Nagavalli Character | Sinhala Article

Nagavalli Character by Ramitha Vimukthi

“අද දුර්ගාෂ්ඨමී, මම උඹව මරලා උඹේ ලේ බීලා නටනවා “

කව්ද හොඳට කරේ?

ඉන්දියානු සිනමාවේ චිත්‍රපට චරිත අතරින්, අපට අමතක කල නොහැකි චරිතයක් නාගවල්ලි. මේ චරිතය මෙහි මුල් මලයාලම් චිත්‍රපටයෙන් අනතුරුව, භාෂා කිහිපයකින්ම ප්‍රතිනිර්මාණය වුනා. මෙම චරිතය ප්‍රථමයෙන්ම Manichitrathazhu (මලයාලම්) චිත්‍රපටයේ ශොබානා විසින් නිරුපණය වන අතර, ඉන් අනතුරුව කන්නඩා චිත්‍රපටයෙ සෞන්දර්යා ( Apthamitra), දමිළ චිත්‍රපටයේ ජ්‍යෝතිකා (Chandramukhi) සහ හින්දි චිත්‍රපටයේ විද්‍යා බාලන් (Bhool Bhulaiya ) තුලින්ද මෙම චරිතය ඉතාමත් කැපී පෙනෙන ආකාරයට ඉදිරිපත් වුනා. Manichitrathazhu චිත්‍රපටයට අනුව නාගවල්ලිගේ ප්‍රධාන අරමුණ වන්නේ, රාමනාතන් වන ඇයගේ ප්‍රේමවන්තයාව මරා දැමූ සන්කරන් තම්පිගෙන් පලි ගැනීමයි. මෙහිදී ශොබානා ඉදිරිපත් කරන ගංඟාගේ චරිතයට නාගවල්ලී යන චරිතය භූත ආත්මයක් ලෙස තමන්ගේ ශරීරයට ඇතුළු වන්නේ නැත. සැබවින්ම සිදුවන්නේ split personality disorder යන මානසික තත්වයෙන් පෙලෙන ගංඟා හට නාගවල්ලි හට සිදුවූ අසාදාරණය පිලිබඳ අනුකම්පාවක් මතු වනවා. ගංඟා කුඩා අවදියේදී අත්විඳපු මානසික පීඩනය නිසාවෙන් ඇයට split personality disorder නම් වූ මානසික තත්වයට ගොදුරු වනවා. මෙම අභියෝගාත්මක චරිතය රඟ දැක්වීමට ශෝබනා, සෞන්දර්යා, ජ්යෝතිකා සහ විද්‍යා බාලන් ඔවුන්ටම අවේනික වූ රංගන ශෛලයන් යොදාගත්තා.

Shobana (Manichitrathazhu)

මගේ පෞද්ගලික මතය අනුව නාගවල්ලී චරිතය හොඳින්ම රඟ දැක්වූයේ ශෝබනා විසින්. බොහෝ මෑතක් වනතුරු මගේ පෞද්ගලික කැමැත්ත තිබුනේ විද්‍යා බාලන් ‘මංජුලිකා’ ලෙස Bhool Bhulaiyaa චිත්‍රපටයේ ඉදිරිපත් කල රංගනයයි. නමුත් බොහෝ මෑතකදී දුටු ශොබානාගේ රංගනය මාව පුදුමයට පත් කරා. Manichitrathazhu චිත්‍රපටය තිරගත වූයේ 1993 දී. එම නිසා මෙහි අනිකුත් ප්‍රතිනිර්මාණ මෙන් මෙහිදී ඇතුලත් වන sound-effects සහ පසුතල නිර්මාණ ඇත්තේ ඉතාම අවම ප්‍රමාණයයි. මෙහිදී ගංඟා හට නාගවල්ලී ආරූඩ වන දර්ශනය ශෝබනා ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කරා. මෙම දර්ශනය ඇතුලත් වන්නේ ගංඟාගේ සැමියා ප්‍රථම වතාවට තම බිරිඳගේ නාගවල්ලී ස්වරූපය දැකගන්න අවස්ථාවේදී. ආරම්භයේදී ඉතාම සියුම් ලෙස කතාබහ කරන ගංඟා මොහොතෙන් මොහොත ආවේගශීලි වන ආකාරය ඉතාමත් තාත්වික ලෙස ශෝබානා රඟ දැක්වුවා. ප්‍රථමයෙන් සියුම්ව කතා කරන අවස්ථාවේ පටන්, නාගවල්ලී චරිතයට හුවමාරුව වන අවස්ථාවන් තුල ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරය සහ අත හසුරුවන ආකාරය ඔබ නිරීක්ෂණය කලහොත් ඇයගේ විශිෂ්ටත්වය ඔබට වැටහෙයි. මගේ මතය අනුව මේ විශිෂ්ටත්වය ළඟට ඒමට මෙහි ප්‍රතිනිර්මාණ තුලදී හැකිවූයේ විද්‍යා බාලන් හට පමණයි. එපමණක් නොව ශෝබනාගේ චරිතයේදී ගංඟා හට නාගවල්ලී ආරූඩ වන අවස්ථාවේදී කටහඬ හැසිරවීමත් ඉතා විශිෂ්ටයි. මෙහිදී කටහඬේ විශිෂ්ටත්වයට නම් ඇගයීම යා යුත්තේ ශෝබනාට හඬකැවූ භාග්‍යලක්ෂිමි සහ දුර්ගා නම් ශිල්පිනියන් දෙදෙනාටයි. එපමණක් නොව මෙහිදී ශෝබානගේ විශිෂ්ට නර්තන හැකියාවත් ඔබට දැක බලාගන්නට පුළුවන්. මෙහිදී ශෝබනා ඉදිරිපත් කරපු රංගනය වෙනුවෙන් 1994දී පවතී ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුනා.

Vidya Balan (Bhool Bhulaiyaa)

මෙම චිත්‍රපටයේදී නාගවල්ලිගේ චරිතය නම් කර තිබුනේ මංජුලිකා යනුවෙන්. පෙර පැවසුවා මෙන්, මගේ පෞද්ගලික මතය අනුව ශොබානා Manichitrathazhu හිදී දක්වපු විශිෂ්ටත්වයට සැබෑ ලෙස ළඟා වීමට හැකි වූයේ විද්‍යා බාලන්ට පමණයි. ඇයගේ රංගනය තුලත් ආව්නි යන චරිතය මංජුලිකා බවට පත්වන දර්ශනයේදී විද්‍යාගේ හැඟීම් ප්‍රකාශන ඉතා විශිෂ්ටයි. විශේෂයෙන්ම ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් වන ආකාරය ඇයගේ රංගනය තුලින් ඉතා තාත්වික ලෙස ඉස්මතු වුනා. ඒ සමගම ‘අද දුර්ගාෂ්ටමි, මම තෝව මරලා, තොගේ ලේ බීලා, උඹේ මළ මිනිය උඩ නටනවා’ කියන දෙබසත් සමග ඇය අසල තිබෙන විශාල ඇඳ ඔසවන අවස්ථාවත් ඉතා විශිෂ්ට ලෙස විද්‍යා හසුරවා තිබුනා. මෙම චිත්‍රපටයේ විද්‍යා බාලන් ඉදිරිපත් කල රංගනය ඇයගේ සිනමා දිවියේ ඉතාම සුවිශේෂී සංදිස්ථානයක්. එපමණක් නොව ඇය ශ්‍රෙයා ගෝශාල් විසින් ගායනා කරන ‘Ami Je Tomar’ ගීතයට ඉදිරිපත් කරන නර්තනයත් මතකයේ රැඳෙන දර්ශනයක්.

Jyothika (Chandramukhi)

අප බොහෝ දෙනෙකුට නාගවල්ලී ලෙස හුරු පුරුදු රංගනය වන්නේ ජෝතිකා චන්ද්‍රමුකී ලෙස ඉදිරිපත් කල රංගනයයි. මෙයත් ජෝතිකාගේ සිනමා දිවියේ තවත් සුවිශේෂී රංගනයක් වගේම දමිළ සිනමාවේ රංගන ශිල්පිනියක් විසින් ඉදිරිපත් කරපු තවත් අමතක නොවන රංගනයක්. ජෝ
තිකා තමන්ටම අවේනික වූ රංගන ශෛලයක් යොදාගත් නිසා මෙම චරිතයට වෙනස්ම මුහුණුවරක් ගෙන දුන්නා. ඇය ඉතා හොඳින් මේ චරිතය කලා නමුත් ඇය අධි රංගනයක් සිදු කරා කියන හැඟීම මෑතක නරඹද්දී මතුවුණා. චිත්‍රපටයේ යොදාගත්තු sound effects සහ චන්ද්‍රමුකිගේ කටහඬ වෙනුවෙන් යොදාගත් voice effects ප්‍රමාණයට වඩා යොදාගත් බවක් දැනුණා. එපමණක් නොව, චිත්‍රපටයේ වැඩි අවකාශයක් Rajinikanth ගේ චරිතය වෙනුවෙන් යොදාගත් නිසාදෝ, මෙම චිත්‍රපටයේදී නගවල්ලී යන සමස්ත චරිතය Manichitrathazhu සහ Bhool Bhulaiyaa තුල තිබුන සමාන අවකාශය දක්නට ලැබුනේ නැත. ඒ කෙසේ නමුත් මෙය ජෝතිකාගේ සිනමා දිවියේ සුවිශේෂී චරිතයක්. ඒ සමගම ජෝතිකා සහ විනීත් නර්තනයේ යෙදෙන ‘Raa Raa’ ගීතයත් අමතක කල නොහැකියි.

Soundarya (Apthamitra)

සෞන්දර්යා ඉදිරිපත් කරපු රංගනය පිලිබඳ සම්පුර්ණ මතයක් දීමට අපහසුයි, සම්පුර්ණ චිත්‍රපටය නරඹා නැති නිසා. ඒවගේම සෞන්දර්යාගේ රංගනයන් මට එතරම්ම මතකයේ නැත. නමුත් youtube හරහා හමුවූ Apthamitra චිත්‍රපටයේ ඇතැම් දර්ශන හමුවේ ඇයගේ රංගනය තුලත් ජෝතිකා හා සමානවම අධි රංගනයක නියැලෙන ස්වභාවයක් දුටුවා. මෙහිදීත් sound effects සහ vocie effects ඕනෑවට වැඩිය යොදාගත් බවක් පෙන්නුම් කරා. සෞන්දර්යා 2004 දී ගුවන් අනතුරකට ලක්වී මිය යන්නේ Apthamitra චිත්‍රපටය තිරගත වීමටත් පෙරය. ඒ අනුව Apthamitra යනු ඇය රංගනයෙන් දායක වුන අවසාන චිත්‍රපටයයි.

නාගවල්ලී චරිතය ඉහත සඳහන් චිත්‍රපට වලින් අනතුරුවත්, නගවල්ලී ලෙස තෙළුගු භාෂාවෙනුත් සහ ගීතාන්ජලි ලෙස මලයාලම් භාෂාවෙන් නම් කල spin-off එකකුත් නිර්මාණය කලා. මෙම වසරේදී කර්තික් ආර්යන්, තබූ සහ කියාරා අද්වානි රංගනයෙන් දායක වනවා Bhool Bhulaiyaa 2 වැනි කොටස වෙනුවෙන්. මේ පිලිබඳ නම් පෞද්ගලිකව ඇත්තේ මිශ්‍ර හැඟීමක්. ඒ කෙසේ නමුත් මගේ පෞද්ගලික මතය අනුව නම් මෙම චරිතය ඉතා විශිෂ්ට ලෙස රඟ දැක්වුයේ ශොබානා සහ විද්‍යා බාලන් විසින්.

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *