Nitram (2021) English | Sinhala Article

Nitram (2021) English by Hirusha Kasun

උභතෝකෝටිකයක සිට ඝාතකයෙකු කියවීම.. !!

Nitram කියන්නෙ චරිතාපදානයක් නොසැදිය යුත්තෙක් වෙනුවෙන් සෑදුන විශිෂ්ට චරිතාපදානයක්. මම හිතන්නෙ මේක එහෙම හදුන්වන එක තමා උචිතම. මොකද නිට්‍රම් චරිතය ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුල හදුනගන්නට ලැබෙන කුරිරුම චරිතයක් . 1996 වසරේ ටස්මේනියා හී සිදුවන සමූල ඝාතනය ඕස්ට්‍රේලියානුවන්ට තරමක් ආගන්තුක වගේම බියකරු සිදුවීමක් උනා. ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු කිසිදු වග විභාගයකින් තොරව ඇස ගැටෙන ගැටෙන සියල්ලන්ටම පතොරම් වලින් සංග්‍රහ කරන්නට වුනා. සැලකිය යුතු පිරිසක් ඝාතනය උනා. සැලකිය යුතු පිරිසක් තුවාල ලැබුවා. මේ තරුණයා නිට්‍රම් . නිට්‍රම් ඇය් මෙහෙම හැසිරෙන්නෙ නිට්‍රම් චිත්‍රපටය ඒ පිළිබඳව

මම හැමදාම විශ්වාස කරන කාරණයක් තමා මිනිස්සු ගෙන හරියටම දැන ගෙන සතා මොකාද කියලා කියන්න නම් අනිවාර්යයෙන්ම ඒ මනුස්සයව ළගින් අධ්‍යනය කල යුතුමය් කියන කතාව. නිට්‍රම් චිත්‍රපටය අපිට නිට්‍රම් චරිතය ළගින් ඇසුරු කරන්නට අවශ්‍ය අවකාශ සලසා දෙනවා. අපිට තියෙන්නෙ මේ චරිතේ කියවන්න. දඩබ්බර නිට්‍රම් ඝාතකයෙක් උන විදිහ කියවන්න. නිට්‍රම් චිත්‍රපටයට මම ආදරය කරන හේතුවක් තමා හැමෝම වගේ සමූල ඝාතනයක් නැවත ප්‍රතිනිර්මාණය කරලා ඝාතකයාට පුහු වීරත්වයක් ආරෝපණය කරන්න උත්සාහ නොදැරීම. ඝාතකයො කවදාවත් වීරයො නෙවෙයි . හැබැයි ඒ ඝාතකයා ඝාතකයෙක් වෙන්න කලින් ඔහුගේ වටපිටාව , ඔහුගේ ක්‍රියාකලාපය වගේම ඔහුගේ මනෝභාවය කියවීම සැබවින්ම අධ්‍යාපනයක් . නිකන්ම අධ්‍යාපනයක් නෙවෙයි සමාජ අධ්‍යාපනයක් . නිට්‍රම් තුලින් ප්‍රතිනිර්මාණය කරන්නෙ ඒ නිට්‍රම් කියන තරුණයාගේ ජීවිත තත්වය හා හැසිරීම් විනා නිට්‍රම් කියන කුරිරු අනක් ගුණක් නැති ඝාතකයා නෙවෙයි . ඒ හන්දමය් නිට්‍රම් චිත්‍රපටය විශිෂ්ටය් කියන ලෙවල් එකෙන් අපිට කැත නැතුව තියන්න පුලුවන් .

නිට්‍රම් චිත්‍රපටය ඇතුලෙ නිට්‍රම් කියන චරිතය නිර්මාණය කරන්නෙ උභතෝකෝටික සීමාවක ඉදලා. නිර්මාණකරුවන් කිසි විටක නිට්‍රම් චරිතයට ” මූ මෙහෙම චරිතයක් උබත් එහෙම හිතන් බලපන් ” කියලා චරිත සහතික නිකුත් කිරීමක් කරන්නෙ නැහැ. ඒ වෙනුවට ඔවුන් අපිට නිට්‍රම් චරිතය දීලා කියනවා මූ කවුද , ඇය් මෙහෙම ඝාතකයෙක් උනේ කියන කාරණාව උබලම නිනව් කරගනිල්ලා කියලා. හැබැයි අපිට කොය් වෙලේකවත් නිට්‍රම් චරිතය ජඩ්ජ් කරන්න බෑ. ප්‍රෙඩික්ට් කරන්න බෑ. මිනිහෙක් කොහොමද තවත් මිනිහෙක් ජඩ්ජ් කරන්නෙ , මිනිහෙක් කොහොමද තවත් මිනිහෙක් ප්‍රෙඩික්ට් කරන්නෙ මේ දෙකම කරන්න බැරි වැඩ. ඉතින් අපි නිරායාසයෙන්ම නිර්මාණකරුවන් නිර්මාණය කරන උභතෝකෝටිකයේම රැදෙනවා. නිට්‍රම් චිත්‍රපටය රියල්ස්ටික් කියන තැනින් උස්සලා තියන්න පුලුවන් ඒ නිසා . කැරක්ටර් එක A to Z නිර්මාණය කරනවා. ඔහුගේ වටපිටාව , ඔහුගේ ඉච්ඡවන් , ඔහුගේ ප්‍රියයන් , ඔහුගේ අහිමිවීම් , සමාජය තුල ඔහු සොයන නමුත් හිමිවන ස්වයං ඇගයිම වගේම සමාජයෙන් ඔහු බලාපොරොත්තු වන ගරුත්වය , අවධානය , ඇගයීම ඔහු අන්තිම මොහොත වෙනකල් හොයන විදිහ චිත්‍රපටය ඇතුලෙ ඒ ටු ඉසෙඩ් නිර්මාණය වෙනවා . නිට්‍රම් චරිතය හරියට අල්ලපු ගෙදර එකාව කියවනවා වගේ සමීප වෙලා කියවන්න , තේරුම් ගන්න උත්සාහ කරන්න අවකාශ සැලසෙන්නෙ එහෙම

නමුත් මනුස්සයෙක් සුදුද කළුද , අහිංසකද ,කුරිරුද කියන කාරණාව නිත්‍ය වශයෙන්ම මේකය් කියලා කියන්න පුලුවන් කමක් නැහැ. සමාජය පැත්තෙන් ඒ චරිතය දිහා බැලුවම ඔහු කුරිරු උනාට ඔහුගේ කෝණයෙන් නිට්‍රම් කියන්නෙ කරන කියන දේ ගෙන නිසි තක්සේරුවක් නොමැති එක්තරා ආකාරයක අහිංසකයෙක්. අහිංසක අංගුලිමාල උනාට සමූල ඝාතකයෙක්ට අහිංසකය් කියන එක මොනතරම් දුරට ප්‍රායෝගිකද . ඒකමය් නිට්‍රම් උභතෝකෝටිකයක් වෙන්නෙ. ඒ හන්දම අපිට සිද්ධවෙනවා නිට්‍රම් කියන චරිතෙට අළු ආරෝපණයක් දෙන්න. මොකද මේ සමාජේ කවුරුත් කලු හෝ සුදු නැති බව අප අත්දැකීමෙන්ම දන්න නිසා .

Psychological Drama එකක් විදිහට නිට්‍රම් ඉස්සරහට යද්දි නිට්‍රම් සමාජය ඇතුලේ වගේම නිට්‍රම් ඇතුලෙ ගෙවන හුදකලා , පීඩිත , සමාජය ඇතුලෙ ගෞරවය , ඇගයීම හොයන මානසිකව අසරණ නිට්‍රම්ව අපට හමුවෙනවා. ඔහුට නිනව්වක් නෑ ඔහු ගෙන . ඔහු හොයන්නෙ සමාජය ඇතුලෙ ඔහුට හිමි විය යුතු අවධානය , ගෞරවය . නිට්‍රම් ඒ වෙනුවෙන් ඔහුගේ මට්ටමට කල හැකි සියල්ල කරනවා. නමුත් ඇනුම් බැනුම් විනා ඔහුට හමුවන ගෞරවයක් නැහැ. ඔහුට යම් කාලෙක ඔහු සෙවු ගෞරවය , ඇගයීම , අවධානය ලැබෙනවා. නමුත් ඔහුට වරෙක ඒ සියල්ල අහිමිව තනිවනවා නිට්‍රම් තුල වියරුව , සමාජ ප්‍රතිරෝධක ආකල්ප වලට ඉඩහසර වෙන් වෙන්නෙ ඒ රික්තකය නිසා

නිට්‍රම් චිත්‍රපටය ඕස්ට්‍රේලියානු චිත්‍රපට නිර්මාණකරු Justin Kurzel ගේ අධ්‍යක්ෂණයක් . චිත්‍රපටය පුරාවටම නිට්‍රම් ලෙස Caleb Landry Jones ගේ රංගනය කැපී පේනවා. චිත්‍රපටය ඇතුලේ ප්‍රබල සාධකය වඩ වඩාත් තීව්‍ර කරන්නෙ ඔහු. ඉතින් ඔහු මේ චරිතය වෙනුවෙන් සම්මානනීය වීම පුදුමයට කාරණාවක් නොවෙය්

ඕනම මනුස්සයෙක් සමාජය ඇතුලෙ බලාපොරොත්තු වෙන්නෙ ගරුත්වය වගේම ඇගයීම. ඒක එහෙම නෑ කියල කාටවත් කියන්න බැහැ. නිට්‍රම් බලාපොරොත්තු වෙන්නෙත් ඒක. නිට්‍රම්ට එය විටක ලැබෙනවා . ඔහුට ගරුකරන්නට අගය කරන්නන්ට නිට්‍රම් ආදරය කරනවා. නමුත් විටක නිට්‍රම්ට ඒ සියල්ල අහිමි වනවා. ඔහු වියරු වෙනවා . නිට්‍රම් සමාජ ප්‍රතිරෝධකයෙක් බවට පරිවර්තනය වනවා. අවසන ඒ අදුරු ප්‍රතිපලය භුක්ති විදීමට ඔහු ගෙන කිසිවක් නොදන්නා , ඔහුට ආගන්තුක සමාජයකට සිදුවීම සැබැවින්ම දෛවෝපගතය්.

හිරුෂ කසුන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *