Minari (2020) Korean by Ashini Randini
Spoiler Alert 
ජීවිතේ කවියක්
ආදරේ සොඳුරුතම වදනක්
කඳුලැලි බිඳක්
හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිඳි රසයක්…
ඇත්තටම මොකක්ද ඒ බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයගෙ පබැඳුමෙන් විශාරද නන්දා මාලිනිය ගයන අපූරු ගී පද පේලියේ සැබෑ අරුත ?
ඇත්තටම ජීවිතේ කියන්නෙ පද එකිනෙක් අමුණගෙන තාලයක් ඇතිව හෝ නැතිව එලිසමයක් ඇතිව හෝ නැතිව ඒත් රටාවකට ආවේනික ලගන්නා සුලු ආරකට ගලාගෙන බැඳීගෙන ඉස්සරහට යන කවියක් වගේ දේකට . ජීවිතයකට ඉස්සරහට යන්න ආදරය සෙනෙහස ඕනෙ . ඉතින් ඒ ආදරේ ජීවිත කාව්‍ය ඇතුලෙ ගැබ් වුනු ලස්සනම මිහිරිම වචනයක් .
ජීවිත චාරිකාවෙ අපි ඉස්සරහට යනකොට ගල් මුල් මල් මේ හැම එකක්ම පහු කරන්නෝනෙ. හැලහැප්පීම් කම්කටොලු මැදින් කඳුලු ගංගා මැද්දෙන් හිනා අහුරුත් අමාරුවෙන් පූදගෙන ඉස්සරහට යනකොට ජීවිතේට අමුතුම රසයක් එකතු වෙනව . ඒ රහ පෙර නොවිඳි අමුතුම රසයක් .
ඒක තමා ජීවිතේ රහ . යතාර්තයේ රහ .
ජීවිතේ රහ ගන්වගෙන යනකොට පවුලක් උනාම දැනෙන්නෙ අමුතුම විරලම රහක්. ඒ රහ විඳින්න නම් පවුලක් විදියට හැමතිස්සෙම එකට ඉන්නෝනෙ.
1983 අවුරුද්දෙ පුංචි ඩේවිඩ්ගේ පවුල කැලිෆෝනියාවෙන් ඈත පුංචි හරිත ග්‍රාමයකට එන්නෙ ජීවිතේ අලුතිම්ම නැවුම් පිටුවක් පෙරලන්න .
මේ යී පවුලෙත් අර කිව්ව වගේම කඳුලු මල් හිනා මල් කියන දෙවර්ගෙම මදි නොවෙන්න තියෙනව .
කුකුලු පැටවුන්ගෙන් ස්ත්‍රී පැටවු පුරුශ පැටවු වෙන් කරන රස්සාවකට කොටු වෙච්ච අම්මෙක් , කොරියානු පලතුරු විකුනල ව්‍යාපාරිකයෙක් වෙන්න තනන අප්පෙක් , හදවත් රෝගයකින් පීඩා විඳින ඒත් සතුටින් ජීවත් වෙන හුරතල් පුතන්ඩියෙක් , මලයට පණ වගේ ආදරේ කරන හුරුබුහුටි අක්කෙක් , ගමට තමන්ගෙ දරු මුනුබුරෝ බලන්න එන ආච්චි අම්මෙක් වටේ ගෙතුනු මේ කතන්දරේ පුරාවටම මම දැක්කෙ අර ජීවිතේට ආදරේ එකතු වුනාම හැදෙන අමුතුම රිද්මය .
ඒ වගේම මම තව දෙයක් දැක්ක . ඒ තමයි කඳුලු කැටිතී, මන්දස්මිත රැලි දෙජාතියම ජීවිත ව්‍යාංජනයට වැටුනාම මැවෙන අමුතුම රහ . මේ අමුතුම රහ ඔබට මට අපි හැම කෙනෙකුගෙම ජීවිත වලට පොදුයි .

කලිසම් ඇන්දත් වයින් බිව්වත් තමන්ගෙ ආච්චි අම්ම ලඟත් සාමාන්‍ය ආච්චි අම්මෙකුගෙ පුසුඹ තියෙනව කියල පුංචි ඩේවිඩ් කොලු පුංචට වැටහුනේ කන්දෙන් පහල ඕනෙම තැනක වැඩෙන මිනාරි පැලෑටි ආච්චි අම්ම පෙන්නුවට පස්සෙ.



ඒ කතාව කන වැකෙන පුංචි කොල්ලට දෙවියන් වහන්සේ දකින්න ස්වර්ගයට ගොඩාක් ඉක්මනින් යන්න ඕනෙ වෙන්නෙ නෑ .

ආච්චි අම්ම ඒ පුංචි හිත හැදුවට පහුවදා පපුව නැවතෙන්න ගියේ පුංචි කොල්ලගෙ නෙමෙයි ආදරණීය ආච්චි අම්මගෙ.
ඒ දුක් මැද්දෙන් කඳුලු ගංගාවක පීනුවත් ඩේවිඩ්ගෙ අම්මට උවමනා වෙන්නෙ කඳුලු සතුට මැද්දෙන් ජීවිතේ ඉස්සරහටම යන්න.

මේ වගේ කරදර කාලයක නිවී හැනහිල්ලේ හිතන්න පුලුවන් දෙයක් ඉතුරු කරන හිත නිවන සිනමාපටයක් බැලුවාම අපිට උනත් හිතෙන්නෙ මොන දේ උනත් ජීවිතේ ඉස්සරහට යන්නෝනෙ කියල . කාලය විතරක් ගෙවේවි අපි එකම තැන ඉඳීවි කියල හිතුවත් මොන දේ උනත් ඉවසගෙන කඳුලු හිනා මැද්දෙන් ජීවිතේ ඉදිරියට යන එක අපි කරන්නම ඕනෙ.
මට මේ සිනමාපටයේ වඩාත් තදින් දැනුන සිද්ධියක් තමයි තුරු ලතා මිනාරි වැවුනු සීතල කඳුවැටි වල පහසෙන් පුංචි ඩේවිඩ්ගෙ නැවතෙන්න ලං උනු හදවත ආයෙමත් පණ ගැන්වෙන එක
සමහරවිට ඉහිරෙන්න ගිය කඳුලු මැද්දෙන් සුන්දර ගමනක් ගියපු ලස්සන පවුලක් ආයෙමත් එකම තැනකට ගෙනත් එකට එක්කාසු කරන්න පුලුවන් උන නිසාම මම මේ කතන්දරේ අන්තිමට එලවලු කොටුව පුපුරෝගෙන බුර බුරා උඩට නැගුනු ගිනි ජාලාවට කැමතී . සාමාන්‍යයෙන් ගින්දරකට අපි අකමැති උනාට මේ ගින්නෙදි මොනා උනත් අපිට අපි ඉන්නවනෙ කියන අර්තයම කැටි කරගෙන යී පවුල එකට ගුලි වෙන එකට මම හිත ඇතුලෙන් පුදුම තරම් ආසයි .
ඇත්ත. මොන දේ උනත් කඳුලුයි හිනාවයි මැද්දෙන් ජීවිතයක් ආදරයක් කර පින්නගෙන ඉස්සරහට යනකොට හරිම සුන්දරයි . ඒක වෙනම රහක් . සටහනට මුල පුරපු ගී පැදි පේලියෙන්ම සටහනේ අවසානයත් පුරවන්නම්
ජීවිතේ කවියක්
ආදරේ සොඳුරුතම වදනක්
කඳුලැලි බිඳක් හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිඳි රසයක් ..