්ෂිතවීමට කිව නොහැකි තරම් කැපකිරීම් සිදු කළ අය බොහෝ වෙති. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභියෙකු වන මම ද ඇතුළුව තවත් බොහෝ දෙනා ඒ කැපකිරීම්වල ප්‍රතිඵල මතින් ජීවිතයේ ඉතා වැදගත් කඩඉම් කරා ගමන් කළ අය වෙමු. අප සියල්ලන්ටම නිදහස් අධ්‍යාපනය රැකගැනීමට සමාජීය මෙන්ම හෘදසාක්ෂියේ යුතුකමක් ද පවතින්නේ එනිසා ය.
වටිනා යමක් අහිමිකරගැනීම ඉතා පහසු ය.
නමුත් එය යළි හිමිකරගැනීමට නම් ගෙවිය යුතු වටිනාකම ඔබට සිතාගත නොහැකි තරම් විශාල එකක් විය හැකි ය.
කෙටියෙන් කියනවා නම්,
අද ඔබේ අහිමිකරගැනීම වෙනුවෙන් ඔබ ගෙවිය යුතු වටිනාකම ඔබේ ආදරණීය දරුවාගේ අනාගතය විය හැකි ය.
බුච්චි ඉන්දියාවේ ජනාකීර්ණ නගරයක විසූ රික්ෂෝ රථ රියැදුරෙකි. ඔහුගේ බිරිඳ රාධිකා මුළුතැන්ගෙයි උපකරණ නිපදවන ආයතනයක සේවිකාවකි. හරිහැටි අධ්‍යාපනයක් නොලැබූ, කකුල් කඩිත්තුව හැදෙනා තුරු දිවා රෑ නොබලා රික්ෂෝ පදින බුච්චිගේත්, ඇඟිලිතුඩුවලින් ලේ ගලන තුරු බඳුන් පිරිසිඳුකරන රාධිකාගේත් එකම සිහිනය සිය ඉගෙනීමට සමත්කම් දක්වන පුතු වූ බුල්බුල්ට අධ්‍යාපනය තුළින් යහපත්, සුරක්ෂිත අනාගතයක් හිමිකර දීම ය. බුල්බුල් අධ්‍යාපනය ලැබුවේ රජයේ පාසැලක ය. බුච්චි දිනපතා ඉහළ පෙළේ මුදල් ගෙවා ඉගෙනුම ලබන ජනප්‍රිය පාසැලකට දරුවන් ප්‍රවාහනය කරන අතර තම ආදරණීය පුතු ද එම පාසැලට ඇතුළත්කර ඔහුට අධ්‍යාපනය සඳහා ඉහළම අවස්ථා හිමිකරදීම ඔහුගේ ජීවිතයේ එකම අපේක්ෂාව විය. නමුත් ඒ වෙනුවෙන් ඔහුට ගෙවීමට සිදු වූ මිළ පිළිබඳව ඔබට සිතාගැනීමටවත් නොහැකි ය.
බුච්චිට සිය පුතුගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීමට සිදු වූ ඉහළම මිළ ඔහුගේ ආත්මය, හෘදසාක්ෂිය සහ ආත්ම ගරුත්වය යි.
දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට කළ නොහැක්කක් නොමැත.
අධිරජ ධර්මාශෝක ටෙලිකතා මාලාවේ යොවුන් අශෝක වරක් මෙසේ බිංදුසාර රජුගෙන් ප්‍රශ්න කරයි.
“ප්‍රජාවට කුසගින්න නිවාගැනීම සඳහා භෝජන සොරකම් කිරීමට සිදුවීම ප්‍රජාවගේ වරදක් ද?”
එම පැනයම බුච්චිගේත් බුල්බුල්ගේ කතාවටත් අදාළව විමසනවා නම්,
“අධ්‍යාපනය ලබාගැනීමට මිළක් ගෙවීම උදෙසා ජනතාවට සොරකම් කිරීමට සිදුවීම ජනතාවගේ වරදක් ද?”
එය ඔබේ හදවතින් ඔබම විමසා බැලිය යුතු පැනයකි. හඬක් අවැසිම අවස්ථාවකදී නිහඬව සිටීම ද වරදෙහි කොටස්කරුවෙකු බවට පත්වීමකි.
මෙම සිනමාපටය ලංකාවේ කාලීනව මතුවී ඇති ගැටලුවක අනාගතය පිළිබඳව කදිමට නිරූපණය කර ඇති සිනමාපටයකි. ත්‍රී රෝද රථයකින් රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් රැගෙන ගිය කුලී රථ රියැදුරෙකුගේ දියණියක එම වෛද්‍ය පීඨයේ සිසුවියක බවට පත්වීමට සුදුසුකම් ලැබීමේ පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් සැරිසැරූ ආකාරය මගේ සිහියට නැගේ. ඒ පුවත දැක අපි බොහෝදෙනෙකු ඒ පිළිබඳව සතුටු වූයෙමු. ආඩම්බර වූයෙමු. ඇයට ඒ වරම හිමි වූයේ නිදහස් අධ්‍යාපනය නිසාවෙන් නොවේ ද? එසේ නම් එය තර්ජනයට ලක්වන සෑම අවස්ථාවකදීම නිදහස් අධ්‍යාපනය රැකගැනීමට අප කටයුතු කළ යුත්තේ මන්ද යන්න ඔබට අමුතුවෙන් වටහා දීම අවශ්‍ය නැතැයි මම සිතමි.
IMDb දර්ශකයේ 8.1ක් තරම් වූ ඉහළ අගයක් හිමිකරගෙන ඇති Pareeksha සිනමාපටය ඔබ නැරඹිය යුතුම සිනමාපටයක් යැයි මා සිතන්නේ එබැවිනි. එය මේ කරුණ සම්බන්ධයෙන් ඔබේ හෘදසාක්ෂිය ප්‍රශ්න කිරීමට නිසැකයෙන්ම සමත්වන සිනමාපටයක් බව ඉඳුරාම පැවසිය හැකි ය.
සිනමාපටය පිළිබඳව තවත් වඩාත් වැදගත්ම කරුණක් වනුයේ එය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අභයනන්ද් නම් IPS නිළධාරියාගේ සත්‍ය අත්දැකීමක් පාදක කරගනිමින් නිර්මාණය වූ සිනමාපටයක් වීම ය.
සිය දියණිය වෙනුවෙන් සිහින දුටු කුළී රථ ධාවනයේ යෙදුණු ඒ ආදරණීය පියාට ඒ සිහිනය සැබෑවක් බවට පත්කරගැනීම වෙනුවෙන් සිය ආත්ම ගෞරවයෙන්, ජීවිතයෙන් මිළ ගෙවීමට සිදුවූයේ නැත.
නමුත් Pareekshaහි බුච්චිට සිය ආදරණීය පුතුගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය දිවි පරදුවේ හෙළමින් ආත්මගරුත්වයෙන් මිළගෙවීමට සිදු විය.
ඒ බුච්චිටත්, ඔහුගේ පුත්‍රයාටත් නිදහස් අධ්‍යාපනයේ වරම් අහිමිවීම හේතුවෙනි.
සිනමාපටය නරඹා මදක් ඔබ බුච්චිගේ තැනත්, රාධිකාගේ සහ බුල්බුල්ගේ තැනත් සිටගෙන බලන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.
මේ බුච්චිගේ, රාධිකාගේ හෝ බුල්බුල්ගේ කතාව පමණක් නොවන බව ඔබට වැටහෙනු ඇත.
“ඇයි තාත්තගෙ වැරැද්දට මට දඬුවම් කරන්නෙ?
ඔයා ඉගෙන ගත්තෙ හොරකම් කරපු සල්ලිවලින්, ඒක අපරාධයක්.
ඒත් සර්……
මම කවදාවත් මගේ විභාගවලදි වංචා කරල නැහැ. හැම විභාගෙකදිම අවංකව මහන්සිවෙලා වැඩකරල උපරිම විශ්වාසයෙන් විභාගෙ ලියනවා. ඔබතුමන්ලට මගේ ඕනම ගුරුවරයෙකුගෙන් අහන්න පුළුවන්.
ඒ වගේම සර්,
කරුණාකරල හිතල බලන්න, ඇයි මගේ තාත්තට හොරකම් කරන්න වුණේ කියල.
එයා දිවා රෑ නොබලා මහන්සිවුණා. කර්මාන්තශාලාවෙ වැඩකරල මගේ අම්මගෙ අත්වලින් ලේ එනවා.
එහෙම කරලත් පාසැල් ගාස්තුයි අනෙක් වියදමුයි පියවගන්න ඒ සල්ලි ඇතිවුණේ නැහැ.
ඉතින්……එයා හොරකම් කළා…..
එයා අසරණ වුණා…..”
අප වෑයම් කළ යුත්තේ බුච්චිගේත්, රාධිකා සහ බුල්බුල්ගේත් කතාව අපේත්, අපේ දරුවන්ගේත් අනාගතයේ කතාව බවට පත්වීම වැළැක්වීමට නොවේ ද?
එසේ නොවුවහොත් අද බුච්චි සිටිනා තැන හෙට සිටින්නේ ඔබ විය හැකි ය. බුල්බුල් සිටිනා තැන හෙට සිටින්නේ ඔබේ ආදරණීය දරුවා විය හැකි ය.
Pareeksha සිනමාපටය නොපමාව නරඹන ලෙස මම ඔබට ඇරයුම් කරමි. අද ඔබ හමුවේ ඇති පරීක්ෂාවේ වැදගත්කම මැනවින් ඔබට වටහාදීමට එය නිසැකවම සමත්වනු ඇත.
අද එළැඹී ඇත්තේ ඔබේ පරීක්ෂාවේ අවස්ථාව යි.
අද ඔබේ පරීක්ෂාව ඔබේත් ඔබේ ආදරණීය දරුවාගේත් හෙට දවස තීරණය කරනු ඇත.
“නිදහස් අධ්‍යාපනය දිනවීම වූ කලී ඉතාමත් අපහසු සටනක් වූයෙන් එය රැකගැනීම ඔබලාට භාර ය.”
(“නිදහස් අධ්‍යාපනයේ පියා” – C. W. W. කන්නන්ගර මහතා)
කොතලාවල පනත් කෙටුම්පත (KNDU Bill) ?
http://documents.gov.lk/files/bill/2021/3/45-2021_S.pdf (සිංහල)
http://documents.gov.lk/files/bill/2021/3/45-2021_E.pdf (English)
– හංසිනී කවින්දි –
************************************************
Directed by – Prakash Jha
Produced by – Prakash Jha
Written by – Prakash Jha
Starring –
Adil Hussain
Priyanka Bose
Sanjay Suri
Shourya Deep
Shubham Jha
Music by – Advait Nemlekar
Cinematography – Sachin Krishn
Edited by – Santosh Mandal
Production company –
Prakash Jha Productions
Distributed by – ZEE5
Release date –
November 2019 (IFFI)
6 August 2020 (India)
Running time – 102 minutes
Country – India
Language – Hindi