Paangshu (2018) Sinhala Article
අතීතය තුළ වළදැමූ මව්වරුන්ගේ විලාපය යළි ගොඩගත්
” පාංශු – Paangshu “
Initial release: August 21, 2020 (Sri Lanka)
Produced by: TVT
මගේ තාත්තා මං වර්තමාන දේශපානය ගැන මොකක් හරි පණ්ඩිත කතාවක් ඇදලා ගත්ත ගමන්, නිතරම කියන එක කතාවක් තියෙනවා. ඒ තමයි ඔයා අතීතය ගැන දන්නේ නෑ. ඒකයි ඔයා, ඔය විදිහට කතාකරන්නේ කියලා. අපේ අම්මත් මට ගොඩක් වෙලාවට කියනවා 88 කලබල කාලේ තරුණ ළමයි මරලා දාලා ඉන්නවා එයාලා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. රෑට කුප්පි ලාම්පුවවත් පත්තු කරන්න බැරි කාලයක් අපි පහු කරලා ආවේ කියලා. ඔය කතාව කිව්වට ඒක මට නිකං කතාවක් විතරක් බවට පත්වෙලයි තිබුනේ. හැබැයි අද මම තේරුම් ගත්තා මේ මහපොළොව උඩ අපි නොදන්න කොයි තරම් අමිහිරි අත්දැකීම් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණය. මට අද අවස්ථාව ලැබුනා විසාකේස චන්ද්රසේකරම් මහතාගේ නවතම සිනමා නිර්මාණය වුනු ” පාංශු ” චිත්රපටයේ විශේෂ මාධ්ය දර්ශනයකට සහභාගී වෙන්න.
මුලු ශාලාවම කලුවර වුනා. චිත්රපටය පටන්ගත්තා. පටන්ගත්ත මොහොතේ ඉඳන් ඉවර වෙනකං මගේ හිත මටම පාලනය කරගන්න බැරි තරමට මං අසරණ වෙලා හිටියේ. මොකද මගේ යාලුවෝ ඉදිරියේ කඳුලු හලන්න මට බැරි නිසා. පස්සේ චිත්රපටය අවසන් වෙලා ගෙදර යනකං කොහොම හරි කඳුලු ටික නතර කරගෙන හිටියා. කොට්ටාව හයිවේ එක උඩින් යන පාලමක් ගාව මම බැරිම තැන මගේ ස්කූටරය නතර කළා. නතර කරලා මාස්ක් එකත් දාගෙන ඇති වෙන්න ඇඩුවා.
අම්මා කෙනෙක්, තමන්ගේ පුතා මිනියක් මරලා ආවත් බාරගන්නවා කියලා කතාවක් අහලා ඇති ගොඩ දෙනෙක්. මම අද මගේ ඇස් දෙකෙන්ම ඒ අම්මව දැක්කා. මං බැරි වෙලාවත් ඒ වෙලාවේ අපේ අම්මගේ තුරුලට ගියානම් මං පපුව පැලිලා මැරෙනවා.
මම ලංකාවේ චිත්රපටි බලලා කම්පා වුනේ දෙවතාවයි. එකක් තමයි මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ ” බිම්බා දේවි – යශෝධරා “.
අනිත් චිත්රපටය බවට පත්වුනේ විසාකේස චන්ද්රසේකරම් මහතාගේ ” පාංශු – Paangshu ” චිත්රපටය.
චිත්රපටයේ කතාව ගැන කිසිම දෙයක් මම ආපහු කියන්න අවශ්ය වෙන එකක් නෑ. මොකද මේක මට මගේ හදවතටම දැනුන හැඟීමයි වචන වලට හැරෙව්වේ.
” අතක් පයක් කඩලා හරි කමක් මට මගේ පුතාව ගෙනත් දෙන්න දෙන්න මට පුළුවන් ඒකව බලාගන්න ” කියලා අම්මා කෙනෙක්ගේ කටින් කියනවා කියන්නේ … දෙයියනේ කොහොමද ඒ වචන අහගෙන ඉන්නේ.
අවසානයේදී තවත් ඒ වගේම අම්මා කෙනෙක් කියනවා ” මේ ඉන්නේ පුතේ උඔගේ තාත්තව උඔට බේරලා දීපු දේවතාවිය. ” මේක ලියනකොටත් මගේ කී බෝර්ඩ් එක උඩට කඳුලු වැටෙනවා.
සිනමා අධ්යක්ෂවරයෙකුගේ, පිටපත් රචකයෙකුගේ නිර්මාණයක් අති සාර්ථක වෙන්න බලපාන ප්රධානම කාරණයක් තමයි අත්දැකීම. තමන් ලබපු අත්දැකීමක් පුළුල් සිනමා තිරයකට ගෙනඒමෙහිලා විසාකේස චන්ද්රසේකරම් මහතා සිදුකර කර ඇති ප්රාතිහාරය මට නම් හිතාගන්නත් බැරි තරම්. ඒ තරම් විශිෂ්ඨයි.
ඒ වගේම මෙහි ප්රධාන භූමිකාවන්ට පණ දෙන අග්රගණ්ය රංගන ශිල්පිනිය නීටා ප්රනාන්දු මහත්මිය සහ නදී කම්මැල්ලවිර ප්රේක්ෂකයාට මේ මව් සෙනෙහස දනවන විදිහ ගැන වචන වලට පෙරලන්න මට තාම තේරෙන්නේ නෑ. අපි කියන්නේ ඔලුව හිරිවැටෙන්න දුන්නා කියලා. හැබැයි අද නම් වුනේ ඔලුවයි හිතයි දෙකම හිරිවැටුනා. ඒ තරම් අති විශ්ෂ්ඨයි.
සේවියර් කණිෂ්ක , ජගත් මනුවර්ණ, රන්දික ගුණතිලක ඇතුළු සියලුම නළු නිලියන් තමන්ගේ චරිතයට දුන්න රස ගැන කියන්න වචන නෑ. විශිෂ්ඨයි.
ඒ වගේම තමයි එදා පැවති සමාජ ක්රමය, කුල ක්රමය නිසා පැවතුනු පහත් කොට සැළකීම, ඇවතුම් පැවතුම් පිළිබඳවත් පුදුමාකාර සංයමයකින් කතා කරලා තියෙනවා.
අවසානෙට කියන්න තියෙන්නේ. අගෝස්තු 21 වැනිදා ඉඳං පාංශු චිත්රපටය හෝල් වලට එනවා. අනිවාර්යෙන්ම ගිහිං බලන්න. මොකද මේවගේ නිර්මාණකරුවන් රැකගත්තොත් තමයි සිනමාව කියන විශය රැකෙන්නේ. සියලු දෙනාටම හදවතින්ම ජය ප්රර්ථනා කරනවා.
අදහස – දුතික ගයාශාන්