Paheli (2005) Hindi
Spoiler Alert!
2005 දී තිරගත වූ Paheli චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ විජයදාන් දේතා නම් ලේඛකයාගේ Duvidha කෙටි කතාවයි. නමුත් ප්‍රථමයෙන්ම එය පාදක කර ගත් චිත්‍රපට නිර්මාණයක් තිරගත වන්නේ 1973 දී එම නමින්ම මනී කෞල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි. 1973 දී තිරගත වූ Duvidha යනු සම්මානනීය චිත්‍රපටයක්. ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ විචාරකයින්ගේ හොඳම චිත්‍රපටය ලෙසත් මෙය සම්මාන ලැබුවා. 2005 දී Amol Palekar විසින් එම කෙටි කතාව පාදක කර ගෙන Paheli චිත්‍රපටය නිර්මාණය වනවා. Amol Palekar එම කතා වස්තුවට අළුත් මුහුණුවරක් ගෙන දෙන්නේ, මුල් කතාවට වඩා එහි සිටින කාන්තා චරිතයන්ටද හොඳ අවකාශයක් ලබා දෙමින්. ඒ සමගම 78 වන ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් ඉන්දියාවෙන් තෝරා ගනු ලැබුවේ Paheli චිත්‍රපටය වීමත් සුවිශේෂී කාරණයක්.
ලච්චී යනු විවාහ වීමට සුදානම් වන තරුණියක්. ඇය විවාහ වන්නේ කිෂන්ලාල් නම් ධනපති පවුලකින් පැමිණෙන පුද්ගලයෙකු සමගයි. කිෂන්ලාල් පැමිණෙන්නේ ව්‍යාපාරික පවුල් පසුබකින්. එම නිසා ඔහුගේ දැඩි අවදානය ඇත්තේ තමාගේ ව්‍යාපාරයන් තුල ඇති ලාභ පාඩු ගණන් කිරීමටයි. මෙය නිසාම ලච්චී තුල කිෂන්ලාල් පිලිබඳ ඇති වන්නේ දැඩි දුරස්ථ හැඟීමක්. ඔවුන්ගේ මංගල රාත්‍රියේද කිෂන්ලාල් කාලය ගෙවා දමන්නේ තම ව්‍යාපාරයන්ගේ ගණන් මිනුම් සැකසීමෙන්. නමුත් ලච්චීව දැඩි ලෙස දුකට පත් කරන කාරණයක් වන්නේ, කිෂන්ලාල් පසුදිනම තම ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් වසර පහකට පමණ කාලයක් නිවසින් පිටවීමයි. අළුත ගෙනා මනමාලියවද තනි කරමින් කිෂන්ලාල් ඔහුගේ පියා සඳහන් කළ නැකතකට අනුව නිවසින් පිටත් වනවා.
ගජ්රෝබායි යනු ලච්චීගේ නෑනායි. ඇයගේ ඛේදනීය කතාව ලච්චී තුල ඇති කරන්නේ තවත් කම්පණයක්. ඊට හේතුව ගජ්රෝබායිගේ සැමියා වන සුන්දර්ලාල්ද, කිෂන් සේම පිටව ගොසින් නැවත නොපැමිණි නිසා. ගජ්රෝබායි සහ ඇයගේ පුත්‍රයා වර්තමානයේදීත් ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වනවා. “ගෑණු අපට බලා සිටීම උරුම දෙයක් “ යන මතය හමුවේ ගජ්රෝබායි ඇගේ සිත සාදා ගන්නවා. කිෂන්ලාල්ගේ නික්ම යෑමෙන් පසුවදා, ඔහුගේ රුව සොරා ගත් භූතයෙකු ලච්චීගේ නිවසට පැමිණෙනවා. විශාල ධනයක් උපයා ගැනීමට නිවසින් පිටත් වූ කිෂන්ලාල්, තම පියාට පවසන්නේ ඔහුට දේව බලයක් ලැබුණු වගයි. මෙම භුතයාගේ සැබෑ නම ප්‍රේම් සහ ඔහු ලච්චීව දුටු දා පටන් ඇයට පෙම් බැඳ තිබෙනවා. සැබෑ කිෂන්ලාල් යනු කිසිදු හැඟීමක් නොපෙන්වන අමුතු පුද්ගලයෙක්. ඔහු ලච්චී කෙරෙහිද විශාල ඇල්මක් දැක්වූයේ නැත. නමුත් මෙම භූත ස්වරූපයෙන් පැමිණෙන පුද්ගලයා මිත්‍රශීලී, සමාජශීලි සහ ආදරණීය චරිතයක්. ඔහු ලච්චීට සත්‍ය ප්‍රකාශ කරනවා. මෙම සත්‍ය ලච්චී තුල යම්තාක් දුරක චකිතයක් ඇති කරත්, ඇය ඔහුගේ ආදරණී සහ කරුණාවන්ත බවට පෙම් බඳිනවා. ඊට ප්‍රධාන හේතුව ඇගේ සැබෑ ස්වාමිපුරුෂයාගෙන් බලාපොරොත්තු වූ ආදරය කරුණාව ඇයට නොලැබුණු නිසා. නමුත් කෙතරම් කාලයක් ඔවුන් දෙපලට සත්‍ය වසන් කළ හැකිද?.
Paheli චිත්‍රපටයේ ඇතුලත් වන අපූරු හාස්‍ය රසයත් සමග ඉතාම කාලෝචිත තේමාවන්ද කතා බහට ලක්වනවා. විවාහ සංස්ථාව, ගැහැණිය සහ මානුෂීය සම්බන්දතා පිලිබඳ මෙහි ඇති හාස්‍ය රසයත් සමග ඉතා අපූරු විග්‍රහයක් මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කරනවා. Paheli චිත්‍රපටය මීට 15 කට පෙර රූපවාහිනියෙන් නරඹද්දී මෙය පිලිබඳ විශාල අවබෝධයක් තිබුනේ නැත. නමුත් මාගේ මතය අනුව වර්තමානයේදී ප්‍රේක්ෂකයා අතර කතා බහට ලක්විය යුතු චිත්‍රපටයක් මෙය. විවාහය යනු ඒක පාර්ශවික මතයට සිදුවන දෙයක් නොව. නමුත් ලච්චී ජීවත් වන සමාජ පරිසරය තුල තම ස්වාමිපුරුෂයාට පමණක් මුල් තැන දී ඔහුට අවනත වීම ගැහැණියගේ යුතුකමක් ලෙස සලකයි. ගජ්රෝබායිට සිදු වූවා සේ සැමියා අතුරුදහන්ව ගියහොත් එය වෙනුවෙන් බලා සිටීම ඔවුන්ගේ උරුමය ලෙස සලකයි. ගැහැණියක් උපන්නේ සෑම අවස්ථාවකම දුක දරා ගැනීමටද?, සැමියා එන තුරු බලා සිටීමටද සහ සෑම අසාදාරණයක්ම ඉවසාගෙන සිටීමටද? ඇයගේ සිතුවිලි වෙනුවෙන් විවාහය තුල ඉඩක් නැතිද?. කිෂන්ලාල්ගේ ස්වරූපයෙන් පැමිණෙන ප්‍රේම් ලච්චීගෙන් එම සම්බන්දයට කැමැත්ත විමසද්දී ඇය සතුටින් හඬා වැටෙනවා. ඊට හේතුව ලෙස ලච්චී දක්වන්නේ, ඇගේ කැමැත්ත කිසිවෙකු ඒතාක් විමසා නැති වගයි. මෙය චිත්‍රපටය තුල මා දුටු ප්‍රභල දෙබසක්. කෙතරම් ධනය සහ සැප පහසුකම් තිබුනත්, විවාහයකදී ගැහැණියක් බලාපොරොත්තු වන ආදරය, කරුණාව, රැකවරණය සහ ඇයගේ ස්වාධීන සිතුවිලි වලටද වටිනාකමක් ඇති බව ලච්චීගේ චරිතයෙන් පෙන්වා දෙනවා.
ජීවත් වීමට මුදල් අවශ්‍යයි, එය සත්‍යක්. නමුත් මුළු ජීවිතයම මුදල් නොවන බව ප්‍රේම්ගේ චරිතයෙන් පෙන්නුම් කළා. කිෂන්ලාල්ගේ පියාගේ ආධිපත්‍ය නිසා එම නිවසේ පිරිමින් අනවශ්‍ය ලෙස මුදල් පසුපස යාමෙන් ඔවුන්ගේ දරු පවුල් ඔවුන්ට මග හැරුණා. නමුත් ප්‍රේම්ගේ පැමිණීම ඔවුන්ට මානුෂීය බැඳීම් තුල ඇති වටිනාකම්ද පැහැදිලි කර දෙනවා.
Paheli චිත්‍රපටයේ තුල ප්‍රධාන වශයෙන් කැපී පෙනුණු අංගයක් මෙහි voice over narration එක. නසිරුදීන් ශාහ් සහ රත්නා පතක්ගේ හඬින් මෙය සිදු වන්නේ, චිත්‍රපටයේ පසුබිමින් දැක ගැනීමට ලැබෙන රූකඩ චරිත ද්විත්වයක් උපයෝගී කර ගෙන. මෙය Paheli චිත්‍රපටය තුල ඉතා නිර්මාණශීලීව යොදා තිබුණු අංගයක්. ශාහ් රුක් ඛාන් සහ රාණි මුකර්ජීගේ අපූරු රංගනයද චිත්‍රපටය වර්ණවත් වීමට තවත් ප්‍රභල සාදකයක්. මෙහි පසුතල නිර්මාණයන් සහ ඇඳුම් නිර්මාණකරණයටද ඉතා හොඳ අවදානයක් ලබා දී ඇත. M. M. Kareem ගේ සංගීත අධ්‍යක්ෂණයද සිත් ඇද ගන්නා සුළුයි. මෙහි ඇතුලත් වන Kangna Re, Dheere Jalna සහ Laage Re Jal වැනි ගීත බොහෝ සෙයින් ජනප්‍රිය වුනා.
වසර පහළොවකට පසුව Paheli චිත්‍රපටය මා දුටුවේ මෙලෙසයි.