Never Look Away (2018) German | Sinhala Article

Never Look Away (2018) German by Ramitha Vimukthi

91% liked this film Google users

? Spoiler Alert!

යුද්ධයක්, කලාවක් සහ ප්‍රේමයක්!

Florian Henckel Von Donnersmarck විසින් අධ්‍යක්ෂණය කළ මෙය, මා නරඹපු පළමු ජර්මානු චිත්‍රපටයයි. මෙය නරඹා දින කිහිපයක් ගත වූවත් ඇතැම් දර්ශනයන් හිතින් අමතක කළ නොහැකි තරමට ප්‍රභලයි. මෙය විටෙක: යුද්ධයක භයානක සහ අඳුරු පැතිකඩ පෙන්නුම් කරන ඛේදාන්තයක්, යුද්ධයක පසු සෙවනැලි ඇති සමාජයක කලාකරුවෙකුගේ අරගලයක් සහ අන්තවාදී අදහස් රැසක් අතරින් දිව යන සුන්දර ප්‍රේම කවියක්. හෝරා තුනක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ ඉහත සඳහන් කළ පැතිකඩවල් ඉතා සමබරව අධ්‍යනය කිරීමට අධ්‍යක්ෂක සමත්වී තිබෙනවා. මෙහි කලාකරුවා වන්නේ දරුණු යුධ සමාජ පසුබිමක තම ස්ථාවරත්වය පවත්වා ගැනීමට වෙර දරණ චිත්‍ර ශිල්පියෙක්. සැබෑ මනුෂ්‍යත්වයටද පැවැත්මක් නැති යුධ පසුබිමක කලාකරුවා සහ කලාවේ පැවැත්ම සිදුවූයේ කෙලසද?.

චිත්‍රපටයේ ආරම්භ වන්නේ කර්ට් නම් කුඩා දරුවෙක් තම නැන්දනියත් සමග චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට යාමයි. එහිදී මෙම කුඩා දරුවා Girl with Blue Hair නම් මොඩර්නිස්ට් ප්‍රතිමාවක් දැක අමන්දානන්දයට පත් වනවා. මෙම කාල සීමාව තුල දෙවන ලෝක යුද්ධය සහ නාසී පාලනය යටතේ ජර්මනිය යටත්ව සිටින යුගයක්.එහිදී කලාකරුවාට බොහෝ සෙයින් මෙම යුගය තුල සීමා මායිම් පනවපු ආකාරය, මෙහි මුල් දර්ශනයේම ඇතුලත් වනවා. යුද්ධයක් යනු කෙතරම් දරුණු දෙයක්ද යන කාරණය ඉස්මතු කරන්නේ කර්ට්ගේ තරුණ නැන්දනියට අත්වන ඉරණමින්. කර්ට්ගේ නැන්දනිය වන එලිසබෙත් දිනක් නිරුවත්ව තම නිවසේ තිබෙන පියානෝව වාදනය කරනවා. ඇය එය වාදනය කරන්නේ හිට්ලර්ට ප්‍රසංගයක් පවත්වනවා ලෙස සඳහන් කරමින්. එහි අවසානයේ ඇය ඔහුට පවසනනවා “Never look away because everything that is true holds beauty in it “. කර්ට්ගේ පවුලේ උදවිය ඇයව මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා ඔවුන් නිගමනය කරන්නේ ඇයට Schizophrenia නම් තත්වය ඇති බවය. ඇයව නිවසින් මානසික රෝහලට රැගෙන යන අවස්ථාව, කර්ට් ඇයව දකින අවසාන වතාවයි. නැසි පාලන සමයේ ඔවුන් විවිද අභාදයන් සහ මානසික රෝග වලින් පෙළුණු පුද්ගලයින් මරා දැමුවා. කර්ට්ගේ නැන්දනිය වන එලිසබෙත්ටද අත්වන්නේ මෙම ඛේදනීය ඉරණමයි.

කර්ට් තරුණවියට පැමිණෙනවා සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයටද අවතීර්ණ වනවා. යුද්ධය අවසන් වූවත් එහි අඳුරු සෙවනැලි තවමත් සමාජය ඇතුලත අහුමුල් වශයෙන් තිබෙනවා.කර්ට් කුඩා කළ පටන් හීන දැකපු චිත්‍ර ශිල්පය හැදෑරීමට අවස්ථාවක් හිමි වනවා. නමුත් කර්ට් වෙත හැදෑරීමට සිදු වන්නේ ඔහු බලාපොරොත්තු වූ චිත්‍ර ශෛලය නොව. ඒ අනුව Socialist realism නම් ශෛලය ඔහුට අකමැත්තෙන් හැදෑරීමට සිදු වන්නේ, එම සමාජ වට පිටාව අනුමත කරන එකම ශෛලය එය නිසාවෙන්. විශ්ව විද්‍යාලය තුල කර්ට් එලිසබෙත් (නොහොත් එලී) නම් ශිෂ්‍යාවක් සමග ප්‍රේම සම්බන්දයක් පවත්වනවා. එලිසබෙත් විලාසිතා නිර්මාණකරණය පිලිබඳ හැදෑරීමක් ලබන සිසුවියක් සහ කාර්ල් සීබෑන්ඩ් නම් මහාචාර්යවරයෙකුගේ දියණියක්. කාර්ල් සීබෑන්ඩ් තම දියණියගේ පෙම්වතාව අනුමත කරන්නේ නැත. ඊට ප්‍රධාන හේතුවක් වශයෙන් ඔවුන් අතර තිබෙන පන්ති බේදයයි. සීබෑන්ඩ් තම දියණියගේ ප්‍රේම සම්බන්දය කඩා කප්පල් කිරීමට නිහඬ උපායන් යොදවනවා. ඒ කෙසේ නමුත් සෑම අභියෝගයක් හරහා කර්ට් සහ එලිසබෙත්ගේ සම්බන්දය ප්‍රභල වනවා. නමුත් සීබෑන්ඩ් යනු නාසී අතීතයක් සහ බරපතල අපරාධයකටද සම්බන්ද වූ පුද්ගලයෙක්. මෙම අපරාධය කර්ට්ගේ ජීවිතයටද සම්බන්ද වන දෙයක්. නමුත් කර්ට්, එලිසබෙත් සහ කාර්ල් එකිනෙකා කෙරෙහි ඇති මෙම සැඟවුණු රහස පිලිබඳ වගක් නැත. එය හෙළිදරව් වේවිද? කර්ට් සහ එලිසබෙත්ගේ සම්බන්දයට කුමක් සිදුවේවිද? යන පැණයන්ට පිළිතුරු දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමයි.

යුද්ධයක් නිමා වූ පමණින් එහි භයානක අහුමුල් ලේසියෙන් මැකී යන්නේ නැත. Never Look Away චිත්‍රපටය තුල මෙය සම්බන්දව ප්‍රභල අර්ථකතනයක් ලබා දෙනවා. යුද්ධයක සිදුවිය හැකි බරපතල ගණයේ අපරාධයන් සේම එය සමාජය වෙත කළ හැකි බලපෑම සුළුපටු දෙයක් නොව. යුද්ධයක් අවසන් වූවත් එයට මුල් බැසුණු සමාජ දේශපාලනික මතවාදයන්, අඩු වැඩි වශයෙන් සමාජය තුල විසිරී ගොස් ඇත. මෙහි කර්ට්ගේ චරිතයටද මුහුණපෑමට සිදුවන්නේ මෙයයි. ඔහු තමා සමග හඳුනා නොගන්නා සමාජ දේශපාලනික මතවාදයන්ට තම ශිල්පය ඉදිරිපත් කිරීමට සිදු වනවා. එම නිසා චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ඔහුට තම සැබෑ අනන්‍යතාවය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් ගොඩ නැගෙනවා. විශේෂයෙන්ම ප්‍රකාශන අයිතීන් වෙනුවෙන් සීමා මායිම් ඇති කාල සීමාවන් තුල මෙය තවත් අපහසු කාර්යක් වනවා. එවැනි වාතාවරණයන් තුලදී කලාකරුවෙකුට වෙනත්ම ආරයක අරගලයක නියැලීමට සිදුවනවා. මෙවැනි කාල වකවානුවක් තුල කලාකරුවෙකුගේ සැබෑ ජීවන අරගලයක් මෙම චිත්‍රපටය හරහා ඉදිරිපත් කරනවා. තවද ප්‍රභල මානුෂීය බැඳීම්/ප්‍රේමය, ලෙහෙසියෙන් බිඳ දැමිය නොහැක. කර්ට් සහ එලිසබෙත්ගේ බැඳීම සහ එකිනෙකා කෙරෙහි ඇති වටහා ගැනීම, ප්‍රේමයට ලබා දුන් ප්‍රභලම අර්ථකතනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

රංගනයන් අතරින් කර්ට්ගේ චරිතය රඟ දැක්වූ Tom Schilling, එලිසබෙත්ගේ චරිතය රඟ දැක්වූ Paula Beer සහ සීබෑන්ඩ්ගේ චරිතය රඟ දැක්වූ Sebastian Koch, ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා. Caleb Deschanel ගේ සිනමාකරණය චිත්‍රපටයේ ඇති කලාත්මක බව මෙන්ම යුද්ධ පසුබිම පෙන්නුම් කිරීමට ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා. Max Ritcher ගේ සංගීත අධ්‍යක්ෂණයද චිත්‍රපටයේ කැපී පෙනුණ අංගයක්. Never Look Away යනු ප්‍රධාන පෙලේ සම්මාන උළෙලවල් කිහිපයකම නිර්දේශ නාම ලැබූ චිත්‍රපටයක්. ඉන් කිහිපයක් වන්නේ : වෙනීස් චිත්‍රපට උළෙලේ Golden Lion සම්මානය, Academy Awards හි හොඳම විදේශ චිත්‍රපටය/ හොඳම සිනමාකරණය සහ Golden Globe Awards හි හොඳම විදේශ චිත්‍රපටය යන සම්මාන පෙළයි.

මෙය ඔබ අත්විඳිය යුතුම සිනමා නිර්මාණයක්.

Florian Henckel
Release dateOctober 3, 2018 (Germany)

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *