Paa (2009) Hindi | Sinhala Article

Paa (2009) Hindi by Charith Moragoda

අකලට මෝරන කැකුළු

විද්‍යා බාලන්, අමිතාබ් බච්චන් සමඟින් අභිශේක් බච්චන් ප්‍රධාන චරිත නිරූපණය කළ “පා” හිංදි චිත්‍රපටය අද දින සිය 14 වන සංවත්සරය සමරනවා. මේ සටහන ආර්. බල්කී අධ්‍යක්ෂණය කළ “පා” වෙනුවෙන්.

දරුවෙක් කියන්නෙ දෙමාපියන්ට සම්පතක්.. දරුවෙක් ලැබෙන්න ඉද්දි අම්මා පරිස්සම් වෙන තරම්. තාත්තා අම්මව පරිස්සම් කරන තරම්.. නෑදෑ හිත මිත්‍රාදීන් සංග්‍රහ කරන තරම්.. ආච්චිලා සීයලා උපදෙස් දෙන තරම්…. මේ හැම දේම කරන්නෙ පුංචි සිඟිත්තා ගේ රැකවරණය වෙනුවෙන්..

එහෙම මහා රැකවරණයක් මැද්දෙ ලෝකෙට එන සිඟිත්තා ඉක්මනින් ලොකු මහත් වෙන එක බලන්න දෙමාපියන් ඉන්නෙ පුදුම නොයිවසිල්ලකින්.. මුලින්ම දනගාන දවස, මුලින්ම ” අම්මා” කිව්ව දවස.. ඉස්සෙල්ලම නැඟිට්ට දවස.. මේ හැම දවසක්ම පොඩි එකාට වගේම දෙමාපියන්ටත් අමතක නොවෙන දවස්..

පැංචා ලොකු වෙනකල් නොයිවසිල්ලෙන් බලන් හිටියත් ඒ පැටියා හිතනවාටත් වඩා ඉක්මනින් ලොකු වුනොත්….???

අද අපේ තිරපිටපතෙන් එහා වෙන් වන්නේ අන්න ඒ වගේ කථාවක් වෙනුවෙන්. ඒ ආර්.බල්කී අධ්‍යක්ෂණය කළ අමිතාබ් බච්චන්, විද්‍යා බාලන් සහ අභිශේක් බච්චන් රංගනයෙන් දායක වූ “Paa” චිත්‍රපටයේ තිර පිටපතේ කියැවෙන “ප්‍රොජීරියා” පිළිබඳවයි.

මොකක්ද මේ ප්‍රොජීරියා එහෙමත් නැත්නම් සිංහලෙන් “ප්‍රර්ණ රෝගය” කියන්නෙ? අපි ඒ පිළිබඳව වෛද්‍ය විද්‍යාව අනුව විමසා බලමු.

ප්‍රොජීරියාව ඇති වන්නේ සෛල න්‍යෂ්ටියේ ව්‍යුහය තුල ඇතිවන විකෘති තත්වයක් නිසා සාමාන්‍ය සෛල බෙදීම දුෂ්කර වීම නිසා බවයි සඳහන් වන්නේ.තේරෙන භාශාවෙන් කියනවානම් සෛල විකෘති වීමක්.මේ හේතුව නිසාම ඩී.එන්.ඒ අළුත්වැඩියා කිරීමක් ද සිදු නොවන අතර ඔවුන්ට ජානමය අස්ථායිතාව ද ක්‍රමයෙන් වැඩි වන බවයි සඳහන් වන්නේ. (සමූහයේ වෛද්‍ය වරයන් බොහෝමයක් ඉන්න නිසාම මේ ගැන වැඩි විස්තර හැකිනම් ඔවුන්ට comment කරන්න කියමු.)

මොකක්ද මේ රෝගයේ රෝග ලක්ශණ?
ප්‍රොජීරියා රෝගයෙන් පෙළෙන දරුවන් සාමාන්‍යයෙන් උපතින් පසුව පළමු මාස ​​කිහිපය තුළ පළමු රෝග ලක්ෂණ වර්ධනය කරනවා. මුල්ම රෝග ලක්ෂණ අතරට වැඩීම බාල වනවා. ළදරු වියට පා තබන විට, එනම් මාස 18-24 අතර කාලය වන විට සීමිත වර්ධනය, පූර්ණ-ශරීර ඇලෝපසියාව (හිසකෙස් නැතිවීම) සහ සුවිශේෂී පෙනුමක් (නොගැඹුරු අවපාත සහිත හකු සහිත කුඩා මුහුණක් සහිත වීම) ඇති වීම ප්‍රොජීරියා හි ලක්ෂණ වේ.

මෙම රෝගයේ රෝග ලක්ෂණ දරුවාගේ වයස වැඩි වන විට වඩාත් කැපී පෙනේ. පසුකාලීනව මෙම තත්වය රැළි වැටුණු සම, ධමනි සිහින් වීම, වකුගඩු අකර්මණ්‍ය වීම, ඇස් පෙනීම නැතිවීම සහ හෘද වාහිනී ආබාධ ඇති කරයි. මෙම ආබාධයෙන් පෙළෙන පුද්ගලයින්ට සාමාන්‍යයෙන් වැඩිහිටි අයගේ ශරීර මෙන් නමුත් ප්‍රමාණයෙන් කුඩා අස්ථායී බිඳෙනසුලු ශරීරයන්ට හිමිකම් කියනවා. සිරුරට සාපේක්ෂව හිස සාමාන්‍යයෙන් විශාල වන අතර පටු, රැලි සහිත මුහුණක් සහ හොට නාසයක් පිහිටනවා.

රෝග හේතූන් වගේම රෝග ලක්ශණත් හදුනා ගත්තා.. දැන් අපි ප්‍රතිකාර ගැන විමසා බලමු. වයස් ගත වීම වලක්වන බෙහෙතක්.. ඒක නම් බොහොම වටින තොරතුරක් වේවි… බලමු..

අවාසනාවකට මෙන් ප්‍රොජීරියා වෙනුවෙන් කිසිදු ප්‍රතිකාරයක් තවමත් ලදායී බව ඔප්පු වී නැති බවයි සඳහන් වන්නේ.නමුත් කිරීටක ධමනි බයිපාස් සැත්කම් සහ අඩු මාත්‍රාවකින් යුත් ඇස්පිරින් මඟින් අතුරු ආබාධ වන හෘද රෝග වැනි සංකූලතා අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව පවතිනවා. වර්ධන හෝමෝන ප්‍රතිකාර සඳහා උත්සාහ කර ඇතත් එය තවමත් සාර්තකවී නෑ.(සාර්තක වූවා නම් වයසට යාමද පාලනය කළ හැකි බවයි සඳහන් වන්නේ). ප්‍රොජෙරින් නිෂ්පාදනය අඩු කිරීම සඳහා මෝර්ෆොලිනෝස් භාවිතය ද වෛද්‍යවරුන් උත්සාහ කර තිබෙනවා.දන්නා ප්‍රතිකාරයක් නොමැති හෙයින්, ප්‍රොජීරියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ වයස අවුරුදු 13 නොඉක්මන බව වෛද්‍යවරුන් පවසනවා. රෝගීන්ගෙන් අවම වශයෙන් සියයට 90 ක්ම හෘදයාබාධ හෝ ධමනි සිහින් වීම නිසා මිය යනවා. නමුත් මෙය මානසික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන්නේ නැති බවයි සඳහන් වන්නේ. ඇත්ත වශයෙන්ම, බුද්ධිය සමවයසේ පුද්ගලයෙක්ට වඩා සාමාන්‍යයයෙන් වැඩි වන බව සඳහන්. ප්‍රොජීරියාව පෙනෙන්නට තිබෙන වයස්ගත වීමේ ලක්ෂණ සම්බන්ධයෙන් ගත් කල, රෝග ලක්ෂණ වර්ධනය වීම සාමාන්‍ය වයසට වඩා අටක් හෝ දහ ගුණයක් වේගයෙන් වයස්ගත වීම දැක්විය හැකිය.

ප්‍රොජීරියා රෝගීන් වයස්ගත වීමේ ලක්ශණ පෙන්වූවත් ස්නායු උත්පාදනය හෝ පිළිකා නැඹුරුතාවයක් නොපෙන්වීම විශේෂත්වයක්. ඇසේ සුද ඉවත් කිරීම (පාරජම්බුල කිරණ නිසා ඇතිවන) සහ ඔස්ටියෝ ආතරයිටිස් වැනි වයස්ගත වීම සමඟ පොදුවේ සම්බන්ධ වන තත්වයන් ද ඔවුන් පෙන්නුම් කරන්නේ නෑ. ප්‍රොජීරියා රෝගය සඳහා කිසිදු සාර්ථක ප්‍රතිකාරයක් නොතිබුණද, ආතරයිටිස්, ශ්වසන සහ හෘද වාහිනී වැනි ගැටළු සඳහා ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව පවතිනවා. ප්‍රොජීරියා රෝගයෙන් පෙළෙන අයට සාමාන්‍ය ප්‍රජනක වර්ධනයක් ඇති අතර සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහි කළ ප්‍රොජීරියා රෝගයෙන් පෙළෙන දැරිවියන් පිළිබඳවද ලොව පුරා වාර්තා වනවා.

රෝගය, ඊට හේතු, රෝග ලක්ශණ වගේම ප්‍රතිකර්මත් අප විමසා බැලුවා. මේ “Paa” චිත්‍රපටය ගැන සංවේදී සටහනක් කියවා බලමු.

මෙහි ප්‍රධාන චරිතය එසේත් නැතිනම් ප්‍රොජීරියා රෝගයෙන් පෙලෙන අරූ නම් චරිතය නිරූපණය කරන්නේ අමිතාබ් බච්චන්. ඔහු වරක් ප්‍රොජීරියා රෝගී දරුවෙක් මුනගැහෙනවා. ඒ ඔහුගේ ” කෞන් බනේගා කරෝර්පතී” වැඩසටහනේදී.

ප්‍රශ්නෝත්තරයේ සුපුරුදු රූගත කිරීම්වලින් පසුව, අමිත් ජී 13 හැවිරිදි ශ්‍රියාෂ් බාර්මෙට් හමුවනවා. එය “රියල් පා” සහ “රීල් පා” ගේ හමුවීම ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.

ප්‍රොජීරියාව සමඟ ජීවත් වන ජබල්පූර්හි පදිංචි ශ්‍රියාෂ් බර්මෙට් වසර ගණනාවක් අමිතාබ් බච්චන් හමුවීමට කැමැත්තෙන් පසුවූ දරුවෙක්.ඉන්දියාවේ ප්‍රොජෙරියා සමඟ ජීවත් වන ඇස්තමේන්තුගත ළමුන් 60 දෙනාගෙන් එක් අයෙක් තමයි මේ ශ්‍රියාෂ්.

අමිතාබ් බච්චන් වෙනුවෙන් ඔහු පෞද්ගලිකව රැගෙන ගිය තෑග්ගක් ද ඔහුට භාර දෙන්නටත් ශ්‍රියාශ් උත්සුක වුනා . මෙම දුර්ලභ හා මාරාන්තික වේගවත් වයස්ගත තත්ත්වයෙන් පෙළෙන දරුවන් සොයා ගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීම සඳහා මේ වන විට ප්‍රොජීරියා පර්යේෂණ පදනම විසින් ඉන්දියාවේ ප්‍රොජීරියා සමඟ 60’ වැඩසටහනක්ද දියත් කර තිබෙනවා.

මේ අපූරු හමුවීමෙන් පසු ශ්‍රියාෂ් මෙසේ පවසනවා

“මගේ සිහිනය මට සැබෑ වුනා, අමිත්ජි ඉතා ආදරයෙන් කථා කළා.. මගේ විනෝදාංශ සහ දෛනික කටයුතු ගැන මගෙන් ඇහුවා. පා චිත්‍රපටයේ ඔහු රඟපෑ අරෝ චරිතයට මා කොතරම් කැමතිද යන්න ගැනද මම ඔහුට කීවා. අමිතාබ්ජි මට නැවත හමුවීමටත් සහතික වුනා. ”

නමුත් ශ්‍රියාෂ්ට ඒ “සහතිකය” සහතිකවම ලබා දිය හැකිද??

චරිත් මොරගොඩ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *