Paava Kadhaigal(2020)- පව්කාර කතාන්දර
Episode 4: Oor Iravu – එක් රාත්රියක්
Cast:
- Sai Pallavi as Sumathi
- Prakash Raj as Janakiraman
- Hari Krishnan as Hari
මේ Paava Kadhaigal සඳහා තේමාව වෙලා තියෙන්නේ කාන්තාව සහ සමාජ සංස්ථාව තුළ ඉතා වැදගත් යැයි ඉස්මතු කරන සංස්කෘතිය, සම්ප්රදාය, ගෞරවය ආදී හර පද්ධතිය නිසා වගේම ඇයගේ පවුලේ, වටපිටාවේ සිටින පිරිමින් නිසා කාන්තාවන්ගේ ජීවිත වලට සිද්ධ වෙන ධනාත්මක හෝ සෘණාත්මක බලපෑම පිළිබඳව.
දැන් අපේ ගෞතම් මෙනන් සර් කරපු Vaanmagal කතාව ගත්තොත් ඒ කතාවේ වින්දිතයා බවට පත් වෙන්නේ අවුරුදු දොළහක කුඩා ගැහැණු දරුවෙක්. ඇයට සිදුවන යම් අතවරයක් සමග ඇයගේ පවුලේ සාමාජිකයින් එයට ප්රතිචාර දක්වන විදිය තමයි කතාවෙ තියෙන්නේ. ඒක ධනාත්මක කතාවක්. තමන්ව පාගලා තලලා පොඩි කරලා දාපු අයට ඉහළින් ශක්තිමත්ව පියාඹලා යන්න, කවදාවත් නැවත ඔවුන්ට තමන්ව පාගලා දාන්න ඉඩක් දෙන්න එපා කියන ධනාත්මක පණිවිඩය එයින් ලබාදෙනවා.
ඒ වගේම සම්ප්රදායටත් සංස්කෘතියටත් අපි ගරු කරන්න ඕන නමුත් එහි තිබෙන යල් පැන ගිය දේවල් අයින් කරලා එය අපේ ජීවිත වල සාර්ථකත්වය වෙනුවෙන් යොදා ගන්නට ඕන කියලත් කියලා තියනවා.
ගෞතම් මෙනන්ගේ ස්ටයිල් එක තමයි ඒ; ‘කටු අකුලෙත් මල් පුබුදමි’ ටයිප් එකේ මනුස්සයෙක්. ඔහු සාමාන්යයෙන් ඛේදාන්තයක් තුළ වුනත් අපේක්ෂාවේ රිදී ඉරක් නිර්මාණ කරනවා 

වෙට්රිමාරන් සර්ගෙ සිනමා ස්ටයිල් එක ගැන මට වඩා හොඳින් ඔබ දන්නවා ඇති. මේ Oor Iravu කියන්නේ ඒ ස්ටයිල් එකේ කූඨප්රාප්තිය, උපරිමය ද කියලත් වෙලාවකට හිතෙනවා. ඔහු කලින් පුවත්පත් සාකච්ඡාවකදි වගේම trailer release event එකේදිත් පැහැදිලිවම කිව්වා “OTT මගින් නිර්මාණකරුවන්ට පියාඹන්න තටු දෙනවා. තමන්ගේ සැබෑ හැකියාව උරගා බලන්න, තමන් කවුද කියලා ලෝකයටම කෑගහලා කියන්න බොහොම නිදහස් අවකාශයක් හදලා දෙනවා” කියලා. අන්න ඒ ලැබුනු නිදහස වෙට්රිමාරන් විසින් උපරිමයෙන්ම භාවිත කරගෙන තියනවා කියලා නම් වගකීමෙන් කියන්න පුලුවන්.

වඩ චෙන්නායි දෙවන කොටස වෙබ් සීරිස් එකක් විදියට කරන්න ඔහුට අදහසක් තියනවා කියලා කියැවුනා කාලෙකට කලින්. මට හොඳටම විශ්වාසයි ඒ දෙය යථාර්ථයක් බවට පත් වුනොත් අනිවාර්යයෙන්ම ඒ වඩ චෙන්නායි 2 වෙබ් සීරිස් එක තමයි වෙට්රිමාරන්ගේ මෙතෙක් සිනමා ජීවිතය තුළ ඔහු විසින් නිර්මාණය කරපු විශිෂ්ඨම නිර්මාණය බවට පත්වෙන්නේ.
පුළුල් තිරයක් වෙනුවෙන් නිර්මාණ කරද්දි ප්රේක්ෂකයාට විසිල් ගහන්න, නිෂ්පාදකවරයාව තෘප්තිමත් කරන්න, නළුවන්ගේ ප්රතිරූපය හදන්න වගේ දේවල් වෙනුවෙන් අධ්යක්ෂකවරයෙක් තමන්ගෙ හැකියාව, ස්ට්රෙන්ත් එක මොනතරමක් නම් නිරපරාදේ දියකරලා දානවද කියන එකට මෙය හොඳ උදාහරණයක්. මම ඔහුගේ ඩයිහාඩ් රසිකයෙක් නෙවෙයි. නමුත් මේ නිර්මාණය ඔහු මෙතෙක් කරපු සියලුම නිර්මාණ වලට වඩා මේ විනාඩි තිහක විතර පොඩි නිර්මාණය මට වටිනවා 

මේ චිත්රපටියේ හැම දෙයක්ම අති විශිෂ්ඨයි. ඒක විස්තර කරන්න වචන නෑ. මොනවා කියනවද කියලා හිතාගන්නත් බෑ. කුලය, කුලවාදය වගේ නිශ්ප්රයෝජන දෙවල් නිසා මිනිසුන්ගේ ජීවිත අඳුරු වෙන බව ඇත්ත නමුත් මේ තරම්ම අන්ධකාරයක් මේ ලෝකේ තියෙන්න පුලුවන්ද කියන ප්රශ්නය ඉතුරු කරන අපූරු නිර්මාණයක්. ආයෙත් කියනවා, වෙට්රිමාරන් නියම වැඩක් කරලා තියෙන්නේ
. අවසානයේදී ප්රේක්ෂකයාව නිරුත්තර කරලා දානවා.

රංගනය නම් විශිෂ්ඨයි. ප්රකාශ් රාජ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔහු රඟපාන චරිතයේ තියන දෙබිඩි ස්වභාවය,වංචාකාරී ස්වභාවය ආරම්භක තත්පරයේ ඉඳලා උපරිමයෙන්ම ප්රකට කරන විදියේ අතිශය තාත්වික රංගනයක් ඔහු ඉදිරිපත් කරනවා. සායි පල්ලවී ඊට නොදෙවෙනියි. කාලෙකට පස්සේ සායි පල්ලවී රඟපානවා කියලා දෙයක් කරනවා දැකපු චිත්රපටියක් මේක 

මේක බලද්දි මට හිතුනේ එක දෙයයි.
කුලය, ගෞරවය, තත්වය වගේ දේවල් ඉදිරියේ මනුශ්යත්වය ලඝු කරන්න හොඳ නෑ. එහෙම කරනවා නම් ඒ අය මිනිස්සු වෙන්න බෑ.
මේ anthology එකේ තියන කතා හතරෙම තියන පොදු ලක්ෂණක් තමයි; කාන්තාවක් සම්බන්ධව යම් කාරණයකදී (ආදරය, විවාහය, අතවරයකට ලක් වීම වගේ) ඇය වටේ ඉන්න අය එම සිදුවීමට ප්රතිචාර දක්වන ආකාරය. ඒ කියන්නේ තමන්ගේ දුව/බිරිඳ/සහෝදරිය හෝ තමන්ගේ පවුලේ/කුලයේ ගෞරවය අතරින් එක දෙයක් තෝරගන්න වුනොත් කරන තෝරාගැනීම මොකද්ද කියන දෙය.
Vaanmagal එකේදි දකින්න ලැබුනේ ධනාත්මක ප්රතිචාරයක්; ගෞරවය වෙනුවට ඔවුන් දරුවා තෝරගත්තා. නමුත් මේ කතාවෙදි ඒ තෝරාගැනීම හාත්පසින්ම වෙනස් වෙනවා.

Director : Vetrimaaran