Njan Prakashan (2018) Malayalam | Sinhala Article

Njan Prakashan (2018) Malayalam

94% liked this film Google users
Comedy/Drama ‧ 2h 11m

 

ෆහද් ෆාසිල් ගෙ චිත්‍රපට වලින් ප්‍රියතම චිත්‍රපටයක් වනවාට සැකයක් නැහැ. සාමාන්‍යයෙන් ෆහද් කියන්නෙ රාමුවකට කොටුවෙන රංගන ශිල්පියෙක් නෙමේ. නමුත් මේ වගේ රාමුවකට කොටු කරන්නට වඩාත් ඔබින ශිල්පියා නම් මෙයාම තමයි කියල හිතෙයි. ප්‍රකාශන් කියන අපූරු චරිත විස්තරයට බාහිර ස්වරූපයේ ඉඳන් හැඟීම් ප්‍රකාශනය ඇතුළු සමස්ත රංගන වින්‍යාසයම අපූරුවට ගැලපෙනවා. PRAKASHAN P.R. AKASH බවට පත් කරගන්න හැටි සහ ඒ ඇතුළේ ඔහුගේ හැසිරීම මවන්නෙ උපරිම හාස්‍යයක්. හාස්‍යය ඇතුළෙන් එවන් අවසානයක් නම් බලාපොරොත්තු වෙන්නම බෑ. ඒ හින්දම ඉතින් බලන කෙනෙක්ට අවසානයේදී බලපු හොඳම චිත්‍රපටයක් කියන තැන නතර වෙන්නම වෙනවා.

ප්‍රකාශන් හෙවත් පී.ආර්. ආකාශ් කියන්නෙ නොම්මර එකේ කපටියෙක්… නම් නෙමෙයි. ආත්මාර්ථකාමියෙක්? කරදරකාරයෙක්? පරිස්සමට අතේ දුරින් ආශ්‍රය කරන්න ඕන කෙනෙක්? ඔය වගේ නෙගටිව් ලක්ෂණ තමයි ආකාශ් සම්බන්ධයෙන් බාහිරට නිරාවරණය වෙන්නේ. ඒ අනුව ආකාශ් නිසා අනික් අයට විඳින්නට වෙන විවිධාකාරයේ කරදර ගැන අනුමාන කරන්න පුළුවන්. නමුත් කතන්දරය ගලාගෙන යන්නේ පෙරළා ආකාශ් ට පෙරළෙන බාල්දි ගැනයි. කලිනුත් සඳහන් කළා වගේ සියල්ලක්ම හාස්‍යයෙන් අනූනයි. “මූ නම් කවදාවත් හැදෙන්නෙ නැති, හදන්න බැරි එකෙක්” කියන එක තමයි නරඹන්නාටත් ඒ ඔස්සේ දැනෙන්නේ.

එතකොට ආකාශ් මට්ටු වෙන්නෙම නැතිවෙයිද? ආකාශ් ව මට්ටු කරන්න පුළුවන් කෙනෙක් කතන්දරයට අවතීර්ණ වෙයිද? ආකාශ් මෙල්ල වෙන අන්දමේ තීරණාත්මක සිදුවීමක් සිද්ධ වෙයිද? යන ප්‍රශ්නත් නරඹන අතරේම ඇතිවන ඒවා. මොකද සමස්ත චිත්‍රපටයම ආකාශ් නම් කපටියා පිටින්ම ගොඩ යන එකත් ඒකාකාරී වන නිසා. අන්න ඒ කාරණය සම්බන්ධයෙන් කතන්දරය හොඳ සමබර ඉසව්වකට ගෙන එන්නට රචකයාට හැකි වී තිබෙනවා. රචකයා ශ්‍රීනිවාසනුත් මෙහි අපූරු චරියක් නිරූපණය කරනවා ගෝපාල් ජී ලෙසින්. ඒ ඔස්සේ නොසිතූ නොවිරූ වාතාවරණයකට ආකාශ්ටත් නරඹන්නාටත් මුහුණ දෙන්නට වෙනවා. වින්දනාත්මක අගය උපරිමයෙන්ම විඳි චිත්‍රපටය හදවතට වඩාත් සමිප කරවන එකක් බවට පත් වෙනවා. ෆහද් ෆාසිල් නම් සුවිශේෂී රංගන ශිල්පියාට තව තවත් ආකර්ෂණය වෙනවා.

*****************************************************

Directed by : Sathyan Anthikad
Written by : Sreenivasan
Produced by : Sethu Mannarkad
Starring : Fahadh Faasil, Sreenivasan, Nikhila Vimal
Cinematography : S. Kumar
Music by ; Shaan Rahman
Country: India
Language : Malayalam

Sreenivasan

 

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *