Om Shanti Om (2007) Hindi | Sinhala Article

Om Shanti Om (2007) Hindi Anushka Rasanjana Desilva

?සංසාරගත ආත්මීය ආමන්ත්‍රණයට වසර 14යි..

ආදරය එක එකෙනා විදින විදිය එක්ක වෙනස් වෙනවා….. සමහරු ළඟ ති⁣යාගෙන අයිති කරගෙන විඳිනකොට තව සමහරු දුර තියාගෙන විඳිනවා… ලඟ තියාගෙන විදින ආදරයට වඩා දුර තියාගෙන විඳින ආදරයේ අමුතුම හැඟීමක් සුන්දරත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා…
ඕම්…. සඳට පෙම් බඳින පොළොවේ තනි තරුව… ඕම් ප්‍රකාශ් කියන්නේ මුලදී අර කිව්වා වගේ දුර ති⁣යාගෙන ආදරය විඳින කෙනෙක්…. ඕම් පොළොවේ තියෙන තරුවක් කියන්න හේතුව තමයි අහසේ තියෙන තරුවක් වගේම දිදුලනවා වුනාට ඒ තරුව දිහා හැමෝටම බලන්න තියා පේන්නේවත් නැති නිසායි… ඕම්ගේ චරිතය හරිම නිදහස් සැහැල්ලු හරියට පිහිටුවක් වගේ කියන්න පුළුවන් චරිතයක්…. තමන්ගේ එකම හීනය ජනප්‍රිය නළුවෙක් වීම ඇරුණම ඕම්ගේ ලොකුම හීනය ශාන්ති ප්‍රියා…. හිතට විතරක් සීමා වුන හිතින් විතරක් අයිති ඒක පාර්ශවික ආදරකදී හිතේ තෙරපිලා කියාගන්න බැරුව ලතවෙන හැඟීම් නිදහස් කරන්න ඒ ආදරය විඳින හැමෝම කැමති දෙයක්… එහෙම හිරවෙලා තියෙන හැඟීම් නිදහස් කරගන්න ඕම් හොයාගන්නේ ශාන්තිගේ රුව සහිත විශාල දැන්වීම් පුවරුව….. එතන ඉස්සරහට වෙලා ඕම් ඒ නිදහස් කරන වචන ටික එළියට එන්නේ නිකම්ම නෙවෙයි අපිවත් අපේ හිත අස්සේ හැංඟිලා ගිය ආදරයක් හොයන් ගිහිං හැඟීම් වචන කරන්න හිතට හයියක් එකතු කරමින්… ඒ තරම්ම එතන වචන වලට වඩා හැඟීම් එළියට ආපු, චිත්‍රපටයේ හිතට වැදුන තැනක් වුනා කිව්වොත් මං හිතනවා මං හරි කියලා….

ඊළඟට තිරයේ දිග ඇරෙන්නේ වළාකුළු අතරින් එළිය විහිඳගෙන සඳ පායා එන රාත්‍රියේ උදාවයි… කහපැහැති මෝටර් රථයෙන් බැස ආ රෝස පැහැති ඇඳුමකින් සැරසුණු ඇයගේ ආගමනය ඕම්ගේ හිතට පමණක් නොව අපිටත් සිහින කුමරියකගේ ආගමනයක් වුනා…. ශාන්තිගේ පින්තූරය ඉදිරියේ තමන්ගේ ඒක පාර්ශවික ප්‍රේමයේ භාවයන් මුදා හරින ඕම්ට ඇත්තටම ඇස් ඉස්සරහා ඇයව හමුවන්නේ හීනයක් සැබෑවනකොට අපිටත් ඇති වන හැඟීමද ඒ මොහොතේදීම මතක් කරමින්… අහඹුවක් විදියට ඊළඟට තිරයේ දිග හැරෙන්නේ ඕම්ගේ මවගේ ආශිර්වාද නූලට පැටලෙන ශාන්තිගේ සළු පොට කෙළවරයි.. ඒ අවස්ථාවත් විශේෂයි කියලා හිතෙන්නේ ඒ අවස්ථාව තමයි අත් නොපැටළුණු වචනයක් වත් නොතෙපලපු ඒ හිත්, එකට පැටළුණු අවස්ථාව….. ශාන්තිට ඔහුව අහම්බයෙන් හමුවුන ආගන්තුකයෙක් විතරක් වුනාට ඕම්ට එය ආත්ම ගානක් පෙරුම් පිරු හමුවීමක් කියන්න තරම් ඒ මොහොත හැඟීම් වලින් විතරක් පිරී ඉතිරිලා යන අවස්ථාවක්…..

ඕම් සිය මිතුරා අතින් බෝතල් සම්මානය ලබා ගන්නා අවස්ථාව ශාන්ති වෙනුවෙන් ඕම් දකින සිහිනයට වඩා තමන්ගේ අනාගතය ගැන දකින හීනය ප්‍රබලව අපිට දැනුණ මොහොත කියලා කියන්න පුළුවන්….. “තමන් දෙයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නම් මුළු ලෝකයම ඔයාට ඒ දේ ලබා දෙන්න උදව් කරාවි…පික්චර් අබි බාකි හේ මේරෙ දෝස්”… ඒ මොහොතේ ඒ දෙබස ඇතුලේ මුළු චිත්‍රපටයම ඇතුලත් කරලා තියෙනවා කියලා චිත්‍රපටය බලපු කෙනෙක්ට හොඳටම තේරෙන දෙයක් කියලා මං හිතනවා…

කතාව ඊළඟට ගලාගෙන යන්නේ අවසානය මෙය වුන නම් කියලා හිතෙන තරම් සුන්දර සිදුවීම් සමුදායක් එක්ක… ඕම් ශාන්ති කතා⁣වේ ඇරඹුම සිදුවන්නේ ඕම් තමන්ගේ ජීවිතය පරදුවට තබා කරන කැපකිරීමෙන් පසුවයි..ගින්දරට අසුව සිටින ශාන්ති ⁣බේරාගැනීමට දිව යන ඕම් අපිට මතක් කරන්නේ පැරණි චිත්‍රපට ජවනිකා වල වීරයාට ආරෝපණය කරන අතිශෝක්තියයි…. ඒත් ඒ අතිශොක්තිය මොහොතකට අපිට අමතක කරලා , ඒ රඟපෑම මොහොතකට අපිට අමතක කරලා නළුවා අපිට වීරයෙක් විදියට පෙනෙන්නේ ආදරය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා කරන කැපකිරීම නිසා නෙවෙයිද…. ඒ තමයි ඕම් ශාන්ති කතාවේ ආරම්භය…. තනිතටුවෙන් පියාඹගෙන ආ ඒ ඒකපාර්ශ්වික ආදර කතාව තටු දෙකෙන් පියාඹන්න ගන්නේ බලාපොරොත්තු ගොඩාක් අපේ හිත් ඇතුලෙත් පුරවලා… ඕම් මෙච්චර කාලයක් හිතේ පරිස්සමට අරන් තියපු ඒ ආදරය ඊළඟට එන මොහොතක් පාසා ගිනි කන්දකින් එළියට එන ලාවා වගේ ගලාගෙන එද්දි ශාන්තිගේ ජීවිතයේ සුන්දරම මතකයන් ඒ අතර වේවි කියලා ශානිති හීනයකින්වත් නොසිතන්න ඇති…. ඒ තමයි කාලයක් හිතට විතරක් අයිති හීනයක අයිතිය ලැබෙනකොට ඒ වෙනුවෙන් මුළු ආත්මයම කරන කැපකිරීම…. ඒකයි ඒකපාර්ශ්වික ආදරයක විශේෂත්වය……

ඒත් ඕනවට වඩා හීනවලට අයිතිවාසිකම් කියන්න යනකොට ඒ හීනය බොඳ වෙලා යනකොට හරි බිඳ වැටිලා යනකොට හරි දැනෙන වේදනාවටත් හිත පුරුදු කරලා තියාගන්න වෙන්නේ ඇයි කියලා ඕම් ශාන්ති කතාවේ ඊළඟ පරිච්ඡේදයේදි අපිට තේරෙනවා….. සුවඳ විදින්න පුළුවන් වෙලාවට විඳින්න පුළුවන් වගේම දුගඳක් එන වෙලාවට නහය වහගෙන ඒ දුඟද නොවිඳින්නත් අපිට පුළුවන්…. දිවට රස දෙයක් කනවා වගේම රස නැති දෙයක් නොකා ඉන්නත් පුළුවන්….කැමති දෙයක් අහන්න පුළුවන් වගේම අකමැති නම් කන වහගෙන අහන්නේ නැතුව ඉන්නත් පුළුවන් ….. ඒත් හිතට දැනෙන සතුට දරාගන්න වෙන විදියටම වේදනවාත් ඒ හා එක සමානව දරාගන්න වෙනවා…. ඕම්ගේ වේදනාව අහසේ තියෙන, අහසට අයිති හඳ අයිතිකරගන්න බැරි වුනා කියන එක නෙවෙයි…ඒ හඳ අයිති තරුවක් ඒ අහසෙම තියෙනවා කියලා දැනගත්ත නිසයි…. දුරින් ඉඳන් ආදරේ කරන්න පුළුවන්..ඒත් ඒ ආදරේ වේදනාවකින් කෙළවර වෙන්නත් පුළුවන් වෙන්නේ දුරින් හිටපු නිසාමයි….

බලාපොරොත්තු නැති තරමට කතාව වෙනස් වෙන්නේ ඊළඟට..ශාන්තිගේ එයාගේ අළුත් ජීවිතේ ආරම්භය කියලා හිතපු මොහොත එකපාරම වෙනස් වෙන්නේ නොහිතපු විදියට ගිනිජාලාවක් මැද්දේ තනිවෙලා… මුකේෂ් හිතන්නේ ආදරය ගැනවත් බැඳීමක් ගැනවත් නෙවෙයි… තමන්ගේ තත්වය, බලය, ආසාව ගැනයි… ඒ වගේ හිතකට ආදරය කරපු ප්‍රතිඵලය තමන්ට විඳින්න වෙන විදිය ශාන්ති දැනගන්නකොට ප්‍රමාද වැඩි විතරක් නෙවෙයි, ජීවිත දෙකක් ඒ වන්දිය ගෙවන්න යටත් වෙලා ඉවරයි… ගිනි ජාලාව මැද්දේ තනිවුන ඇය වෙනුවෙන් ආපහු දිව එන ඕම්, කලින් කිව්වා වගේ නළුවා අමතක වෙලා වීරයෙක් මැවෙන මොහොතක් වෙනවා… ඕම් බාධක බිඳගෙන ශාන්ති ළඟට අැවිත් අන්තිමට ශාන්තිගේ ජීවිතය වෙනුවෙන් අත් දිඟු කරනකොට ඒ අත අත ඇරෙන්නේ ජීවිතයේ වැඩියෙන්ම හීන දැකපු පරිස්සම් කරපු ,කවදාවත් අයිති නොවුන ආදරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයක් එ ආදරයෙ නාමයෙන් සටහන් කරමින්…ඕම්-ශාන්ති කිසිදා එක්නොවුන එත් එකට මුමුණන ආදර කතාවේ අවසානය තමයි ඒ…….

“අපේ ජීවිතයත් හරියට චිත්‍රපටයක් වගේ…. හැමදේම හොඳින් අවසන් වෙන අවසානයක් ඒකට තියෙනවා… එහෙම අවසානයක් නැත්නම් ඒක අවසානයක් නෙවෙයි….ඒ කි⁣යන්නේ, චිත්‍රපටය තාම ඉතුරුයි කියන එක”

ඉතිං ඕම් ශාන්ති අවසානය හැපි එන්ඩින් එකක් නෙවෙයි… ඒ කියන්නේ චිත්‍රපටය තාම ඉවර නැහැ කියන එකයි… දැන් පටන් ගන්නේ ඕම්-ශාන්ති-ඕම් කතාවේ ආරම්භයයි…. ඕම් හදවතින්ම පැතූ දෙයක් වෙනවා නම් ඒ ශාන්ති විතරයි…. ඒත් දෛවය හරස් වුන අවසානයක් එක්ක ඕම්ට ආපහු අවස්ථාවක් ලැබෙන්නේ කලින් කිව්වා වගේ හදවතින් පැතු දෙයක් වෙනුවෙන් ලෝකය ලබා දීපු තව අවස්ථාවක් විදියටයි… ඒ අසම්පූර්ණ කතාව සම්පූර්ණ කිරීමේ අවස්ථාවයි දැන් අැවිත් තියෙන්නේ…. ඕම් කපූර්….

චිත්‍රපටයේ එතනින් එහාට ඕම් කපූර් කියන්නේ ඕම් ප්‍රකාශ්ගේ ජීවිතයේ අඩුව පුරවන මඟ හැරුණු තැන් පුරවන චරිතයයි….. තමන් ජීවිත කාලයම හීන දැකපු බලාපොරොත්තු වුන හැමදේම ළඟා කරගන්න දෛවය ඉඩ නොදුන්නත් ඒ වෙනුවෙන් තව ජීවිතයක් ඕම් කපූර් විදියට ⁣ආපහු ලැබිලා තියෙද්දි ශාන්ති ගැන අපිට ඉතිරි කරන්නේ ප්‍රශ්නයක්…. අන්තිමට මුකේෂ් අාපහු අහම්බෙන් ඕම්ට හම්බවෙන්නේ කලින් ආත්මයේ අසම්පූර්ණ වුන ඕම් ප්‍රකාශ්ගේ කතාව ඕම්ට මතක් කරමින්… එතන ඉඳන් ආරම්භ වෙන්නේ ශාන්ති,නැත්තම් ඔහුගේ වුන ඔහුට අයිති නොවුන ආදරය වෙනුවෙන් ඉතිරි වුන යුතුකම් කොටස වෙනුවෙන් ඕම් ගන්න උත්සහය වෙනුවෙනුයි…

අහම්බෙන් වගේ ඕම් කපූර්ගේ ජීවිතයට සැන්ඩි එන්නේ ශාන්තිගේ මතකයන් කියන ගින්නට මැදිවුන ඕම් ප්‍රකා⁣ශ්ගේ අසම්පූර්ණ කතාව සම්පූර්ණ එහෙම නැත්තම් ඕම් ශාන්ති ඕම් කතාව සම්පූර්ණ කිරන්න එන ශාන්ති විදියටයි….

කතාවේ හිතට දැනෙන සංවේදීම අවස්ථාව මේ කතාවේ අවසානය කිව්වොත් නිවැරදි…. ඕම් කපූර් කියන්නේ ඕම් ප්‍රකාශ් කියලා දන්න අපි මුලදී හිතන්නේ සැන්ඩි කියන්නේ ශානිත් ප්‍රියා කියලායි… ඒත් අන්තිමට ශාන්තිගේ ආත්මයට ශාන්තිය අරන් එන්නේ ශානිත්මයි කියන තැන අපේ හැඟීම් පවා කදුළු වලට පෙරළන අවසානයක් වෙනවා….. අවසානය අවසානයක් කියලා පිළි නොගන්න තාක් එ් අවසානය අවසානයක් වෙන්නේ නැහැ… ඕම් ප්‍රකාශ්ගේ අවසානය අවසානයක් වුනත් ශාන්ති ප්‍රියාගේ අවසානය අවසානයක් නොවෙන්නේ තමන්⁣ට වුන අසාධාරණය වෙනුවෙන් දඩුවම් දෙන්න අවුරුදු තිහක් ශාන්ති ප්‍රියාගේ ආත්මයම විදියට ජීවමාන වෙලා හිටපු නිසායි…. ඇය ඉදිරියේ ඇයගේ අවනඩුවට විනිශ්චය ඇය විසින්ම ලබා දීලා, අවසානයේ පිවිතුරු එහෙත් අහිමි වුන ප්‍රේමය ඉදිරියේ නෙතින් වැටෙන කදුළු බිදුව වැටෙන්නට කලින් අැය ඉහළට දිවයන්නේ වසර තිහක් තිස්සේ බලාසිටි අවසානයක නිමාව සටහන් කරමින්…ඕම් ශාන්ති හමුවීමත් වචන නැති හැඟීම් වලින් පිරුණු අවස්ථාවක් වුනා වගේම ඔවුන්ගේ අවසානයත් වචන වලට පෙරළන්න බැරි හැඟීම් වලින් විතරක් පිරුණු අවසානයක් වුනා…

ඕම්-ශානිති-ඕම් කතාවේ අවසානය සිදුවුනේ එ විදියටයි…..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කහ පැහැති මෝටර් රථයෙන් බැස ආ ශාන්තිගේ සුනදරත්වයෙන් වශී වු ඕම්ගේ සිත ඒ නෙත් තුල අතරමං වුනා විතරක් නෙවෙයි ඒ ක්ෂණයේදීම මීට කලින් බොලිවුඩයේ නොදැකපු ඒ රුවට අපිත් එක රැයින් වශී වෙන්න තරම් ඇය සුන්දරත්වයෙන් අනූණ වුණා…. ඇය දීපිකා පදුකෝන්… මේ ඇයගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ සිනමාගමනය සනිටුහන් කල චිත්‍රපටය ගැන මගේ සටහනයි… අද ඔබ බොලිවුඩයට මස්තානි⁣, පද්මාවතී, ලීලා විය හැකියි… නමුත් මට නම් ඔබ එදත් අදත් කවදාත් ඔම්ගේ සිහින කුමරිය ශාන්ති ප්‍රියා වෙයි…. චිත්‍රපටය තාමත් ඉතුරුයි….

Om Shanti Om | Trailer

අනුෂ්ක රසාංජන ද සිල්වා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *