Navarasa (2021) Tamil
Spoiler Alert!
Navarasa යන යෙදුම පැමිණෙන්නේ ඉන්දීය නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර කරන හැඟීම් නවය හමුවේ. Navarasa නම් එම හැඟීම් නවය වන්නේ : Karuna – Compassion , Haasya – Laugh, Adbhutha – Wonder, Bibhatsa – Disgust, Shaantha – Peace, Raudra – Anger, Bhayaanaka – Fear, Veera – Valour සහ Shringaara – Romance. නාට්‍ය ශාස්ත්‍රයේ මෙම හැඟීම් පාධක කර ගෙන අධ්‍යක්ෂකවරුන් නවදෙනෙකුගේ දායකත්වයෙන් කෙටි චිත්‍රපට නවයක් Navarasa හරහා ඉදිරිපත් කරනවා. Netflix හරහා විකාශනය වන මෙම කෙටි චිත්‍රපට මාලාවට නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මනී රත්නම් සහ ජයේන්ද්‍ර පංචපකේසන්. මෙම කතා මාලාව පිටුපස තිබෙන්නේ චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් සිදු කරන සමාජ සත්කාරයක්. එම සමාජ සත්කාරය වන්නේ, චිත්‍රපට කර්මාන්තය තුල කොරෝනා උවදුරින් දුෂ්කරතා වලට මුහුණපාන කාර්මික ශිල්පීන්ට සහායක් දැක්වීමටයි. මෙහි රංගනය වෙනුවෙන් දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත රංගන ශිල්පීන් වන Suriya, Revathy, Prakash Raj, Vijay Sethupathi, Parvathy Thiruvothu, Siddharth, Aditi Balan, Yogi Babu, Arvind Swamy, Atharvaa, Anjali, Bobby Simha සහ Gautam Vasudev Menon වැනි ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වනවා. නිර්මාණයක් වෙනුවෙන් කෙතරම් දක්ෂ නළු නිළියන් සිටියත් එහි කතාවේ මූලික අභ්‍යන්තරය දුර්වල නම්, එය සාර්ථක නිර්මාණයක් වන්නේ නැත. Navarasa ද මාගේ මතය අනුව අයත් වන්නේ මෙම ගොන්නට. මෙම කෙටි චිත්‍රපට මාලාවේ Project Agni, Payasam, Roudhram සහ Inmai හොඳ මට්ටමක තිබුනත්, විශිෂ්ට නිර්මාණ ලෙස නම් කළ නොහැකිය.
Project Agni (Adbhutha -Wonder)
මෙය විද්‍යා ප්‍රබන්ද කතාවක්. විෂ්ණු යනු ස්වාධීනව තම පර්යේෂණයන්ගේ නියැලෙන විද්‍යාඥයෙක්. තනිව වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා, ඔහු ප්‍රධාන පෙළේ පර්යේෂණ ආයතනයක රැකියාවක්ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුට බිරිඳක් සහ පුතෙක්ද සිටිනවා. නමුත් තම වෘතිය කෙරෙහි ඇති ඇබ්බැහිවීම නිසා, විෂ්ණුට තම පව්ල මග හැරී තිබෙනවා. දිනක් ක්‍රිෂ්ණා නම් මිතුරෙක් ඔහුව හමුවීමට පැමිණෙනවා. එහිදී විෂ්ණු තමා විසින් කළ ප්‍රභල විද්‍යාත්මක සොයා ගැනීමක් පිලිබඳ හෙළිදරව්වක් කරනවා. විශ්වය, අනාගතය සහ කාල තරණය පිලිබඳ වෙනස්ම ආකාරයක කියවීමක් Project Agni හරහා ඉදිරිපත් කරනවා. Navarasa හි නිර්මාණාත්මකම චිත්‍රපටය ලෙස නම් කළ හැක්කේ මෙයයි. සැබවින්ම මෙය කෙටි චිත්‍රපටයකට සීමා නොවී, feature චිත්‍රපටයක් වූවා නම් යන හැඟීම පහල වුනා. කර්තික් නරේන් ගේ අධ්‍යක්ෂණය, රංගනයන් සහ සිනමාකරණය ඉතා හොඳ මට්ටමක තිබුනා.
Payasam (Bibhatsa – Disgust)
Samanadhu නම් මහළු පිරිමියෙකු එක් උදෑසනක කෝවිල වෙත එන්නේ පුජාවක් වෙනුවෙන්. එදින ඔහුගේ බෑනා වන සුභූගේ දියණියගේ විවාහ මංගල්‍යද පැවැත්වෙනවා. එම කෝවිලේදී සිටින එක් කාන්තාවකට තම ජීවිතය සම්බන්දව පාපොච්චාරණයක් ප්‍රකාශ කරනවා. කෙටි වෙලාවක් ගත වෙද්දී අපට වැටහෙනවා මේ ඔහුගේ බිරිඳ බව. සමානධු එම විවාහ මංගල්‍යට සහභාගී වීමට අදිමදි කරන අතර ඔහු තම බෑනා කෙරෙහි ඊර්ෂ්‍යාකරන වගද පැහැදිලි වනවා. ඊට ප්‍රධාන හේතුවක් සුභූ ඔහුට වඩා සාර්ථක වීමත්, සුභූගේ දරුවන් සමග සසඳද්දී ඔහුගේ දරුවන් සාර්ථක නොවීමත්. Payasam හරහා අධ්‍යක්ෂක Vasanth, මිනිසා තුල වෙනස් කිරීමට නොහැකි ඇතැම් ගති පැවතුම් සහ ඊර්ෂ්‍යාව පිලිබඳ අපූරු කියවීමක් ඉදිරිපත් කරනවා. මෙහිදී සමානධු සහ ඔහුගේ බිරිඳ අතර ඇති වන සංවාදයන් තුල මෙම සංකීර්ණ මානුෂීය අභ්‍යන්තරයන් ඉදිරිපත් කරනවා. රංගනයෙන් දායක වූ Delhi Ganesh, Aditi Balan සහ Rohini ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා.
Roudhram (Raudra – Anger)
ගනේසන් නම් ණය එකතු කරන පුද්ගලයෙක්, එම ප්‍රදේශයේ සිටින කඩ හිමියෙකුගෙන් ණය මුදල් එකතු කරනවා. යම් බහින්බස් වීමකින් අනතුරුව, ඔහු බලහත්කාරකමින් එම ණය මුදල් ලබා ගන්නවා. ඔහු ඉන් ඉවතට පැමිණීමේන් අනතුරුව, එක් පිරිමි ළමයෙකු ඔහුට මිටි පහරක් එල්ල කරනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගනේසන්ගේ ජීවිතය ඇත්තේ බරපතල තත්වයකයි. ඔහුට එම ප්‍රහාරය එල්ල කරේ අරුල් නම් පිරිමි ළමයෙකු විසින්. ඔහුව අත්අඩංගුවට ගත්තත් අරුල් කළ ප්‍රහාරයට හේතු සාධක හෙළිදරව් කරන්නේ නැත. ඒ සමගම දිවෙන අනිකුත් කතාව වන්නේ යම් හදිසි මෙහෙයුමක නියැලෙන ආවේගශීලි පොලිස් නිලධාරිනියක්. Roudhram හරහා මතු කරන ප්‍රධාන කාරණයක් වන්නේ ගෘහස්ත හිංසනය සහ දරිද්‍රතාවය ළමා මනසට බලපාන ආකාරයයි. මෙහිදී ප්‍රධාන චරිතයන්ව කිසි සෙත්ම විවේචනය කරන්නේ නැත. ඔවුන්ගේ වත්මන් තත්වයට බලපාපු අවේනික හේතූන් මෙහි විනිශ්‍යකින් තොරව ඉදිරිපත් කරනවා. මෙම චිත්‍රපටයේ තවත් සුවිශේෂී කාරණයක් වන්නේ, මෙහි අධ්‍යක්ෂක සිදු වන්නේ රංගන ශිල්පී අර්වින්ද් ස්වාමී වීමයි. අධ්‍යක්ෂක වශයෙන් ඉතා හොඳ කාර්යක් මෙහි සිදු කර තිබෙනවා. නමුත් යම් අඩුපාඩුවක් ලෙස දනුණේ මෙහි පොලිස් නිලධාරිනියගේ චරිතය තුල ඇති ආවේගය තුල, ඊට හේතු පාධක වූ කාරණයන් ප්‍රභලව අධ්‍යනය වූයේ නැත. රංගනයන් අතරින් Sree Raam, Riythvika සහ මවගේ චරිතය ඉදිරිපත් කළ රංගන ශිල්පිනිය ඉතා හොඳ රංගනයන් ඉදිරිපත් කළා.
Inmai (Bhayaanaka – Fear )
වහීදා යනු සුඛෝපභෝගී ජීවිතයක් පවත්වා ගෙන යන කාන්තාවක්. දිනක් ඇගේ නිවසට ෆාරුක් නම් තරුණයෙක් පැමිණෙන්නේ ඇගේ සැමියා යටතේ සේවයේ නියැලෙන පුද්ගලයෙක් බව අඟවමින්. ඔවුන් දෙදෙනා අතර එම කෙටි කාල වේලාව තුල සුහදත්වයක් ඇති වනවා. වහීදාට ලැබෙන දුරකථන ඇමතුමකින්, ෆාරුක් ඇය සිතන ආකාරයේ පුද්ගලයෙක් නොවන බව ඇයට වැටහෙනවා. ෆාරුක් යනු සැබවින්ම වහීදාගේ අතීතයට සම්බන්ද පුද්ගලයෙක්. Inmai හි ප්‍රධාන වශයෙන් ඉස්මතු කරන්නේ මිත්‍යාවන් හමුවේ පුද්ගලයා තුල ඇති කරන අනවශ්‍ය භීතිය සහ කර්මය පිලිබඳවයි. මෙය අධ්‍යක්ෂක Rathindran R. Prasad ඉතා අපූරුවට ඉදිරිපත් කර තිබෙනවා. සිද්ධාර්ත් සහ පාර්වතී තිරුවොතුද ඉතාම විශිෂ්ට ගණයේ රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ සමග Viraj Singh ගේ කැමරාකරණයද ඉතා ඉහල මට්ටමක තිබුනා.
ඉහත සඳහන් කළ චිත්‍රපට හැරුණු විට අනිකුත් චිත්‍රපට ඉතාම සාමාන්‍ය සහ දුර්වල මට්ටමක පැවතුනේ. එහි ඉදිරිපත් කළ තේමාවේ අභ්‍යන්තරයට ගමන් කිරීමට මෙම නිර්මාණකරුවන් අසමත් වී තිබෙනවා. ප්‍රභල රංගන හැකියාවන් ඇති නළු නිළියන් එම නිර්මාණයන් තුල සිටියත්, ඔවුන්ගේ දක්ෂතාවන්ට සාදාරණයක් කිරීමට තරම් එහි තිර රචනයන් ප්‍රභල නැත. මා ප්‍රිය කරන අධ්‍යක්ෂකවරයෙක් වන Gautham Vasudev Menon ගේ Guitar Kambi Mele Nindru ද සැහීමකට පත්විය හැකි මට්ටමක තිබුනේ නැත. එහි ප්‍රධාන චරිතය රඟ දැක්වූ Suriya එම චරිතයට නොගැලපෙන බවක් දැනුණා. ඒ සමගම එම ප්‍රධාන නිළිය සහ Suriya අතර chemistry එකක් නොතිබුණු තරම්. තවද දෙබස් තුලද ඉතාම කෘතීම බවක් පෙන්නුම් කළා.
මෙහිදී එක් විශේෂ ඇගයීමක් සිදු කළ යුතුයි Edhiri චිත්‍රපටයේ Revathi ගේ රංගනය වෙනුවෙන්. කතාව එතරම් ප්‍රභල නොවුනත්, රේවතී ඉතාම විශිෂ්ට ගණයේ රංගනයක් ඉදිරිපත් කළා. ඇයගේ ප්‍රභල රංගන පරාසය දැන ගැනීමට නම් මෙහි එක් තීරණාත්මක දර්ශනයක රේවතීගේ හැඟීම් ප්‍රකාශන නිරීක්ෂණය කරන්න. කිසිදු දෙබසක් නොමැති මෙම දර්ශනය රේවතීගේ විශිෂ්ට රංගන හැකියාව පෙන්නුම් කළ ප්‍රභල අවස්ථාවක්.
Project Agni, Inmai, Payasam සහ Roudhram යන චිත්‍රපට හැරුණු විට, සමස්තයක් වශයෙන් Navarasa යනු සැහීමකට පත්විය නොහැකි නිර්මාණයක්.