Moment (2021) Sinhala Short Film | Sinhala Article

Moment (2021) Sinhala Short Film by Ramitha Vimukthi

#ShortFilm

මේ අවුරුද්දේ අපේ ලාංකීය නිර්මාණකරුවන් ඉදිරිපත් කළ, ඉතා හොඳ මට්ටමක තිබුනු කෙටි චිත්‍රපට පෙළක්ම නරඹන්නට ලැබුනා. ජෝ දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් සහ Hesanda Kaushalya ගේ තිර රචනයෙන් සම්බන්ද වන Moment කෙටි චිත්‍රපටයද එම ගොන්නට අයත්. මෙය අප ගැවසෙන සමාජයේ සහ පොදුවේ මා නරඹා තිබෙන ඇතැම් චිත්‍රපට වලටද පාධක වුනු හුරුපුරුදු මාතෘකාවක්. නමුත් මෙම චිත්‍රපටයේ නමේම සඳහන් වන එක් මොහොතකින්, තදින්ම හිතට වදින හැඟීම් සමුදායන් රැසක් ගෙන ඒමට සමත් වුණු නිර්මාණයක්.

(ස්පොයිල් වීමට ඉඩකඩ වැඩි නිසා මින් ඉදිරියට කියවීම ඔබම තීරණය කරන්න)

මෙම කෙටි චිත්‍රපටය තුල අපට හමුවන්නේ පෙම්වතුන් යුවලක්. ඔවුන් කලක් එකිනෙකාට නැතිවම බැරි ආකාරයට ආදරය කර තිබෙනවා . ඒ ආදරයට එකිනෙකා විවාහ කොලයකට අත්සන් තබමින්, එක වහලක් යට ජීවත් වීම දක්වා දුරක්‌ ගිහින් නැත. අපේ සමාජය අදටත් පොදුවේ පිළිගන්නේ කොලේට අත්සන් තබා සිදුවන නීත්‍යානුකූල ප්‍රේමය වූවත්, එසේ නොවන ප්‍රේම කතා ප්‍රමාණයටත් වඩා අපේ ඇස් මනාපිට සිදු වනවා. එලෙස නීත්‍යානුකූලව සිදුවන සම්බන්දයක් තුල සිටියදීත් අපට ඇතැම් පැරණි ප්‍රේමයන් ලෙහෙසියෙන් අමතක කරන්නට බැරිය. ඔබත් මමත් එම ප්‍රේමය කොතැනක හෝ වත්මන් නීත්‍යානුකූල සම්බන්දකමින් නොලැබෙන තැනකදී, නැවත එම පැරණි මතකයන් සහ මොහොතවල් සොයා යන්නට පෙළඹෙති. එය සම්මතද අසම්මතද කියන යෙදුමට වඩා, සංකීර්ණ මානුෂීය හැඟීම් තුල ප්‍රධාන ලක්ෂණයක් ලෙස හඳුන් වන්නට පුළුවන්.

අප වර්තමානයේ ජීවත් වන්නේ රේස් දුවන ලෝකයක. එම රේස් එක අතර ලැබෙන සුළු ඉඩ ප්‍රමාණයකින් හෝ ප්‍රේමය අත්විඳීමට අපට එක්තරා ආකාරයක අරගලයක් කිරීමට සිදු වනවා. ඒ සියල්ලක් අතරමැද තමන් සිටින්නේ බලාපොරොත්තු වූ ප්‍රේමයක් හෝ රැකවරණය නොලැබෙන තැනක නම්, එම හුදෙකලාව වචනයට පෙරලීමට අපහසුය. එම හුදෙකලාව අපව කිසි සේත්ම නොසිතන ආකාරයකට කඩා බිඳ දමන්නට පුළුවන්. මෙහි කාන්තාවගේ චරිතය ප්‍රකාශ කරන දෙබස් තුලින් මා වටහා ගත්තේ මෙවැනි හැඟීමක්. මේ ආකාරයේ මා පෞද්ගලිකව දැන හඳුනන චරිත මුණගැසී තිබෙන නිසා, මෙම චරිත දිවිත්වයම මෙම විනාඩි 13 ක්‌ පුරාවටම තදින්ම දැනුණු අවස්ථා එමටයි.

මා ආරම්භයේදී සඳහන් කරා මෙන් අතිශයින්ම හුරුපුරුදු තේමාවක් වූවත්, මෙය ඉතා පිළිවෙලකට නිර්මාණය කර තිබෙන ප්‍රකාශයක්. විශේෂයෙන්ම මෙහි දෙබස් රචනය සහ උමාලි තිලකරත්න සහ ධනුෂ්ක ඩයස්ගේ රංගනය කැපී පෙනුණා. මෙම ප්‍රධාන චරිත ද්විත්වයගේ හැඟීම් ප්‍රකාශනයන් සහ ඔවුන් සිටිනා පසුබිම ඉතා ආකර්ෂණීය ලෙස කැමරාවට හසු කර ගෙන තිබෙනවා.

Moment යනු සැබවින්ම මදක් හිතින් අමතක කිරීමට අපහසු මොහොතක්. ඉතින් ඔබටත් මෙම මොහොත අත්විඳින්නට ආරාධනා කරනවා.

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *