Monster (2019) Tamil | Sinhala Article

Monster (2019) Tamil

92% liked this film Google users

ඔබ පිළිබඳව අනෙකා තුළ ප්‍රතිරූපය ගොඩ නඟනුයේ ඔබගේ තෝරා ගැනීම් විසින්ය. එබැවින් තෝරා ගැනීම් පිළිබඳව වඩාත් සංවේදීවන්න.

“මතක තියා ගන්න මස් නොකන මිනිස්සු ඉන්නවා වත්තෙ ජරා කරලා යන බල්ලට ගලෙන් ගහන ? . එහෙම කියලම මම කතාව පටන් ගන්නම්.

උඩ කතාවෙ අවුලක් නැහැ. නැත්තෙමත් නැහැ. නැද්ද ? මෙහෙමයි, ඔය අපි ඕනෑම කෙනෙක් පොඩි කාලෙ ඉඳන් පුරුදු පුහුණු කරන චර්යා රටාවන් තියෙනවනෙ. දකුණතෙන් කෑම කන එක එහෙම පුරුද්දක්. වමත හුරු අයත් පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙනවා දකුණතෙන් ආහාර ගන්න. කාලයක් යද්දි යස අගේට පුළුවන් වෙලා. වමතෙන් ආහාර නොගෙන දකුණතෙන් ආහාර ගැනීම සමාජ සම්ප්රදාය. ලාංකීය ජන සමාජයට පමණක් අනුගත වෙලා කතා කරොත් එහෙම කියන්න පුළුවන්. වැඩි හිටියන්ගෙ මඟ පෙන්වීම යටතේ ආන්න එහෙම වමෙන් නොකා දකුණෙන් කෑම කියන පුරුද්ද පුරුදු පුහුණු කර ගත් චර්යා රටාවක්.

තව ඔය වගේ ඕනෑ තරම් පුරුදු තියෙනවා. ඒ පුරුදු එහෙම නිර්මාණය වෙන්න සහ පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට එන්නට හේතු වෙච්ච ප්රධාන සාධක දෙකක් තියෙනවා.

– ආගම

– සමාජ සාරධර්ම පද්ධතිය

ඔය සාධක දෙකේ අඩු වැඩි වශයෙන් ඇති වෙන බලපෑම මත යහපත් යැයි සම්මත චර්යා ධර්ම පද්ධතියක් බිහිවෙනවා සහ පෝෂණය වෙනවා.

අන්න එහෙම කුඩා කල පටන් පුරුදු පුහුණු කරපු සාරධර්මයක් මූලික කොට ගෙන තමයි අද මේ කතා කරන්න යන චිත්රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.

කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් නොකරන්නට පුරුදු පුහුණුවූ, විවාහ වීමට බලාපොරොත්තු වන මැදි වයසේ පුද්ගලයෙක්..

ඒ තමා අපේ කතාවෙ වීරයා. වීරයා එක්ක තකට තක ප්රතිරෝධී ව සිටින්නා දුෂ්ඨයා නොවැ. මේ කතාවෙ දුෂ්ඨයා……. කවුද කියන දේ මම කියන්න යන්නෙ නැහැ. එහෙම කරලා සමස්ථ කතාවම spoil කරලා අර කියනවා වගේ ආතල් කුඩු කරන්න මම කැමති නැහැ.

ඕනෑම මනුස්සයෙක් අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ යෙදෙනවා. එනම් තමා තමන් සමඟම සන්නිවේදනය කර ගන්නවා. හොඳ-නරක තෝරා බේරා ගැනීමේ දී සංවාද මණ්ඩපයේ අසුන් ගන්නා “මම” යන චරිතය සහ “මගේ හෘදසාක්ෂිය” යන චරිත ද්විත්වය අතරේ සිදු කරනු ලබන සංවාදය අතිශය වැදගත් ය. ඕනෑම කෙනෙක් ප්රථමයෙන් කිසියම් තීරණයකට එලැඹෙන්නේ එලෙස තමා තුළම තමා සන්නිවේදනය කිරීම මඟින්. වරදකාරී දෙයකට පෙලැඹෙන්නට යන අවස්ථාවක දී  හෘදසාක්ෂියේ දෝංකාරය පිළිබඳ වූ අත්දැකීම ඕනෑම කෙනෙකු අත් විඳ ඇති බවට උපකල්පනය කළ හැක. හෘදසාක්ෂියට වඩාත් සංවේදී පුද්ගලයා බොහෝ විට නිවැරදිම තීරණයට අනුගත වීම සුලභ ව සිදු වේ.

හොඳ සහ නරක අතර තරඟයේ දි ජයගනු ලබන්නේ හෘදසාක්ෂියට වඩාත් සංවේදී පුද්ගලයා ය. එවැන්නෝ දුර්ලභ ය. Monster (2019) හි කතා නායකයා ද එවැන්නෙකි.

ඔහුට අතිශය ප්රබල ගැටලුවක් ව තිබෙනා කාරණාව ඉතාමත්ම පහසුවෙන් විසඳාලිය හැකි ව තිබෙනා නමුත් හෘදසාක්ෂිය හා කරනු ලබන සංවාදයේ ප්රථිඵලය ලෙස ඔහු තෝරා ගනු ලබන්නේ කුඩා කල පටන් ඔහු විසින් පුරුදු පුහුණු කළ යහපත් චර්යාව ය. ඒ විසඳුම තිරසාර එකක් නොවුණත් ඔහුට අවැසි ඔහුගේ හෘදසාක්ෂියට අනුගත වීමට ය. මාවත දුෂ්කර ය. එහෙත් සෑම අඳුරු මාවතක් කෙළවරකම ආලෝකයක් පවතිනවා ය යන පරම සත්ය විසින් ඔහුගේ මානවවාදීබවට වටිනාකමක් එක් කරනු ලබ යි.

ඉතා සරලවූත්, සියයට සියයක්ම පහසුවූත් විසඳුමකට යා හැකි ව තුබූ නමුත් ඔහු ඔහු විසින් පුරුදු පුහුණු කළ යහපත් චර්යාවට අනුගතවම පමණක් කටයුතු කළා විනා “මේ එක පාරක් ඔන්න ඔහේ කමක් නැහැ මේක ඉවරයක් කරලා දානවා” යි යන විසඳුම පැතුවේ නැත.

මනුෂ්යත්වය යනු විටෙක වැටෙන විටෙක නැගිටින ස්වභාවය කරපින්නා ගත් එකකි. පාපය, පාපකාරී සිතුවිල්ල විටෙක අපට පෙනෙන්නට තිබෙනා සරලම විසඳුම විය හැක. බොහෝ අවස්ථාවල දී අප එය තෝරා ගන්නෙමු. එහෙත් ඇතැම් අවස්ථාවල අප කොතෙක් අසීරු වුවත් ඉවසාගෙන සිටින්නෙමු, නිවැරදිම තෝරා ගැනීමට ඉඩ ප්රස්ථාව සැලැසෙන තෙක්. එබැවින් මනුෂ්යයෙකු ගේ වටිනාකම් ඉස්මතු වෙන්නේ සහ හොඳ පුද්ගලයෙකු ද නරක පුද්ගලයෙකු ද යන්න තීරණය වන්නේ පුද්ගලයාගේ තෝරා ගැනීම් අනුව ය. එබැවින් පුද්ගලයෙකු ව තේරුම් ගැනීමට සහ අධ්යයනය කිරීමට අවැසි නම් ඒ පුද්ගලයාගේ තෝරා ගැනීම් පිළිබඳව සංවේදී වන්න. ඔබට නිසැකවම පුද්ගලයා කවරාකාරයේ කෙනෙකු දැයි වටහා ගත හැකි ය.

Monster (2019) තුළ කතා නායකයා පරමාදර්ශී එකෙකු බව සිය චරිතය තුළින් ඉස්මතු කරලන්නේ ඔහු අභිමුව තිබෙනා තෝරා ගැනීම්වල දී වඩාත් යහපත් වූ වඩාත් මානුෂවාදී වූ විසඳුම් වලට සංවේදී වීම නිසාවෙන් ය.

මේ සටහන ආරම්භයේ දී මා පැවසුවා සේ “මස් නොකන මිනිස්සු ඉන්නවා වත්තෙ ජරා කරන බල්ලට ගලෙන් ගහන” යි ආරෙ එකෙකු නොවී ඊට ප්රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය එකෙකු ලෙස කතා නායකයා අතිශය සුළු යැයි හැඟෙන කාරණාවකට පවා සංවේදී වීම තුළ #මනුෂ්යත්වයට_වටිනාකම්_එක්_කරනු_ලබන්නේ_සත්ත්ව_කරුණාව_හඳුනන_මිනිස්සු බව අවසානයේ හෙළි කරල යි.

ඒ Monster (2019) තුළින් උගත හැකි වූ සාගරයක් පාඩම් වලින් අතිශය සුළු ප්රමාණයකි. Monster (2019) යනු සංවාද මණ්ඩප ඇති කර එවැනි මණ්ඩප තුළ වුව ද සාකච්ඡාවට බඳුන් කළ හැකි සහ කළ යුතු ආකාරයේ දැවැන්ත සිනමා නිර්මාණයකි.

S.J. Suriya

S.J. Suriyaයනු දක්ෂ රංගන පෞරුෂයකි. තරු ගුණයේ මදි පුංචිකම නිසාදෝ බොහෝ සිනමා රසවතුන්ට අල්ලා ගැනීමට නොහැකි වූ කුසලතා පූර්ණ නළුවෙකි. Vijayසහ Jyothikaරඟ දැක් වූ Kushiචිත්රපටයේ අධ්යක්ෂකවරයා ද ඔහු ය. ඔහු Multi Talented ය. ඔහුගේ හඬ ද ඔහුටම සුවිශේෂී වූවකි.

Nelson Venkatesan

කැමරාකරණය නම් අගය කළ යුතුම ය. කැමරා කෝණ සහ ආලෝකකරණය විශිෂ්ඨ ය. කතාව සහ තිර රචනය අතිශය සාර්ථක ය. අධ්යක්ෂකවරයා කුසලතා පූර්ණ එකෙකු බැව් නම් ඒකාන්තයෙන්ම පැවැසිය හැක.

නළු නිළි කැළ කුසලතා පූර්ණ ය. වෙසෙසින් S.J.Suriya හැරුණු කොට Karunakaran පිළිබඳව යමක් පැවැසිය යුතුම ය. ඔහු අති දක්ෂයෙකි. ඔහු රඟ පෑ Soodukavum නිර්මාණය සොයා නැරැඹීම සිනමාලෝලී අයවලුන්ට මසුරං වටින අවස්ථාවක් වනු ඇත.

පසුබිම් සංගීතය සහ ගීත නිර්මාණය පැසැසුම් සහගත ය. Sid Sreeram දකුණු ඉන්දියාවේ Arijit Sigh වැනි ය. ඔහුගේ Unic හඬට සවන් ඇත්තෝ සවන් දෙත්වා.

මේ වසරේ දී නිකුත් වූ දමිළ සිනමාපට අතුරින් ඔබට නැරැඹීමට ලැබෙන අතිශය සාර්ථකවූත් වෙනස්ම කතා වස්තුවක් රැගත් විශිෂ්ඨ සිනමාපටයකි Monster (2019), මඟ හැර ගන්නා දෑස් කුමට ?

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *