Mohan Kumar Fans (2021)
ඕනෑම සිනමා කර්මාන්තයක ඉන්නවා එක්තරා කාලපරිච්ඡේදයකදි ඒ සිනමාව හොල්ලගෙන ඉඳපු, නමුත් කාලයත් සමග හෙමිහිට හෙමිහිට out of fashion බවට පත් වෙලා ඉන්න නළුවො. එක්තරා කාලයක වීරයෝ විදියට රඟපාපු සමහර නළුවො අපි දකිනවා අද සහය චරිත කරනවා. බොහොම කලාත්මක, අපූරු චිත්රපටි නිශ්පාදනය කරපු අධ්යක්ෂකවරු අධ්යක්ෂණය අතෑරලා දාලා රඟපෑමට ඇවිල්ලා ඉන්නවා.
උදාහරණයක් විදියට ගත්තොත් දමිළ නළුවෙක් වන ප්රභූ අතිශය ජනප්රියව හිටපු කාලයක් තිබුනා. ඔහු රඟපෑ සින්න තම්බි වගේ චිත්රපටි ඒ කාලේ හැටියට බොක්ස්ඔෆිස් හොල්ලපු, දින සියය ඉක්මවා තිරගත වුනු චිත්රපටි. නමුත් 1992 වසරෙන් පස්සේ සුපර් ස්ටාර් ටයිට්ල් එකත් එක්ක රජිණිකාන්ත්ගේ සුපිරි ජනප්රියත්වයත් මාස් හීරෝ කෙනෙක් විදියට නිෂ්පාදකවරු සහ අධ්යක්ෂකවරු අතර ඔහුගේ ඉල්ලුම ඉතා සීඝ්රයෙන් ඉහළ ගිය නිසාත් ඒ වෙද්දි මාස් හීරෝස් විදියට ඉඳපු ප්රභූ වගේ අයට තිබුන ඉල්ලුම ටික ටික පහළට ගියා. එසේම පදිනාරු වයතිනිලේ වගේ විශිෂ්ඨ චිත්රපටි නිර්මාණය කරපු භාරතිරාජා මහත්මයා අද වෙද්දි සහය නළුවෙක් විදියට චිත්රපටි රංගනයට එකතු වෙලා ඉන්නවා. මේ වගේ දේවල් කාගෙවත් වැරැද්දක් නිසා සිද්ද වෙන දේවල් නෙවෙයි.
කාලය ගත වෙද්දි මිනිස්සුන්ගේ රුචි අරුචිකම් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ රිද්මයට අනුපාතව සිනමාවත් වෙනස් වෙනවා. අලුත් අලුත් තරු පායනවා. පරණ තරු ටික ටික බැහැගෙන යනවා. මලයාලම් සිනමාවම සැලකුවත් මලයාලම් සිනමාව සම්පූර්ණයෙන්ම වගේ මම්මුති,මෝහන්ලාල් දෙන්නා වටේ කේන්ද්රගත වෙන්න පටන් ගත්තම ඒ වෙද්දි තරමක් දුරට නැගී එන නළුවො විදියට හිටපු අයටත්, ඉකා හොඳින් ස්ථාවර වෙලා හිටපු අයටත් ඒ රැල්ලත් එක්ක පැවතීම තරමක් දුරට අපහසු වුනා.
මෝහන් කුමාර් කියන්නෙත් එහෙම නළුවෙක්. ඔහු එක්තරා කාලයක බොහොම ජනප්රිය නළුවෙක් වෙලා හිටියා. චිත්රපටි නිෂ්පාදකවරුත්,අධ්යක්ෂකවරුත් ඔහුගෙ පස්සෙන් පෝලිමට ආවා. ධනයත්, කීර්තියත් ගඟක් වගේ ගැලුවා. හැබැයි එක්තරා කාලසීමාවකින් පස්සේ මිනිස්සුන්ට තව දුරටත් මෝහන් කුමාර්ගෙ චිත්රපටි බලන්න,මෝහන් කුමාර්ට විසිල් ගහන්න ඕන කියලා හිතුනෙ නෑ. අධ්යක්ෂකවරයින්ට මෝහන්ව හොඳ නළුවෙක් විදියටත් නිෂ්පාදකවරුන්ට ඔහුව සල්ලි මවන යන්ත්රයක් විදියට පෙනුනෙ නෑ. මෝහන් කුමාර් ටිකක් ආඩම්බරකාර මනුස්සයෙක් නිසා ඔහු සහය චරිත රඟපාන්න ගියෙත් නෑ. ඒක නිසා ටික ටික මිනිස්සුන්ටත් සිනම කර්මාන්තයටත් මෝහන්ව අමතක වෙලා ගියා. අලුත් වීරයො බිහිවෙද්දි පරණ වීරයින්ට විශ්රාම ගන්න වෙනවා.
ඔහොම අවුරුදු විස්සක් විතර නිහඬව හිටපු මෝහන් කුමාර් එකපාරටම අති විශිෂ්ඨ රංගනයකුත් එක්ක විශිෂ්ඨ චිත්රපටියක් තුළින් නැවතත් රිදී තිරයට සම්ප්රාප්ත වෙනවා. එම චිත්රපටියේ ඔහුගේ රංගනය අගය කරමින් විචාරකයින්ගෙන් ඉඳලා පාර අතුගාන මනුස්සයා වෙනකන් හැමෝම කතා බහ කරනවා. අර කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිහිල්ලා තිබුන ජනප්රියත්වය නැවතත් මෝහන් වෙත ලැබෙනවා. ඔහුගේ ඡායාරූප වලින් සඟරා වල කවර සැරසෙනවා. සෙල්ෆි ගන්න මිනිස්සු පොර කනවා. වසන්ත සමය මෝහන් කුමාර්ව ආයෙත් ස්පර්ශ කරනවා. මේ දේවල් එක්ක මෝහන් කුමාර්ගෙ ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද?
චිත්රපටි කර්මාන්තය ගැන හදපු චිත්රපටියක් විදියට Mohan Kumar Fans හැදින්වීමෙත් වරදක් නැහැ. මේ චිත්රපටිය හැදුවේ මෝහන් කුමාර් වගේ කාලයත් එක්ක සිනමාවෙන් මගහැරුණු සියළුම නළු නිළියන්ට කරන උපහාරක් විදියටත් ඒ වගේම මෙයින් ඔවුන් තුළ පොඩි හෝ ධෛර්යයක් ගොඩ නැගිලා නැවතත් සිනමාව තුළ දකින්න ලැබේවා කියන ප්රාර්ථනයත් පෙරදැරිව බවයි කියැවෙන්නේ. ඇත්තටම මෙහි රඟපාන අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් නළු නිළියො හැමෝමත් ඒ වගේ අය තමයි. හීරෝ චරිත කරගෙන ඉඳලා පස්සේ සපෝටින් රෝල්ස් වලට බැහැපු අය.
කුන්චාකෝ, සිද්දික්, මුකේශ්, ශ්රීනිවාසන් ඇතුලු ප්රවීණ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වන මෙය කුන්චාකෝගෙ 2021 වසරේ රිලීස් වුන තුන්වන චිත්රපටිය ද වනවා. එසේම මෙම නළු නිළියන් බොහෝ දෙනෙක් මෝහන් කුමාර්ට අත් වුනු ඉරණමට අඩු වැඩි වශයෙන් මුහුණ දීපු අය වීමත් විශේෂත්වයක්.

මෙහි පිටපත රචනා කර තිබෙන්නේ Uyare(2019) චිත්රපටියේ පිටපත රචනා කළ Bobby–Sanjay දෙදෙනා විසින්. චිත්රපටිය අධ්යක්ෂණය කර තිබෙන්නේ විජේ සුපිරියුම් පූර්ණියුම්, සන්ඩේ හොලිඩේ, බයිසිකල් තීව්ස් වැනි චිත්රපටි අධ්යක්ෂණය කළ Jis Joy විසින්. චිත්රපටියේ පිටපත, අධ්යක්ෂණය සහ නළු නිළියන්ගේ සාර්ථක රංගනයත් සමග මෝහන් කුමාර් ෆෑන්ස් චිත්රපටිය 2021 වසරේ මෙතෙක් තිරගත වුනු සාර්ථක චිත්රපට ලැයිස්තුවට නිසැකවම ඇතුල් කරන්නට පුලුවන්. ‘Young Superstar අඝෝශ් මෙනන්’ විදියට රඟපෑ Vinay Forrtගෙ (ප්රේමම් ෆිල්ම් එකේ ‘විමාල් සර්’) රංගනය මුළු චිත්රපටිය පුරාම කැපිලා පේනවා. එහෙම බැලුවම නම් ඔහු ඉන්නේ ප්රධාන නළුවටත් වඩා ටිකක් උඩින්. ජනප්රියත්වය නිසා ඔලුව උදුම්මවාගත් තරුණ නළුවෙක්ගෙ චරිතය ඔහු අපූරුවට ඉදිරිපත් කරලා තිබුනා. එ් වගේම ජනප්රියත්වය වෙනුවෙන් ජනතා ආකර්ශනය වෙනුවෙන් කරන දෙකයි පනහෙ බාල වැඩ එහෙමත් චිත්රපටියෙන් පෙන්නලා තියනවා.
අනවශ්ය සිදුවීම් දෙක තුනක් තිබුනත් එ්වායින් චිත්රපටියේ ගලාගෙන යෑමට එතරම් බාධාවක් වී නැහැ.
සිනමාව ගැන සිනමාව තුළින් දකින්න ලැබෙන මේ අවස්ථාව ලේසියෙන් මගහැරගන්න එපා. මේක බොහොම සරල, සන්සුන් සහ හිනා යන ෆිල්ම් එකක්.