O2 (2022) Tamil by Janidu Raajakaruna
කාන්තාවකට පැළැඳිය හැකි වටිනා ම ආභරණය මාතෘත්වය නැමැති ඔටුන්න යි !!
‘Oxygen’ – දමිළ චිත්රපටය
Disaster – Thriller ශානරයේ දමිළ චිත්රපට බිහිවීම විරලයි. ඒ හිඩැස ‘Oxygen’ දමිළ චිත්රපටය විසින් පුරවා දමාවි. වරෙක පෙම්වතියක ලෙසින් ද, වරෙක බිරිඳක ලෙසින් ද, වරෙක පොලිස් නිලධාරිණියක ලෙසින් ද, තවත් වරෙක දේශපාලයේ නියැලෙන කාන්තාවක ලෙසින් ද, තවත් වරෙක සොහොයුරිය ක් ලෙසින් ද, විවිධ චරිත නිරූපණය කරමින් එකී නිර්මාණයන්හි සුක්කානම හසුරවමින් ප්රේක්ෂකයා ගේ ආදරයට පාත්ර වූ දමිළ සිනමා නිළි Nayanthara මෙම නිර්මාණය තුලින් මවක ගේ චරිතය ක් නිරූපණය කරනු ලබනවා. මවකගේ ධෛර්යය, ආදරය, තැනට සුදුසු නුවණ ශපථ කරමින් සිය එකම දරුවා ගේ ජීවිතය වෙනුවෙන් ඇය තමන් හට කළ හැකි සෑම දෙයක්ම කිරීමට තත්පරයක් වත් පසුබට නොවන්නීය.
කොරෝනා වසංගතය හේතුවෙන් මුළු මහත් ලෝකය ම බැට කෑ කාල සීමාවේ සායනික කටයුතු සඳහා ඔක්සිජන් ටැංකි වල ඇති වැදගත්කම ඉංදියාව තේරුම් ගත්තා. එහි ප්රතිඵලයක් ලෙසයි මේ චිත්රපටය බිහි වන්නේ. චිත්රපට අධ්යක්ෂක වරයෙකු වන Barath Neelakantan මෙහි රංගනයෙන් දායක වෙමින් සිය ප්රථම රංගනය (පොලිස් නිලධාරියා ගේ චරිතය) මේ චිත්රපටය යටතේ සටහන් කිරීමට සමත් වෙනවා. ස්වභාව ධර්මය ට ඉමහත් ලෙස ආදරය කරන G.S. Viknesh ගේ කුලුඳුල් සිනමා අධ්යක්ෂණය ත්, කුඩා දරුවාගේ චරිතය නිරූපණය කරනු ලබන Ritvick ගේ පළමු චිත්රපටය ත් මෙම නිර්මාණය යි.
චිත්රපටයේ ධාවන කාලය පැය 2කට ආසන්නයි. Thriller ශානරයේ නිර්මාණය ක් එවන් ධාවන කාලයකින් යුක්ත වීම ධනාත්මක යි. ධාවන කාලය පැය 2 ක් ඉක්මවා ගියේ නම් ප්රේක්ෂකයා ගේ මනස එකම ස්ථානයක කොටුකර තබා ගැනීම මඳක් අසීරු වනු ඇතැයි විශ්වාස කරමි. ඇතැම් විට එය ප්රේක්ෂකයා හට වෙහෙසකාරී අත්දැකීමක් විය හැකි නිසාවෙන් නිර්මාණකරුවන් එබඳු තීරණයකට එළඹෙන්න ට ඇත.
මිනිසා විසින් ස්වභාව ධර්මය ට කෙතරම් කෙනෙහිලිකම් කරනවා ද ? මේ සියල්ල මහී මාතාව කොපමණ කාලයක් ඇස් කන් පියා බලා සිටියි ද ? කොතරම් කාලයක් ඉවසා වදාරයි ද ? මවක් සිය දරුවා ගේ ආරක්ෂාව වෙනුවෙන් කෙතරම් දැඩි තීරණය ගැනීමට කටයුතු කරයි ද එපරිද්දෙන් ම මහී මාතාව ද කටයුතු කරනු ඇත. මනුෂ්ය වර්ගයාගේ ජීවිතය පවත්වාගැනීම පිණිස අත්යවශ්ය වන අංගයක් ලෙස ඔක්සිජන් වායුව නම් කිරීම ට අපට අවිවාදයෙන් තොරව හැකිවේ. අප සිරුරේ සිදුවන ජෛව රසායනික හා පරිවෘත්තීය ක්රියාවලින් 90% කට පමණ ඔක්සිජන් වායුව අත්යවශ්ය වේ. එබැවින් ඔක්සිජන් වායුව නොමැති වූවා නම් කුමක් සිදුවේ ද යන්න ඔබ මොහොතකට සිතා බලන්න. කථාව තුළින් අප හට ස්වභාව ධර්මයේ වටිනාතම ත්යාග අතරින් ඔක්සිජන් වායුවේ වැදගත්කම අවධාරණය කරනවා පමණක් නොව දරුවන් කෙරෙහි මවක් දක්වන අසීමිත වන ස්නේහය කියා පානවා.
පොඩි දරුවෙක් බලා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා. ඔයාලගේ කාලය වැය කරන්න වෙනවා. ඒ දරුවා ඔයාගේ ම ජීවිතයේ කොටසක් කරගන්න වෙනවා. ඒ දරුවා ඔයාගේ ම සිරුරෙන් බිහිවුණේ. දැන් ඒ දරුවා ගැන හැම තිස්සෙම කල්පනාවෙන් ඔයාට ඉන්න වෙනවා. නිරන්තරයෙන් රහස් පරීක්ෂකයෙකු ගේ උකුසු ඇසත්, හොඳින් ශබ්ද ඇසෙන සුනඛයෙකු ගේ කණත් ඔබට අවශ්ය වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි ඔයාගේ දරුවා ගැන හැම මොහොතකම විමසිල්ලෙන් ඉන්න. කථාවේ ආරම්භයේ සිටම මාතෘත්වය නම් ඔටුන්න පැළැඳ ගන්නා ඇය කථාව පුරාවටම එය සිය හිස මත තබාගන්නීය. මොහොතකට වත් එය නැවත බිම තැබීමට ඇය නොසිතන්නීය. තමන් පැළැඳි මාතෘත්වය නම් ඔටුන්න ඇයගේ දරුවා හට ඇති එකම රැකවරණය යි.
එකමුතුකම ප්රශ්නාර්ථයක් වී සියලුම දෙනා ම තම ජීවිතය පිළිබඳ ව පමණක් ආත්මාර්ථකාමී වන විට මවකට එසේ කළ නොහැකි ය. ඇය සිය දරුවා ගේ ජීවිතය සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කරගැනීමට ඉටා ගන්නේ තමන් ඉදිරියට පැමිණෙන ඕනෑම අයෙකු විනාශ කර දැමීමේ අරමුණින් ය.
චිත්රපටය බලපු අයගෙන් චිත්රපටය ගැන ඔබේ අදහස දක්වන්න කියා ඉල්ලා සිටිමි.