
ටීවී සීරීස් බලන අයගෙන් තමන් බලපු හොඳම සීරීස් එක මොකක්ද කියල ඇහුවොත් ‘Breaking Bad’ ඇතුළුව “හොඳම” කියන වර්ගීකරණය යටතේ නිතර දෙවේලේ ඇහෙන නම් කීපයක් කියවෙයි. ඒ අතරින් මේ කොරියානු කතා මාලාව ‘My Mister’ නරඹා ඇති කෙනෙක් ඒ “හොඳම” ලැයිස්තුවට මේ නමත් එක්කාසු කරනවානම් එහි පුදුමයක් නොවෙයි. ඒ වගේමයි කොරියානු කතා වැඩිපුරම බලන කෙනෙක්ගෙන් ඇහුවත් ‘My Mister’ කියන්නේ තමන් බලපු හොඳම එකක් බව අහන්න ලැබෙයි. මොකද මේක එච්චරටම හොඳම එකක් තමයි.
කතාව හොඳම එකක් වෙන්නෙ හේතු කාරණා කීපයක් නිසායි. ඔබ රොමෑන්ස් දැකල ඇති. ඒත් මෙහෙම රොමෑන්ස් එකක් හමුවෙලා නැතුව ඇති. ඔබ සහෝදර ප්රේමය සම්බන්ධ කතා බලල ඇති. ඒත් මෙහෙම සහෝදර ප්රේමයක් හමුවෙලා නැතුව ඇති. කොරියානු කතා ආශ්රයෙන් ගත්තත් ඔබ ට්විස්ට්, ත්රිලර්, මිස්ට්රි ආදි වශයෙන් දේවල් ඇති පදම් බලල ඇති. නමුත් එක එල්ලේම එහෙම වර්ගීකරණයකට නතු නොවන නමුත් මේ තුළින් හමුවනා දේවලුත් ඒ තරමටම දැනෙනු ඇති. මේ ඇතුළෙ කතා කරන ප්රේමය, බැඳීම් සහ මහා රහස් තුළ ඔබ ගිලී යනු ඇති. වශී වනු ඇති. විශේෂයෙන්ම මානුශීය බැඳීම් සම්බන්ධයෙන් සෑම චරිතයක් ආශ්රයෙන්ම කෙරෙනා ඒ විග්රහය ඔබගේ සර්වාංගයටම දැනෙනු ඇති.
කොරියන් කතා බලනකොට හැමදාමත් වගේ හිතෙන දෙයක් තමයි “මුං කොහොමද මේවා ලියන්නේ” කියන එක. මෙතනදීත් ඒක එහෙම්මයි. කතන්දරය තුළ ගොඩනැගෙන සබඳතාවයන් වලට වෙනමම අර්ථකථනයක් ආරූඪ කරවන්නට ඒ රචනයෙන් ලැබිල තියෙන දායකත්වය නම් පුදුම සහගතයි. ප්රේමය ගැන කතා කරනකොට සමහර ප්රේමයන් සම්බන්ධයෙන් “රාගයෙන් තොර සඳ එළිය සේ….” ආදී වශයෙන් වෙනමම ලෙවල් එකක රැඳවෙන වාතාවරණයන් පවතිනවනේ. මෙතනදී හමුවන ප්රේමය ඒ සියල්ලක්ම අභිබවා යන තරම් කියල කියන්න පුළුවන්. පෙරළා කිසිවක්ම බලාපොරොත්තු නොවී අනෙකා වෙනුවෙන් අසීමිතව කැප වෙන්නට හිතන හැටි, අනෙකාව පෙලනා බරින් මුදවා සැහැල්ලු කරවන්නට හදන හැටි, අනෙකා වෙනුවෙන් තමා ගැනවත් නොසිතා අවදානම් දරන හැටි ආදී වශයෙන් වන දීර්ඝ ලැයිස්තුවකින් සමන්විත වන දැවැන්ත වපසරියක් මේ ගෞරවාන්විත ප්රේමය තුළ අඩංගුයි. තවත් පැත්තකින් අපිට මේ ඇතුලේ ප්රතිවාදී කලු චරිත කිහිපයක්ම හමුවෙනවා. නමුත් ඒ හැම චරිතයකම හැසිරීම පුදුමාකාර විදිහට ප්රේක්ෂකයාට සමීප කරවනවා මේ ඇතුලෙ අපි ආදරේ කරන චරිත වලට සාපේක්ෂවම.
සමස්ත කතන්දරයම එකම එක අරුම පුදුම ප්රේමයක් මත ගොඩනැගෙන හැටිමත් නෙමේ දකින්නට ලැබෙන්නේ. සහය චරිත ආශ්රයෙන් තවත් කතා ගොඩයි. ඇත්තටම ඒ විසි හැවිරිදි බටු කෙල්ලයි, හතළිස් හැවිරිදි පරිණත මිනිසායි අතර ගොඩනැගුනේ කුමනාකාරයේ බැඳීමක්ද? මේක තමයි නරඹන්නාව වශී කරවනා ආත්මීය ගුණාංගය වෙන්නේ. රංගනය සම්බන්ධයෙන් ඒ චරිත ද්විත්වයම වෙනුවෙන් නිරූපණය වන භාව ප්රකාශනයන් අතිවිශිෂ්ඨයි. ඒ අනුව 55 වැනි Baeksang Arts Awards හි දී හොඳම අධ්යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නිළිය සහ හොඳම නවක නිළිය යන සම්මානයන් සඳහා නිර්දේශ වන්නටත්, Best Drama සහ Best Screenplay යන විශිෂ්ටතම සම්මානයන් දිනාගන්නට හැකිවෙන්නේත් ‘My Mister’ ට මේ විශිෂ්ට කොරියානු කතාමාලාවටයි.
******************************************************

Directed by: Kim Won-seok
Produced by: Park Ji-hyun
Written by: Park Hae-young
Starring: Lee Sun-kyun , Lee Ji-eun
Country of origin : South Korea
Original language : Korean
No. of episodes: 16
Genre: Drama
Original release: March 21 –; May 17, 2018