October (2018) Hindi | Sinhala Article

October (2018) Hindi by Luckshman Aranvala

86% liked this film Google users

අපි රංගන ශිල්පීන් ව ගුණ අගුණ අනුව වර්ග කරන්නේම අපි ඔවුන්ගෙන් දකින රංගන වින්‍යාසය අනුවයි. ඔවුන්ව යම් රාමුවකට කොටු කර තබන්නේත් ඔවුන්ගෙන් නිතර දෙවේලේ දකින්නට ලැබෙන චරිත නිරූපණයන් එක්කයි. එහෙම බැලුවම වරුන් ධවාන් ව කොහොමත් අපිට තියන්න වෙන්නේ කොමර්ෂල් චිත්‍රපට වලට පමණක්ම ගැලපෙන රංගන ශිල්පියෙක් විදිහටයි. හැබැයි දෙතුන් වතාවක්ම ඔහු රාමුවෙන් පිට පැනපු අවස්ථාවන් තිබුණා. ඒ අතුරින් වඩාත් සාර්ථක වූ අවස්ථාවක් විදිහට මේ චිත්‍රපටය බොහෝ සෙයින් ඇගයීමට ලක්වුණා.

Irritating මනුස්සයෙක් විදිහට නියමම චරිත නිරූපණයක් වරුන්ගෙන් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම කතා බහ කරන ස්වරයෙන් පවා. තරු 5 හේ හෝටලයක පුහුණු සේවකයෙක් විදිහට කටයුතු කරන ඩැනී කියන්නේ කොයි වෙලේත් නිලධාරීන්ගේ උදහසට ලක් වන අයෙක්. කොයි වෙලේත් සේවක සඟයින්ට පවා ඇණයක් වෙන අයෙක්. දැනුමක් තේරුමක් ඇති අයෙක් වගෙත් පෙනෙනවා. නමුත් කරන්නේම හැමෝවම කෝප ගන්වනා දේවල්මයි. සේවයෙන් පහ නොකරන්නේ ඇයිද කියලත් හිතෙන තරමයි. මේ අපූරු චරිත විස්තරයත් එක්ක කතන්දරය එක්වරම වෙනස්ම මානයකට යොමුවෙනවා. ඩැනී ගේ ජීවන චාරිකාවේ උඩුයටිකුරු සංධිස්ථානයක් කියන්නත් පුළුවන්.

කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් සිදු කරන අසීමාන්තික කැපවීමක් ගැනයි මේ කතන්දරය. වඩාත්ම ගැලපෙන වචනය අසාමාන්‍ය කැපවීමක් කියන්නත් පුළුවන්. අපි ඇත්තටම කෙනෙක් වෙනුවෙන් කැප වෙන්නේ ඒ කෙනා අපට වඩාත්ම සමීප අයෙක් නම් පමණයිනේ. පවුලේ කෙනෙක්, හොඳම මිතුරෙක්, පෙම්වතා හෝ පෙම්වතිය විදිහට ඒ සමීපකම් වර්ග කරන්න පුළුවන්. නමුත් ඩැනී සහ ශිව්ලි අතර තිබ්බෙ කොහොම සමීපකමක්ද? ඒක තමයි කතන්දරයේ ලස්සනම කොටස. සාමාන්‍යයෙන් ඩැනී වගේ කරදරකාරයෙක්ව අතේ දුරින් ආශ්‍රය කරන එකමයි හොඳ. අවශ්‍යතාවයකටම පමණක් කතා බහ කරල ඉන්න එකයි ඇඟට ගුණ. ඒ නිසාම ඩැනීට කවදාකවත්ම සමීප මිතුරන් හිටියේ නෑ. ඒ හැමෝම සේවක සඟයින්ම විතරයි. මේ කාරණාව සහ අසාමාන්‍ය කැපවීම කියන අන්ත දෙක අතර පවතින නොගැලපීම හරි අපූරුවට මේ කතන්දරයට ගලපගෙන තිබෙන හැටි දකින්නට පුළුවන්.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Piku, Madras Cafe, Vicky Donor වැනි වඩාත් කතාබහට ලක් වූ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂකවරයෙක් වන Shoojit Sircar විසිනුයි. චරිත විස්තරය අනුව වඩාත් ගැලපෙන්නේ නම් Ayushman Khurrana වගේ රංගන ශිල්පියෙක් තමයි. නමුත් වරුන් ධවාන් විසින් මේ අමුතුපහේ චරිතය වෙනුවෙන් වඩාත් සාධාරණ සහයක් ලබා දෙන්නට සමත් වී තිබෙනවා. චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන හොඳම දේත් ඒකම තමයි. 64 වන ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී හොඳම රංගන ශිල්පියා (විචාරක) සම්මානය වෙනුවෙන් නිර්දේශිත නාම අතරට එක් වන්නටත් හැකිවුණා. චිත්‍රපටය නිකුත් වීමෙන් පසුව කොපිරයිට්ස් චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. මරාති චිත්‍රපටයක් වන Aarti – The Unknown Love Story (2017) චිත්‍රපටයට බොහෝ සමානකම් ඇති බවත් මේ චෝදනාව සමාලෝචනය කළ ඉන්දීය තිරරචකයින්ගේ සංගමයට සොයාගන්නට හැකිවුණා. නමුත් October නිර්මාණය කර තිබෙන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් වාර්තා ආභාශයට ගනිමිනුයි. ඒ වගේම එවන් සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ හැකි ඕනෑම නිර්මාණ කටයුත්තක් තුළ මෙවන් සමානතා අනිවාර්යයෙන්ම අඩංගු විය හැකි බැවිනුත් ඒවා කොපිරයිට්ස් නීතියකට යටත් නොවන බැවිනුත් October වෙත එල්ල වූ චෝදනාවන් පසුව නිෂ්ප්‍රභා කරන්නට සිදුව තිබෙනවා.

Shoojit Sircar
Release dateApril 13, 2018 (India)

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *