Panchayat (2020) Hindi by Ramitha Vimukthi

8.8/10IMDb
4/5Times of India
97% liked this TV show Google users
Panchayat යනු ගිය වසරේ නිකුත් වූ අපූරු TVF කතා මාලාවක්. මෙයට පාධක වන්නේ, ඉන්දියාවේ ඈත ගම්මානයක පන්චායත් (ග්රාම සේවා) කාර්යාලයක රැකියාවකට ඇතුළු වන තරුණයෙකු වටා. දීපක් කුමාර් මිශ්රාගේ අධ්යක්ෂණයෙන් සහ චන්දන් කුමාර්ගේ තිර රචනයෙන් සමන්විත මෙය, comedy – drama ගණයේ දිව යන කතා මාලාවක්. සැබවින්ම හොඳ නිර්මාණයකට සැම විටම ගැඹුරු සංකීර්ණත්වයක් අවශ්ය නැත. සරල කතාවක් තුලින් ප්රේක්ෂකයාට සම්බන්ද විය හැකි මූලික අංගයන් ඉදිරිපත් කළා නම්, එය සැබවින්ම සාර්ථකයි. ගම යන වචනය අප සලකා බැලුවහොත්, එය නගරබදව ජීවත් වන වැසියන්ට සහ ගම්මුන්ට වෙන්වූ අර්ථ දැක්වීමක් තිබෙනවා. දුෂ්කර ගමක ජීවත් වන ගම්මුන්ට එහි මහා ලොකු සුන්දරත්වයක් නැත. නමුත් නගරයේ සිටින බහුතරයකට ගම යනු දවසකට දෙකකට විනෝද වීමට හැකි කදිම තැනක්. නමුත් එය දවසකට දෙකකට එම නිවාඩුව තුල මතු වන කෙටි කාලීන ෆැන්ටසිය මිසක්, එහි ජීවත් වීමට ඔවුන්ට අවශ්යතාවයක් නැත. ගම පිලිබඳ කෙටි කාලීන ෆැන්ටසියක සිටින කෙනෙක් ගමකට ජීවත් වීමට පැමණියොත්, මෙහි ප්රධාන චරිතයට මුහුණ දීමට සිදුවන අත්දැකීම් බොහෝ සෙයින් සමීප වන්නට පුළුවන්.

ඔහුට ඉදිරියේදී ශාස්ත්රපති උපාධියක් සම්පුර්ණ කිරීමේ අරමුණක් ඇති නිසා, මෙම රැකියාව ඔහුට විකල්පයක් වනවා. ෆුලේරා යනු කාෂ්ටක පරිසරයකින් සමන්විත, දුෂ්කර සහ එක්තරා ආකාරයක මලානික ගම්මානයක්. ෆුලේරා ගම්මානයට පැමිණි පළමු දවසම අභිෂේක් වෙත සුබදායී අත්දැකීමක් නොව. මෙහි ප්රධාන ග්රාම නිලධාරී වන්නේ මංජූ දේවි. නමුත් මංජූ දේවිගේ අයත් වන කාර්ය සිදු කරන්නේ ඇගේ සැමියා වන බ්රීජ් බුෂන් ඩූබේ විසින්. අභිෂේක්ගේ කාර්යාල වැඩකටයුතු වෙනුවෙන් විකාස් නම් සහකරුවෙක්ද සිටිනවා. ග්රාම නිලධාරී ලේකම් වශයෙන් මෙම ගම්මානය තුල අභිෂේක් වෙත මුහුණ දීමට සිදුවන සිදුවීම් පෙලක් සමගින්, මෙහි කතාව ගලා යනවා.
Panchayat තුල අඩංගු වන්නේ ඉතාම සරල කතා තේමාවක්. මෙහි අපූරත්වය ගොඩ නැගෙන්නේද එම සරලකම තුල. මෙම කතා මාලාව තුල මහා පරිමාණයේ දේවල් සිදු වන්නේ නැත. නගරයක පුද්ගලයෙක් දුෂ්කර ගමකට ගිය පසුව අත්විඳීමට සිදුවන සාමාන්ය සිදුවීම් පෙලක්, අභිෂේක්ගේ චරිතය හරහා ගොඩ නගනවා. ෆුලේරා වැනි ගම්මානයක ගම්මුන්ගේ ඇති ඒකාකාරී ජීවන රටාව, සුළුතරයෙන් සිදුවන රණ්ඩු සරුවල් සහ ඇතැම් මිත්යා මතවාදයන් විශ්වාස කරන ගම්මුන්ගේ හාස්ය උපදවන ක්රියාවන් මෙහි ප්රධාන චරිතයට මුහුණ දීමට සිදු වනවා. නමුත් මෙම සෑම සිදුවීමක් තුලම යථාර්තවාදී ස්වාභයක් ඇතුලත්වී තිබුනා. ඒ සමගම පුද්ගලයෙකු තමන්ට මුළුමනින්ම ආධුනික ප්රදේශයක ජීවත් වෙද්දී (විශේෂයෙන්ම තම දෙමාපියන්ගෙන් සහ මිතුරන්ගෙන් ඈත්වී සිටියදී) දැනෙන හුදෙකලාව අභිෂේක්ගේ චරිතය හරහා පෙන්නුම් කළා.
එක් අවස්ථාවක අභිශේක් මෙම හුදෙකලාව මකා දැමීමට කළ ක්රියාවකදී, ඔහුට නොසිතූ ආකාරයක අක්කරතැබ්බයක් සිදු වනවා. එම අවස්ථාවේ අභිෂේක්ගේ හුදෙකලාව මකා දැකීමට සහ සිත සැනසීමට, ඔහු ළඟින් ඇසුරු කරන ගම්මුන් ඉතා අපූරු දෙයක් සිදු කරනවා. මෙම කතා මාලාවේ සුන්දර සහ අමතක නොවන දර්ශනයක් එය. Panchayat හි ප්රධාන රසයවින්දනය රඳා පවතින්නේ මේ ආකාරයේ මොහොතවල් තුල.
මෙම කතා මාලාව තුල ප්රධාන වශයෙන් කැපී පෙනුණු අංගයක් මෙහි දෙබස් රචනය. එම දෙබස් තුල හාස්ය සහ උපහාසය ඉතා අපූරුවට ඇතුලත් වී තිබුනා. ඇතැම් සංකීර්ණ දර්ශනයන් මෙහි ඇතුලත්වී තිබුනත්, නිර්මාණකරුවන් එයට අනවශ්ය ලෙස නාට්යමය ස්වභාවයක් ඇතුලත් කරන්නේ නැත.
මෙහි තිර නාටකයේ ඇති සැහැල්ලු බව අවසානය දක්වා පවත්වා ගැනීමට, නිර්මාණකරුවන් සමත්වී තිබෙනවා. මෙහි රංගනයන්ද ඉතා ඉහල මට්ටමක තිබුනා. අභිෂේක්ගේ චරිතයට පණ දුන් ජිතේන්ද්ර කුමාර්, එම චරිතය තුල ඇති කලකිරීම, ව්යාකූල බව සහ නොදැනීම ඉස්මතු වන හාස්ය රසය ඉතා දක්ෂ ලෙස ඔහුගේ රංගනය තුලින් පෙන්නුම් කළා. මෙහි සහාය චරිත රඟ දැක්වූ නීනා ගුප්තා, රඝුබීර් යාදව්, චන්දන් රෝයි සහ ෆයිසාල් මලික්ද කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කළා.
ඉහත සඳහන් කළ ආකාරයට Panchayat තුල මහා පරිමාණයේ සංකීර්ණ කතාවක් නොමැත. නමුත් සරල සහ සැහැල්ලු රස වින්දනයක් සොයන ඔබට, Panchayat ඉහලින්ම නිර්දේශ කළ හැකි නිර්මාණයක්.
Original release: 3 April 2020