Our Little Sister (2015) Japan | Sinhala Article

Our Little Sister (2015) Japan

90% liked this film Google users

සිත සුවපත් කරන චිත්‍රපට කියන්නෙ මෙන්න මේ වගේ ඒවට. හිතේ අවුලක් ආපු වෙලාවකට සිංදුවක්, චිත්‍රපටයක් බලන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ට ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්. ඒ කියන්නෙ මේක හරිම සරල, ආශාවෙන් බලන් ඉන්න පුළුවන්, විසඳන්න ප්‍රෙහෙලිකා නැති, තනි වචනෙන් කිව්වොත් “ලස්සන” වැඩක්. ඒ කියන්නෙ “බොළඳයිද?” කියන අදහසත් ඇතිවෙන්න පුළුවන්. නැහැ, මේක ලෝක සිනමාවට ජපාන සිනමාව සම්බන්ධ වෙනකොට, ඒ ඔස්සේ අපූරු අනන්‍යතාවයක් සනිටුහන් කරන විශිෂ්ට සිනමාකරු හිරොකසු කොරේඩා ගේ චිත්‍රපටයක්. ඒ නිසා කතාව ඇතුළෙ තියෙනවා සරලව විඳින්නට හැකි අපූර්වතම දේවල් රැසක්ම.

මේක සහෝදරියන් තිදෙනෙක් සහ පසුව එක්වන කුඩා සහෝදරියකගෙන් සැකසුණු පවුලක කතාවක්. එක් නිවසක එකට ජීවත්වෙන එක පවුලක් විදිහට ගත්තම මේ පවුල්ටම ඉන්නෙ මේ සහෝදරියන් 4 දෙනා විතරයි. එක කුස උපන් අක්කලා නංගිලා තුන්දෙනා ජීවත් වෙන්නෙ තනියම. මව්පියන් දික්කසාද වෙලා වගේම අවුරුදු ගානකින් ඒ අයව දැකලවත් නෑ. ඒක අසරණකමක් වෙනවා වෙනුවට මේ අයව තවතවත් ශක්තිමත් කරන්නට ඒ වෙන්වීම බලපා තිබෙන හැටි දකින්නට පුළුවන්. මෙයාලා එකිනෙකාට බොහොම ලැදියි. අක්කලා නංගිලා අතරේ සිද්ධ වෙන සාම්ප්‍රදායික ‍රණ්ඩු සරුවල් වල අඩුවකුත් නෑ. ඒත් ඒවා කෙහෙවලු පටලවගන්න මට්ටමකට යන්නෙත් නෑ. හැම දෙයක්ම එකම සහෝදර බැම්මකින් බැඳිලා. ඉතින් හදිසියේම ආරංචි වෙනවා පියා මියගිහින් බව. අවමංගල උත්සවේ දවසෙදි තමයි එයාලට මුණගැහෙන්නෙ තාත්තගෙ තවත් කසාදෙකින් උපන් පුංචි නංගියෙක්ව. දැකපු ගමන්ම ආස හිතෙන්නේ “අනේ මෙයාව ගෙදර අරන් යන්න ඇත්නම්” කියල හිතට නැඟෙන සිතුවිල්ලක තරමටම. කතන්දරය ආරම්භ වෙන්නෙ ඒ විදිහට.

සචි, යොසිනො සහ චිකා ට මේ අලුත්ම නංගියා සුසූ ව කොහොමත් බරක් නෙමේ. මේ තුන්දෙනා ගේ ස්වාධීන දිවිය තමයි නිර්මාණකරුවා විසින් වඩාත් ඉස්මතු කරල පෙන්නල තියෙන්නෙ. “අම්මත් නැති තාත්තත් නැති අසරණ ගෑනු ළමයි” කියන පොකුරට මේ අයව වැටෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ තුන්දෙනාම ස්වාධීනව තමන්ගෙ එකම පුංචි පවුල වෙනුවෙන් පෙනී ඉන්නා නිසා. ගෘහ පාලනය, ආර්ථික ස්ථාවරය සහ අළුත් නංගිගෙ වගකීම කියන දේවල් මේ තුන්දෙනා පිට පැටවෙන බරක් වෙන්නෙ නෑ කොහොමටවත්ම. පවුලට පරිබාහිරව පෞද්ගලික සබඳතා තිබුණත් ඒවා කිසිවිටෙකත් පවුල ඇතුළෙ අවුල් හැදෙන වාතාවරණයකට පත් නොකරගන්නත් මෙයාලා දන්නවා. තමන්ගෙ සුන්දර හුරතල් පුංචි සහෝදරිය නිසාම මෙයාලා ආපහු සැරයක් අලුතින්ම සංධානගත වෙලා සුපුරුදු ජීවන රටාව උපරිම ප්‍රීතියෙන් ගෙවන හැටි දිහා තමයි කතන්දරයක් විදිහට බලා ඉන්නට තිබෙන්නේ.

ඒ අතරේ ප්‍රශ්න, ගැටලු, අවිනිශ්චිත තැන් නැතුවාමත් නෙමේ. ඒවාට තමන්ව අභිබවා ඔඩු දුවන්නට ඉඩ නොදී මනාව පාලනය කරගන්න එකයි මේ අයගෙ රහස. හැකි සෑමවිටම තමන්ගෙ බැඳීම බිඳෙන්න නොදෙන එකයි මේ අයගෙ ක්‍රමය. වැඩිමහල් අක්කා සචි නම් අම්මගෙ තනතුරේ නිරායාසයෙන්ම වැජඹෙනව වගේ පෙනුණත් සචි එක්ක නිතරම එල්ලෙන දෙවෙනියා යොසිනො නිසාම සචිට හැමතිස්සෙම අම්මගෙ භූමිකාවෙන් අක්කගෙ භූමිකාවට එන්නම වෙනවා. බාලයා චිකා මේ වලි වලින් නොමද විනෝදයක් ලබනවා. තුන්දෙනා තුන් විදිහක් වුණාට පුංචි සුසූ වෙනුවෙන් තුන්දෙනාම එකම භූමිකාවක නිරත වෙනවා. සුසූට අක්කලා තුන්දෙනෙක් එක්කම ඒ තුන්දෙනාගේ සංයෝගයෙන් හැදුණ ශක්තිමත් අම්මෙකුගේ රැකවරණයක් හිමිවෙනවා. මේ හතර දෙනාගේ දෝරෙ ගලන සෙනෙහස් ගංගාවේ ගිලෙන නරඹන්නාට මුලු ලෝකෙම අමතක කරල සමාධි සුවයක දැහැන්ගත වෙන්නට හැකිවෙනවා.

සහෝදරියන්ගේ ආකර්ශනීයත්වය චිත්‍රපටයේ රූපකරනය තුළින් එක්කරන්නේ පුදුමාකාර අලංකාරයක්. හැම රූපරාමුවක්ම මවන්නේ සිතුවමක අසිරියක්. මුල සිට අඟ දක්වාම ඒ රූපමය චමත්කාරය නරඹන්නාව මෝහනීය බවකට පත්කරනවා. ඒවා අතිශය සොබහවික පරිසර වර්ණනාවන්. ඒ මැද්දේ සොබහවික සොහොයුරියන්. ඒ අයගෙ සොබහවික ගතිපැවතුම්. කවියකින් ලියපු දිනසටහන්. මේ සෑම දෙයක් එක්කම සනීපෙට හිත පිරිමදිනා ලෙංගතුකමකින් පිරුණු සුන්දර චිත්‍රපට අත්දැකීමක් ලබන්නට හැකිවෙනවා.

***************************************************

Screenplay, Edited & Directed by; Hirokazu Kore-eda

Produced by: Kaoru Matsuzaki, Hijiri Taguchi

Based on ; Umimachi Diary by Akimi Yoshida

Starring : Haruka Ayase, Masami Nagasawa , Kaho , Suzu Hirose

Music by : Yoko Kanno

Cinematography:Mikiya Takimoto

Country:Japan

Language: Japanese

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *