Oldboy (2003) Korean | Sinhala Article

Oldboy (2003) Korean by Kosala D Maduraweera

⭐⭐⭐⭐½ – Well-Crafted Work of Art

බැලූ බැල්මට “ඉතා කුඩා සිදුවීමක්” සේ සැළකිය හැකි සිද්ධියක් වටා මහා දැවැන්ත, පුළුල්ව පැතිරුණු සිදුවීම් ජාලයක් නිර්මාණය වීම සහ ඒ ඔස්සේ “විශිෂ්ට සිනමාපටයක් බිහි වීම” Oldboy (2003) තුළින් දැක ගත හැක.

“ඉතා කුඩා සිදුවීම” යනුවෙන් අදහස් කරන දෑ පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂය. උදාහරණයක් ලෙස, කොණ්ඩය නැති කෙනෙකුට ඔබ විහිළුවට මෙන් තට්ටයා යැයි පැවැසීම ඔබට අනුව “කුඩා දෙයක් වුවද” එය කොණ්ඩය නැති කෙනාට ඇතැම් විට “දරුණු මානසික පීඩාවක් ලැබ දිය හැකි ආකාරයේ සිදුවීමක්” විය හැක. එබැවින් සෑම මොහොතකම ඔබට “කුඩා දෙයක් වන” යමක් තවකෙකුට “විශාල දෙයක්” විය හැකි බව අප අවබෝධ කර ගත යුතුය. Oldboy හී පදනම සහ එයින් ව්‍යුත්පන්න වන මූලික හරය එය ය.

“Be it a stone or a grain of sand, in water they both sink”

අනෙක් වැදගත් කාරණය “අපේ දිව තෙපලන දේ පිළිබඳව අප සැළකිලිමත් වීම” ය. අපේ මුවින් අප පිට කරන එක කුඩා වචනයකට මනුෂ්‍යයෙකුගේ ජීවිතය විනාශ කිරීමේ ගම්‍යතාවක් තිබිය හැක. ඒ පිළිබඳව අඩු වැඩි වශයෙන් ඔබට මට අත්දැකීම් ඇතැයි සිතමි. Oldboy හී “ඉතා කුඩා සිදුවීමට” මුල් වන කාරණාව එය ය

 

“My Sister and I new everything but still loved each other.
Can you two do the same?”

කෙනෙකු වියපත්ව (වයසට යෑම) නැසී යාම පවා අපට මහා වේදනාවකි. එවැනි තත්ත්වයක් උඩ “කෙනෙකු හදිසියේ වියෝ වීම” අපට කෙසේ බලපානු ඇතිද? හදිසියේ යැයි මා සඳහන් කළේ වියපත්ව, මිය පරලොව යෑමට නියමිත කාලයට පෙර, අනතුරකින් හෝ වෙනත් යමක් නිසා නොසිතූ විරූ ලෙස වියෝ වීම ය. Oldboy හී “ඉතා කුඩා සිදුවීම” හරහා ඇතිවන “දරුණු ප්‍රතිඵලය” එය ය. එවැනි වියෝවක් කෙතරම් කල් ගත වුවද ඇතැමෙකුට දරාගත නොහැකි විය හැක. ඒ වියෝව තවකෙකු විසින් හිතාමතා හෝ වැඩි දුර නොසිතා හෝ වක්‍රාකාරව එයට හේතුවක් වෙමින් සිදු වූවක් නම් ඇතැම් විටෙක “අහිමි වීමට ලක් වූ පුද්ගලයා තුළ මහා දැවැන්ත සිත් තැවුලක්, වේදනාවක්, ක්‍රෝධයක් ඇති විය හැක. එවිට ඔහු “ඔහුට අනන්‍ය වන ආකාරයට යුක්තිය ඉල්ලා සිටීමට” පෙළැඹිය හැක. Oldboy හී “ඉතා කුඩා සිදුවීම හරහා පැන නඟින මහා දැවැන්ත සිදුවීම් ජාලය” නිර්මාණය වන්නේ මේ හරහා ය.

Oldboy හී කතාව සහ පිටපත අති විශිෂ්ට ය. සිනමාරූපණය (Cinematography) අතිශය දැකුම්කළු ය. සුපුරුදු පරිදි නළු නිළියන්ගේ රංගනය ඔබව විශ්මයට පත් කරවනු ඇත. චිත්‍රපටය පුරාවට අපට දැක ගන්නට ලැබෙන දර්ශන තල සහ සිදුවීම් අතිශය යථාර්ථවාදී ය. මේ සියලු දේ හරහා ලෝක සිනමාවට සදාකාලික වූත්, විශිෂ්ට වූත් සිනමා නිර්මාණයක් දායාද කිරීමේ ගෞරවය හිමි වෙනුයේ මෙහි අදියුරු “Park Chan-wook” ය.

මා සිනමාව සම්බන්ධයෙන් වන සටහන් තැබීම්වලදී “මැජික් පිරුණු සිනමාව” යනුවෙන් වදන් පෙළක් භාවිතය ගනිමි. ඒ වදන් පෙළ මා ගලපා ගන්නේ “මලයාලම් සිනමාවට” අදාළ ව ය. නමුත් දැන් මා එම වදන් පෙළ “කොරියානු සිනමාවට” අදාළ ව ද භාවිතා කරමි. සැබැවින්ම කොරියානු සිනමාව යනු අතිශය විශිෂ්ට සිනමාවක් ය. ඔබ සිනමාව තුළින් සොයන්නේ කුමන රසයක්ද, එය ඔබට බලාපොරොත්තු වූවාට වඩා වැඩියෙන් කොරියානු සිනමාව තුළින් ලැබේ යැයි මා සිතමි. එන්න, කොරියානු සිනමාව නම් වූ ගඟුලේ කිමිදෙන්න!


.
ප.ලි: Oldboy (2003) තුළින් නිස්සාරණය කර ගන්නා ලද දෙබස් කිහිපයක්,

“Laugh and the world laughs with you. Weep, and you weep alone”

“Your gravest mistake wasn’t failing to find the answer. If you keep asking the wrong questions, you’ll never find the right answer”

“Revenge is good for your health, but pain will find you again”

“Even though I’m worse than a beast, don’t I deserve to live?”

“I thought I’d lived a simple life. But I’ve sinned too much.”

Park Chan-wook
Release dateNovember 21, 2003 (South Korea)
LanguageKorean
Box office$15 million

 

Download
Subtitle Download

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *