Memento (2000) English | Sinhala Article

Memento (2000) English by Chanaka Colombage

Memento (2000) බැලුව? තේරුණා? – (Full Movie Review)

Ghajini බැලුවද? එහෙනම් Memento බලන්න…
Memento බලලා තිබ්බට Ghajini බලලා නැත්ද?

මේ තියෙන්නේ අවුරුදු 20ක් පරණ Memento ෆිල්ම් එකට දැනටත් තියෙන online ratings ය.

IMDb – 8.4 (ප්‍රේක්ෂක මනාප 1,079,924 කින්)
Rotten Tomatoes – 93%
Metacritic – 80%
Google පරිශීලකයින් ගේ මනාපය – 90%

Thriller/Mystery ශානරයට අයත්වන චිත්‍රපට අතරින් Memento චිත්‍රපටයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. IMDb දර්ශකයට අනුව ලොව බිහිවූ හොඳම චිත්‍රපට 250 අතුරින් අදටත් 55 වන ස්ථානයේ රැඳී සිටීමට Memento සමත්ව තිබීමෙන් මේ චිත්‍රපටය පිලිබඳව විස්තර කිරීමට තවත් අටුවා, ටීකා, ටිප්පණි ලිවීම අවශ්‍ය නොවේ.

තම ප්‍රථම නිර්මාණය ලෙස, 1998 දී ඩොලර් 6,000 ක බජට් එකකින් හදපු Following ෆිල්ම් එකට පස්සේ Christopher Nolan සිය සිනමා දිවියේ දෙවන චිත්‍රපටය ලෙස අධ්‍යක්ෂණයෙන් දායක වන Memento එළිදකින්නේ 2000 වසරේදී, ඩොලර් මිලියන 9 ක වියදමකිනි.

Nolan චිත්‍රපට ලෝකයට “පොරක්” උනේ Memento හරහාය. නැතිනම් Nolan කියන්නේ “පිස්සෙක් වගේ… පිස්සෙක් වගේ… ෆිල්ම් Fruit Salad කරන පොරක්” කියල මුළු ලෝකෙම දැනගත්තේ Memento හරහාය. ෆිල්ම් එකේ මුලක්, මැදක්, අගක් හිතාගන්න බැරුව, අපි අසරණ වෙලා වගේ හිතට දැනි දැනී ඉන්නකොට, ආයෙත් පාරක් කරකවලා කරකවලා අතහැරලා, අන්තිමේ දී ඔලුවට පොල්ලකිනුත් දමලා ඇරලා ෆිල්ම් එක ඉවර කරන්න, Nolan ට ඇති හැකියාව හොලිවුඩයේ වෙනත් කිසිදු අධ්‍යක්ෂකවරයෙක් හට නොමැති බව මම විශ්වාස කරමි. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වුවත්, මාගේ ප්‍රියතම Hollywood චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන්නේ Christoper Nolan ය. Nolan අධ්‍යක්ෂනය කල චිත්‍රපට ප්‍රමාණය ඉතා අල්ප වුවත් ඒ සියල්ලම, Box Office වාර්තා බිඳදැමූ Super Hits බවට පත්විය. Nolan කියන්නේ මොන වගේ වැඩ්ඩෙක් ද කියල දැනගන්න ඕන නම් නිකමට IMDb Top 250 list එක ඇතුලේ Nolan ගේ ෆිල්ම් කීයක් තියෙනවද කියල ගණන් කරා නම් හොඳටම ඇතිය.

Memento බලලා තිබ්බට, Ghajini බලලා නැත්ද?

ගොඩාක් හින්දි ෆිල්ම් Die Hard Fans ලා ගේ අදහස නම් Ghajini (2008) යනු, Nolan ගේ Memento එකේ කොපියක් නොවන බවය. එය Nolan ගේ concept එක පමණක් අරගෙන කරපු වෙනස්ම නිර්මාණයක් බවත්ය.
Ghajini යනු Memento එකෙන් කරන ලද Remake එකක් බව සමහරුන්ගේ මතයයි.

මගේ මතය නම්, Ghajini යනු Nolan ගේ Memento ෆිල්ම් එකේ original concept එක අමු අමුවේම අවභාවිතා කර සාම්ප්‍රදායික ඉන්දියන් පඩංගු මොඩලයට හැදු පට්ටම අප්සට් හින්දි කොපියක් යන්නය. මම හිතන්නෙ නෑ අඩුමගානේ ඔය Ghajini ෆිල්ම් එකේ Screenplay එක ලියපු, Direct කරපු ලියපු පොරවත් Memento ෆිල්ම් එකේ තියෙන කතාව එක දශමයකින් හරි තේරුම් ගන්න ඇතියි කියලා.

Ghajini ෆිල්ම් එකේ මට තියෙන ලොකුම අවුල නම්, ඉන්දීය වානිජ්‍යය සිනමාවේ මම දකින්න කැමතිම නළුවා වන Aamir Khan මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමයි. Aamir Khan, Dangal ෆිල්ම් එකේ කළ රංගනය විශිෂ්ඨය. එම චරිතය වෙනුවෙන් Body transformation එකක් කරගනිමින් රංගනය වෙනුවෙන් කල කැපකිරීම නිසා මම Aamir Khan තුලින් ඉන්දියානු සිනමාවේ Christian Bale කෙනෙකුට දුටිමි. අදටත් IMDb එකේ Top 250 list එකේ තියෙන හින්දි ෆිල්ම් වලින් වැඩිම ගණනක් Aamir Khan රඟපෑ ඒවාය. ඔහුගේ මම ඉතාම ප්‍රිය කරන 3 Idiots ෆිල්ම් එක බලපු වාර ගනණ ද මට හරියටම මතක නැත, එය ජිවිතයේ ඕනෑම වයස් පරාසයකදී වුවද නැවත නැවතත් රසවිඳිය හැකි අගනා නිර්මාණයකි. Aamir Khan රඟපෑ PK, Taare Zameen Par, Rang de Basanti, Talaash, Lagaan වැනි නිර්මාණ හා සැසඳීමේදී Ghajini යනු ඒ අහලකින් වත් තැබීමට නුසුදුසු චිත්‍රපටයකි. 90’ ගණන් වල අප කුඩා කාලයේ නැරඹු Aamir Khan ගේ Dil චිත්‍රපටය පවා Ghajini හා සැසඳීමේදී සාපේක්ෂව උසස් නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.

සෙසු චරිත කෙසේ වෙතත්, Aamir Khan විසින් Ghajini ෆිල්ම් එක තුල ඔහුගේ චරිතයට උපරිම සාධාරණයක් කිරීමටත්, වඩා තාත්වික රංගනයක් ඉදිරිපත් කිරීමටත් හුදෙකලා සටනක නිරත වනු දැකිය හැකිය. Aamir Khan සතු විශිෂ්ට රංගන හැකියාවන් නිසාම දෝ මන්දා, මේකේ ඉන්න අනික් ඇහිඳ ගත්ත නළු නිළි set එක මට පෙනුනේම කාටුන් චරිත මෙනි. උන් ටික ෆිල්ම් එකේ රඟපානවා? නැත්තම් රඟපාන්න පුරුදු වෙනවා ද කියා නිතරම මට සිතුනි. අනේ මන්දා, මේක මගේ රසවින්දනයේ අව්ලක්ද කියලා, මටනම් Ghajini සෙට් උනෙම නැත. ටික වෙලාවක් බොහොම අමාරුවෙන් හිත හදාගෙන Ghajini ෆිල්ම් එක බලන් ඉඳලා ඉඳලා බැරිම තැන, මේක download කරගෙන මම කරගත්තු මෝඩකමට මටම බැන ගනිමින් ද, Aamir Khan අර කාටුන් චරිත ටිකත් එක්ක පැය 3ක් තිස්සේ Ghajini ෆිල්ම් එක ඇදගෙන යන්න දඟලන දැඟලිල්ල දැක පශ්චාත්තාපයෙන් ද, මේ උත්කෘෂ්ට සිනමාසිත්තමට මම සමුදුනිමි. මං ජිවිතයේ ඕන තරම් ගොං වැඩ කරලා ඇත. එකම ගොන් වැඩේ උවද නැවත නැවත දෙතුන් පාර කරලා ඇත. එත් මං ආයේ කවදාවත් Ghajini බලනවා වගේ ගොන් වැඩක් නම් කරන්නේ නැත. (Ghajini Tamil ෆිල්ම් එකකුත් release වෙලා තියෙනවලු, කට්ටිය කියනවා ඒක හින්දි එකට වඩා හොඳයි ලු, Ghajini හින්දි එක බලද්දී ආපු අප්පිරියාව මුසු ෆීලින්ග් එක, Tamil එක බලද්දිත් එයි කියල මට හිතුණා. ඒ නිසා ඒකෙ trailer එකවත් නොබලා ඉන්න මං තීරණය කළා)

Ghajini හි මා අගය කරන එකම විශේෂත්වය නම් A.R රහුමාන්ගේ සංගීතයට අනුව නිර්මාණය වූ Guzarish ගීතය පමණි.

ඔය ඔක්කොම විස්තර කිව්වේ, මේ post එක කියවන ගොඩක් අයට දැනටමත් මෙන්න මේ ප්‍රශ්න ටික ඇතිවෙලා තියෙන නිසාය.
i. Memento බලලා Ghajini බැලුවේ නැත්තම් අව්ලක් වෙයි ද?
ii. Memento එකේ මෙලෝ මගුලක් තේරුනේ නැති නිසා Ghajini බැලුවොත් ඒකවත් තේරයි?
iii. Ghajini කියන්නේ Memento එකේ Part 2?
iv. මේ Post එක ලියන එකාට කොහොමටත් හින්දි ෆිල්ම් එක්ක පට්ට ඇරියස් එකක් තියෙනවා, මූ කොච්චර කිව්වත් Memento එකට වඩා Ghajini හොඳ ඇති…
v. Memento බලලා Ghajini බැලුවේ නැත්තම් Aamir Khan මාත් එක්ක තරහ වෙයි ද දන්නෙන් නෑ… හ්ම්…

Ghajini ෆිල්ම් එක ගැන මෙච්චර ගුණ වැයුවේ, මෙහෙම හිතලා කව්රු හරි Ghajini බලන්න ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන් කරණ ලබන පූර්ව දැනුවත් කිරීමක් වශයෙනි. පැය 3ක් නාස්ති කරගෙන, ආතල් එකක් ගන්න අදහසින් පමණක් Ghajini බැලුවාට නම් කිසි වරදක් නැත. Thriller/Mystery ෆිල්ම් එකක් බලන අදහසින් නම් Ghajini බලන්න එපා, අපරාදේ ඔයාගේ කාලය.

හැබැයි මම මෙතනදී Aamir Khan ට පොඩි credit එකක් දෙනවා. Nolan කාරයට Aamir Khan ව සෙට් වුනානම් Memento එකේ main රෝල් එකට, පොර Guy Pears ටත් වඩා හොඳට ගේම ගහයි කියල නම් මට නිකමට හිතෙනවා. මොනවා වුනත් Guy Pears ත් මේකෙදි සුපිරිම ඇක්ටින් පාරක් දෙනවා Audience එකට හිතාගන්න බැරි වෙන්නම.

Spoiler Alerts !!!… තියෙන නිසා මේ ලිපිය මෙතනින් එහාට කියවන්න කලින් Memento ෆිල්ම් එක බලල ඉන්න. නැත්තන් මේ කියන කිසිම දෙයක් තේරෙන එකක් නැති වෙයි.

*************************************************************************************
*************************************************************************************

හරි Ghajini ට බැන්නා ඇති… (Ghajini ට බැන්න එකෙන් Die Hard හින්දි Fans ලගේ ෆීලින්ග්ස් වලට hurt වුණා නම් Sorry)

අපි දැන් Memento එකේ කතාව දිහාට ටිකක් හැරෙමු…

කතාව පටන් ගැනෙන්නේ, Polaroid 690 instant camera (අර Photo එකක් ගත්තහම ඒක print වෙලාම එන cameras ජාතියක් තියෙන්නේ, අන්න ඒකක්) එකකින් අරගත්තු ෆොටෝ එකක් දිහා බලන් ඉන්න Leonard Shelby (Lenny) හා ඔහු ඉදිරියේ මැරී වැටී සිටින Teddy නම් පුද්ගලයෙකු ගේ දර්ශනයකිනි.

මෙහි Lenny ගේ චරිතයට පණ පොවන්නේ මං කලින් සඳහන් කල Guy Pearce වන අතර, ඊට පෙර ඔහු L.A. Confidential (1997) ෆිල්ම් එකේ Russell Crowe, Kevin Spacey වැනි දැවැන්තයන් සමග කරට කර කල විශිෂ්ට රංගනය, Nolan ගේ Memento හි ප්‍රධාන චරිතයට තෝරාගැනීමට මග පාදන්න ඇත.

මෙහිදී, මුල සිටම කතාව ආපස්සට ගලායන ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ ෆිල්ම් එක පටන් ගන්නේ අග සිට මුලට වාගේය.

සාරාංශයක් වශයෙන් ගත්තොත් කතාව ගලා යන්නේ මෙහෙමයි…
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් නිවසට ඇතුළු වී කරන ලද පහර දීමකින් Lenny ගේ බිරිඳ මියයන අතර, ඇය බේරාගැනීමට යාමේදී එක් කොල්ලකරුවෙක් Lenny අතින් මිය යනවා. අනෙක් කොල්ලකරුවා එල්ල කරන ලද පහරකින් Lenny බරපතල තුවාල ලබයි.

මේ අනතුරින් පසුව Lenny ට ඔහුගේ කෙටි කාලීන මතක තබා ගැනීමේ හැකියාව සම්පුර්ණයෙන්ම නැතිවී (Short-term memory loss) යන අතර ඔහුට මතක ඇති එකම දෙය නම් ඔහුගේ බිරිඳ මියයන අවස්ථාව පමණි. ඇත්තටම කියනවා නම් Lenny ට මතක තබා ගත හැක්කේ විනාඩි 15ක පමණ කාලයක් තුල සිදුවූ දේවල් පමණි, විනාඩි 15කට පමණ පසු මුලින් සිදුවූ දේවල් ඔහුට අමතක වී යයි. (Computer එකේ RAM එකක් වගේ කියල හිතාගන්නකෝ, Restart උනොත් අර කලින් memory එකේ තිබ්බ data ටික නැති වෙලා යනවා, Lenny කියන්නේ විනාඩි 15න් 15ට restart වෙන computer එකක් වගේ).

Lenny රක්ෂණ නිලධාරියෙක් ලෙස මුලදී සේවය කර ඇති අතර, අනතුරින් පසුව ඔහුගේ රැකියාවට කුමක් සිදුවුනේ දැයි සඳහන් නොවේ. රක්ෂණ නිලධාරියෙක් ලෙස රාජකාරි කරන විට Lenny ට හමුවන ඔහුගේ සමාගම හරහා රක්ෂණ ඔප්පුවක් ලබා ගත් Sammy Jankis නම් පරණ පාරිභෝගිකයෙක්ට ද මේ වගේම අසනිපයම තිබෙනවා. Sammy ද හදිසි අනතුරකට මුහුණ දීමෙන් පසුව Short-term memory loss වූ අයෙක්. Sammy ගේ බිරිඳ ඔහුගේ මේ අසනීපය නිසා දැඩි සිත් තැව්ලෙන් පසුවෙනවා. ඇයට Sammy ගේ මෙම අසනීපය සැබෑවක් දැයි සැකහැර දැන ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා ඇය යොදාගන්නේ ඇයගේ දියවැඩියාව සඳහා ලබා ගත යුතු Insulin මාත්‍රාව ලබා දීමට Sammy ව යොදා ගැනීමෙනි. අවසානයේ ඇයට තේරුම් යනවා Sammy ට සැබෑවටම Amnesia මානසික රෝගය ඇති බවත්, ඔහු එයින් සුවවීම සිදු නොවියහැකි දෙයක් බවත්. Insulin අධි මාත්‍රාවක් (Insulin overdose) ශරීරගතවීමෙන් ඇය එතැනම මිය යනවා. Lenny නිතරම Sammy පිළිබඳව වූ මේ විස්තර තවත් අයෙකුට දුරකථනය හරහා පවසනවා පෙන්වනවා.

මේ ඉතිරිව ඇති මතකන් හා එදිනෙදා ජිවිතයේ ඔහුට හමුවන පුද්ගලයන් හා සිදුවීම් අනුව යමින් Lenny ඔහුගේ බිරිඳගේ ඝාතකයා සොයා යනවා. මෙහි සුවිශේෂත්වය නම් Lenny ඔහුගේ මෙම සියළු මතකයන් හා අනාගතයේ දී ඉවහල් විය හැකි තොරතුරු සියල්ල ඔහුගේ ඇඟේ පච්චා කොටා ගැනීමයි. එයිනුත් විශේෂම tattoo එක නම් “John G. RAPED AND MURDERED MY WIFE” යන්නයි.

කවුද මේ John G.? කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ?

Lenny සම්පුර්ණ චිත්‍රපටය තුලම දඩ බල්ලෙකු මෙන් සොයන්නේ මේ John G වය. ඔහුට බිරිඳගේ ඝාතකයා පිලිබඳ ඇති එකම මතකය නම් ඝාතකයාගේ නම John G යන්න පමණය. එමෙන්ම Lenny විසින් Polaroid 690 instant camera එකක් නිතරම ළඟ තබා ගන්නා අතර, ඔහුට මතක තබා ගැනීමට අවශ්‍ය සියලු පුද්ගලයින්, ස්ථාන ඡායාරුප ගත කරගන්නවා. ඔහු හෝටල් කාමරයක නැවතී සිටිමින් බිරිඳගේ ඝාතකයා සොයා ගැනීමට අවශ්‍ය කටයුතු හා පිඹුරුපත් සකසනවා. මේ සඳහා අවශ්‍ය සාක්ෂි, ලියකියවිලි පවා ඔහු වෙනම File එකක තබා ගන්නවා. මේ ගමනේදී ඔහුට උදව්වට ඉන්න පුද්ගලයා Teddy වන අතර (කතාවේ මුලින්ම පෙන්වන Lenny අතින් වෙඩි කා මියගිය පුද්ගලයා), Lenny ඔහුගේ බිරිඳගේ ඝාතකයා සොයා යන ගමනට විවිධ ආකාරයෙන් Teddy උදව් කරනවා.

කතාවේ අවසානයට අපට පෙන්වනවා Teddy ලබා දෙන තොරතුරකට අනුව යමින් Lenny විසින් Drug dealer කෙනෙක්ව ඝාතනය කරනවා. ඔහුගේ නම Jimmy වන අතර Teddy, Lenny ලවා මේ ඝාතනය සිදු කරන්නේ Jimmy සතු ඩොලර් 200,000 ලබා ගැනීමේ අරමුණෙනි. එහෙත් සිදු වන්නේ Jimmy ගේ මුදල් හා කාරය Lenny විසින් රැගෙන යාමය.
මියගිය Jimmy ගේ පෙම්වතිය Natalie වන අතර ඇය Wine Shop එකක Bartender වරියකි. Jimmy ගේ සාක්කුවක තිබු Natalie විසින් ලියන ලද පණිවිඩයක් හමුවන Lenny ඇය හමුවීමට යයි. Jimmy ට Drugs deal කිරීමට සහය වන්නේද Natalie ය. Jimmy ගේ ඇඳුම් ඇඳගෙන ඔහුගේම ගේ කාරය පදවාගෙන එන Lenny ව දකින Natalie සිතන්නේ ඒ එන්නේ Jimmy කියාය. මේ වනවිටත් Jimmy මියගොස් ඇති බවටත්, ඒ බොහෝදුරට Lenny අතින් වියහැකි බවටත් Natalie ට වැටහෙනවා ඇත.එහෙත් පසුව Lenny ගේ මානසික ගැටලුව තේරුම් ගන්නා Natalie, ඔහුව ඇයගේ නිවසට එක්කන් යයි. Jimmy ගේ මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවෙකු වන Dodd ගෙන් ගැලවීමට Natalie විසින් Lenny ඉතා සුක්ෂමව යොදාගන්නේ ඔහුගේ මෙම Short-term memory loss එක යොදාගෙනය. පසුව ඔහු ගැන සානුකම්පිත වන ඇය, Lenny සොයන ඝාතකයා සොයා ගැනීමට ඔහුට උදව් කරනවා.

Lenny සතු දත්ත අනුව ඔහු සොයන ඝාතකයාට ලක්ෂණ 6ක් ඇත.
1. පිරිමියෙක්
2. සුදුයි
3. මුල් නම – John / James
4. වාසගම – G________
5. Drug dealer කෙනෙක්
6. වාහන අංකය – SG137IU

Lenny ඔහුගේ එදිනෙදා අත්දැකීම්, මතකයන් හා, ඇඟේ කොටා ඇති tattoos වල දත්තයන් Natalie ට ලබා දෙනවා. Natalie විසින් සොයා දෙන විස්තර අනුව සොයාගන්නේ Teddy ගේ ඇත්තම නම “John Edward Gammell” හෙවත් John G බවයි. Teddy ද අවස්ථා කිහිපයකදීම Lenny ගේ මෙම අසනීප තත්ත්වය දඩමීමා කරගෙන, ඔහුගේ විවිධ කූට වැඩසටහන් Lenny ලවා සිදුකර ගන්නා අතර, Teddy යනු පොලිස්කාරයෙකු (Undercover agent) හෝ Conman කෙනෙකු බවට සිතිය හැකි අවස්ථා චිත්‍රපටය තුල කිහිපවිටක දීම පෙන්වනවා. Natalie විසින් සොයාදුන් දත්ත හා ඝාතකයා පිලිබඳ Lenny සතුව ඇති අනෙක් තොරතුරු සමග ද Teddy ගේ තොරතුරු 100%ක් ම වාගේ ගැලපෙනවා.

මේ නිසා Lenny විසින් Teddy හෙවත් John G ව වෙඩි තබා ඝාතනය කොට සිය බිරිඳගේ මරණයට සාධාරණය ඉටු කරනවා.

Memento එකේ කතාව මෙතනින් ඉවරයි…

අයියෝ, ඒකද Memento එකේ මහ ලොකු කතාව, කිසිම වැඩක් නෑ නේ,
කවුද දන්නේ නෑ මේකට IMDb – 8.4 ක් දුන්නේ. ඒ මදිවට අර කුණු තක්කාලිකාරයොත් 93% ක් දීලා,
මෙලෝම රහක් නැති පට්ට ජරාවක් නේ බලන් ගියහම, Ghajini එකේ නම් අඩුම ගානේ ආතල් එකේ අහන් ඉන්න පුළුවන් හොඳ සින්දු ටිකක් වත් තිබ්බා…

Memento පළවෙනි වතාවට බලපු හැමෝටමත්, උඩින් පල්ලෙන් බලපු හැමෝටමත් අන්තිමට හිතෙන්නේ ඕක තමයි.

ඇත්තටම Nolan ලොක්ක මේ වගේ ජරාවක් හදන්න ඩොලර් මිලියන 9ක් වියදම් කරයි?.

IMDb එකේ හොඳම 55 වෙනි ෆිල්ම් එක වෙලා, ලොකු Ratings එයි ද Memento මේ කියන විදිහේ පට්ට චාටර් ෆිල්ම් එකක් නම්

“Nolan කියන්නේ පිස්සෙක් වගේ… පිස්සෙක් වගේ… ෆිල්ම් Fruit Salad කරන පොරක්” කියල මං මුලිම කිව්වේ ඇයි කියල, මීට කලින් Nolan ගේ ෆිල්ම් බලල නැති අයට මේ post එකේ ඉතුරු ටික කියෙව්වහම සමහරවිට තේරෙයි.

එහෙනම්, දැන් තමයි මේ පොස්ට් එකේ මං ආසම කොටසට එන්නේ, Climax එකට, Memento ෆිල්ම් එකේ Plot Twist උන තැන්, Twist ending එක පැහැදිලි කරන එකට…

ඇත්තටම මේකේ Plot එක Twist උනාද? කොහේදී? Twist Ending එකක් ද තිබ්බේ? මේ ප්‍රශ්නය දැනටමත් ඔබට ඇතිවෙන්න ඇති.

මේකත් Nolan ලොක්කගේ සුපුරුදු Non-linear Narrative type එකේ ෆිල්ම් එකකි. ඔබ හොඳින් නිරික්ෂණය කලහොත් මෙහි රුපරමු වර්ග 2ක් ඇති බවත්, ඒවා ගලායන්නේ පහත ආකාරයට බවත් පෙනේවි.

කළු සුදු රුපරාමු – අතීත සිද්ධීන්ය, ඒවා එකිනෙක Chronological order එකකට අනුව පිළිවෙලට ගලා යයි.
වර්ණ රුපරාමු – මේවා සියල්ල ගලා යන්නේ කාලයේ ආපස්සටය, අග සිට මුලටය. ඒවා අපිළිවෙලට ගලා යන අතර ගලායාමේ Chronological order එකක් නැත.

Nolan ඉහත පරිදි චිත්‍රපටය වෙනස්ම කාල රාමු 2ක් ඔස්සේ පෙළගස්වයි. Nolan යනු කාලය යන සංකල්පය සමග සිය චිත්‍රපට යොදාගෙන සෙල්ලම් කිරීමට දක්ෂයෙකි. Inception, Interstellar ෆිල්ම් වල ද මුලික සිද්ධාන්තය වෙන්නේ “කාලය” නමැති සාධකයි. Interstellar ෆිල්ම් එක Spacetime ගැන ගැඹුරින් කතා කරන අතර, එහිදී 4 වන මානය ලෙස සැලකෙන කාලයට අමතරව 5 වන මානය පිළිබඳවද Nolan කතා කරයි. ඔහුගේ TENET චිත්‍රපටය මේ වසරේ ජුලි වල තිරගත වීමට නියමිතය. ඩොලර් මිලියන 205 ක වියදමකින් නිමවූ TENET චිත්‍රපටයේ Trailer එක බැලුවහම උනත් මට නම් හිතුනේ එකෙත් තියෙන්නේ Time කියන concept එක භාවිත කිරීමක් කියාය. (ලොව පුරා පවතින මේ ගැටළුකාරී තත්ත්වය යහපත් අතට හැරී, 2020 ජුලි වලදී TENET ෆිල්ම් එක ලංකාවේ සිනමාහලකදී වත් බලාගන්නට අපට හැකිවේවා යයි ප්‍රර්ථනා කරමු).

මෙම කතාවේ Narrator වන්නේ නැත්තම් අපිට කතාව කියන්නේ Lenny ය. Lenny යනු Amnesia රෝගියෙකි. හරියටම කිව්වොත් Anterograde Amnesia රෝගය සහිත මානසික රෝගියෙකු යැයි අනුමාන කල හැකි අයෙකි.

“Anterograde Amnesia – Refers to a decreased ability to retain new information. This can affect your daily activities. It may also interfere with work and social activities because you might have challenges creating new memories”
– උපුටා ගැනීම www.healthline.com –

ලෙඩේ මූලික ලක්ෂණ පැහැදිලි ඇති නේද?. මට ද මේ සම්බන්ධව ඇති පෞද්ගලික අත්දැකීමක් ඔබගේ තේරුම් ගැනීමේ පහසුවට චුට්ටක් විස්තර කරන්නම්. වර්ෂ 2012/13 දී පමණ ඒ දිනවල මා හදාරමින් උන් පශ්චාත් උපාධියේ, මනෝවිද්‍යාව සම්බන්ධ විෂයක අධ්‍යයන කටයුත්තක නිබන්ධනයක් පිළියෙළ කිරීම සඳහා වූ field activity එකකට දිනක්, මානසික රෝගී කාන්තාවක් නිරීක්ෂණයට මට අවස්ථාව ලැබුණි. විනාඩි 30ක් පමණ ඇය හා කතා කරත් ඇය මගෙන් ඇසුවේ එකම ආකාරය ප්‍රශ්න කිහිපයක් පමණි. ඇය, යම් කාල ප්‍රාන්තරයකට පසුව, එකම ප්‍රශ්නය නැවත නැවත කිහිපවිටක් ම අසන අතර එයින් මා විඩාවට පත්වුවද ඇය විඩාවට පත් නොවිණ. ඇයට දැනෙන්නේ, ඇය නැවත මුල සිට මා අඳුර ගන්නවා යයි කියාය. මුලින් මගෙන් ඇසු ප්‍රශ්ණ දැන් ඇයට අමතකය. ඒ Amnesia රෝගියෙකු ගේ මුලික රෝග ලක්ෂණයි. ඉතින් Memento හි අපේ මේ කතානායකයා Lenny දුටු විටද මට ඇතිවුයේ ඒ සානුකම්පිත හැඟීමමය.

කතාව මුල සිටම අපිට පැටලෙනවා නම් ඒ පැටලෙන්නේ මේ Lenny නම්, Amnesia මානසික රෝගය සහිත Unreliable Narrator නිසාය. ඔහු කතාව කියන්නේ ඔහුට හරි යයි කියා සිතෙන, ඔහුට වාසි වන ආකාරයටය. ඉතින් අපි විශ්වාස කල යුත්තේ කුමක් ද? පෙන්වන රූපරාමු සියල්ලක්ම ඇත්තක්ද?

කතාව අග සිට මුලට ගලායාම, පැටලිලි සහගත කළු සුදු රූපරාමු හා වර්ණ රූපරාමු පවා යොදාගනිමින් Nolan මෙහිදී සිදු කරන්නේ Lenny ගේ මෙම Short-term memory loss එක නිසා ඔහු තුල ඇතිවන මානසික අසමතුලිතතාවය ,පැටලිලි සහගත ව්‍යාකුල බව කෙබඳු දැයි ප්‍රේක්ෂකයාට ද ඒත්තු ගැන්වීමටය.

දැන් අපි චිත්‍රපටයේ අවසාන භාගයට ටිකකට යමු, Lenny විසින් Jimmy නම් Drug Dealer ව ඝාතනය කල තැනට…

මෙතැනදී Teddy කරන්නේ Lenny ලවා ඔහුට අවශ්‍යය වන ගොදුර ලබා ගැනීමටය. Teddy දුන් තොරතුරු අනුව Lenny විශ්වාස කරන්නේ Jimmy යනු ඔහු සොයන ඝාතකයා බවයි. ඊට අවශ්‍ය සාධක Teddy විසින් Lenny ට ඒත්තු ගන්වනවා.Teddy බලාපොරොත්තු වූ ආකාරයටම Lenny විසින් Jimmy ව ඝාතනය කරණවා.
මෙතන හොඳින් බැලුවොත් ඔබට පෙනෙනවා ඇති ෆිල්ම් එකේ තියෙන Timelines දෙක cross වෙන අවස්ථාව. කළු සුදු රූපරාමු වල සිට වර්ණ රූපරාමු වලට කතාව මාරුවෙන අවස්ථාව. ඒ කියන්නේ දැන්, කතාවේ අතීත සිදුවීම් සිදුවී හමාරය. Teddy මෙතනට එනකොට Lenny ඉන්නේ ටිකක් කලබල වී ව්‍යාකුල තත්වයකට පත්වීමෙනි. ඒ Jimmy සිය මරණ මංචකයේදී “Sammy” යනුවෙන් කෙඳිරිම නිසාය.

කව්ද මේ Sammy?

මේ වනවිටත් Lenny විසින් කලින් විස්තර කරන ලද Sammy Jankis ගේ සියලු විස්තර අපි දන්නෙමු. එහෙත් Jimmy කොහොමද Sammy ව දන්නේ? Lenny හොල්මන් වෙන්නේ මෙතැනදීය.

මෙහිදී Lenny හා Teddy අතර උණුසුම් වචන හුවමාරුවක් වෙනවා.
එහිදී Teddy පවසන්නේ Lenny ගේ බිරිඳ දියවැඩියා රෝගියෙකු බවත්, ඇය මිය යන්නේ Insulene අධි මාත්‍රාවක් ශරීරගතවීමෙන් බවත්ය. තවද Lenny ගේ බිරිඳ නිවසේ එදා සිදුවූ අනතුරින් මියගියේ නැති බවද Teddy පවසයි. Lenny නිතරම මතක් කරමින් කියවන Sammy Jankis යනු බොරු රැවටිලිකාරයෙකු බවත් ඔහුට බිරිඳක් නොසිටි බවත් Teddy පවසයි. මේ කියන කිසි දෙයක් Lenny පිළිගන්නේ නැත. ඔහු කියන්නේ Teddy යනු බොරුකරෙයෙකු බවත්, ඔහු පවසන සියල්ලම බොරු බවත්ය.

මෙතැනදී කතාව තවත් අවුලෙන් අවුලට පත්වෙනවා. දැන් අපි විශ්වාස කරන්න ඕන Teddy කියන එකද? Lenny ට දැනෙන දේ?

Teddy පවසන පරිදි ඔහු පොලිසියේ සේවය කරන Undercover Agent කෙනෙකි. ඔහුගේ සැබෑ නම John Gammell ය. නමුත් ඔහු භාවිත කරන නම Teddy ය. Teddy යනු වංචාකාරී පොලිස්කාරයෙකු විය හැක. එසේත් නැතිනම් Drugs deal කරන Conman කෙනෙක් විය හැක. මේ සිද්ධීන් 2ම කතාවට අනුව තර්කනුකුලය. කාලයක සිට Teddy ඉතා සුක්ෂමව Lenny ලවා ඔහුට අවශ්‍යය ඝාතන සිදු කරගන්නවා. ඒ Lenny ගේ පවතින මානසික ගැටලුව පිලිබඳ ඔහු ඉතා හොඳින් දන්නා නිසාය. Teddy, Lenny පිළිබඳව A to Z අධ්‍යයනය කර ඇති අතර, ඔහු ලවා විවිධ ජාවාරම්කරුවන් සතු මුදල් පවා උපාය ගන්නවා. Teddy බොරු ගොඩක් කියමින් මුල සිටම Lenny ව ඔහුට අවශ්‍ය පරිදි අන්දවනවා. ඔහුගේ ජාවාරම් සඳහා Lenny ව ඉත්තෙක් ලෙස යොදාගන්නවා, Lenny සොයන බිරිඳ ගේ ඝාතකයා ගෙන් පළිගැනීමේ ආවේගය, Teddy විසින් ඔහුගේ සතුරන් වෙත හරවනවා. බොහෝ විට Lenny ගේ ඇඟේ කොට ඇති Tattoo Facts වලට අවශ්‍ය දත්ත ද ඔහු සොයා ගන්නට ඇත්තේ Teddy විසින් මවන ලද හා ඒත්තු ගන්වන ලද කතා වලට අනුව විය හැකිය.

Teddy පවසන පරිදි, ඔහු Lenny ගේ බිරිඳව දුෂණයට ලක් කල අපරාධකාරය සෙවීමේ සිද්ධිය සම්බන්ධව භාරව සිටි, Officer Gammell නම් පොලිස් නිලධරියාය. මීට අවුරුද්දකට පමණ පෙර Lenny විසින් ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට උත්සහ කළ ඒ පුද්ගලයාව ඝාතනය කර තම ආශාව සංසිදුවා ගත් බවත්, එය Teddy ඡායාරූප ගත කරගත් බවටත් සාක්ෂි ලෙස Polaroid ඡායාරුපයක් ද පෙන්වයි.

Lenny ගේ බිරිඳ ඝාතනය කිරීමට උත්සහ කළ/ඝාතනය කල ඒ පුද්ගලයාව ඝාතනය කරන්න Teddy උදව් කළාද?. පොලිස්කාරයෙක් නීතියට පිටින් ගොස්, Lenny වැනි සාමාන්‍ය මනුස්සයෙකුට ඔහුගේ බිරිඳගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයාව ඝාතනය කරන්න අවස්ථාවක් ලබා දෙයි?

Teddy මෙතැනදී බොරු මෙන්ම ඇත්ත ද කියනවා යයි අපට සිතන්නට වෙනවා. මන්ද ඒ ඔහු ගෙනහැර දක්වන සාක්ෂි හා දත්ත අනුවය. Unreliable Narrator කෙනෙක් නිසා Lenny සිතන කියන දේවල් ද 100% සත්‍යය හෝ නිවැරදිව සිදුවූ ඒවා යයි විශ්වාසකිරීමට ද අපට අපහසු වෙනවා.

ඉතින් අපි මොකක්ද විශ්වාස කරන්න ඕන?

කතාවේ මුලින්ම පෙන්වන පරිදි, Teddy ට සිදුවන්නේ අවාසනාවන්ත මරණයකි. ඇත්තටම කිව්වොත් Teddy ට සිදුවන්නේ කොහෙවත් නැති මගුලක් හින්දා Lenny ගේ ඝාතන සැකකාරයෙක් වීමටය. Lenny එක්ක කරන මේ භයානක සෙල්ලම කණපිට හැරී, එය ඔහුටම පාරාවළල්ලක් වී ජිවිතයෙන් වන්දි ගෙවීමටය.

Lenny ඉහත සඳහන් කල ආරවුලෙන් පසුව Teddy ව අවිශ්වාස කිරීමටත්, Tattoo Fact – 6 ලෙස, Teddy ගේ Car එකේ License Number එක පච්චා කොටා ගැනීමත් සිදුකරගන්නවා. එදා සිට ඔහුගේ Tattoo දත්තයන් අනුව ඔහු සිතන්නේ Tattoo Fact – 6 යනු John G ගේ car එකේ License Number එක බවයි. ඉන්පසු දිනක Natalie ට Tattoo Fact – 6 ලෙස දෙන්නේ ද, Teddy ගේ එම Car එකේ License Number එකය. ඉතින් Natalie ලබාදුන් තොරතුරු ඉබේම Teddy ගේ විස්තර එක්ක ගැලපෙනවා. අවාසනාවකට ඔහුගේ නම ද John Gammell (නැතිනම් John G) වීමය. Lenny සතු අනෙක් තොරතුරු ද Teddy ගේ සාමාන්‍ය දත්ත හා අහඹු ලෙස ගැලපිමය. ෆිල්ම් එකේ මුලදී, නැත්තම් මේ මුළු කතාවේම අවසානයේ දී Teddy, Lenny අතින් වෙඩි කා මිය යනවා.

අපිට කතාවේ අන්තිම රුප රාමු තුල අපට පෙන්නනවා Car එක drive කරන් tattoo ෂොප් එකට යන අතරමගදී Lenny ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා. ඒ තුල ඔහු දකිනවා Lenny ඔහුගේ බිරිඳත් එක්ක සිටින දර්ශනයක්. එතැන හොඳින් නිරීක්ෂණය කරන්න. (මෙහි, එම දර්ශනයේ ඡායා රූපයක් ඔබගේ අවධානයට මේ සමග අමුණා ඇත.)

ඔබ දැක්කද? ෆිල්ම් එකේ කිසිම තැනක Lenny ගේ ඇඟේ කලින් දැක්කේ නැති Tattoo එකක් ඔහුගේ වම් පපුවේ කොටා ඇති අයුරුත් (I’ve Done it), ඔහුගේ බිරිඳ එය අතගාමින් සිටින අයුරුත්. මෙය Lenny විසින්ම කොටා ගත් එකක් බව පැහැදිලිව පෙනෙනවා. මෙයට අර්ථකතන, තර්ක රාශියක් ගොඩ නැගිය හැකිය. නමුත් මගේ තර්කය නම් tattoo shop එකට යාමට කලින් ඔහු කලින් සැකකරන කරන John G ව ඝාතනය කිරීමෙන් (ඔහු John G ලෙස විශ්වාස කර සිටින Jimmy ව ඊට ටික වෙලාවකට කලින් ඝාතනය කරන නිසා ඒ සිද්ධිය ඔහුගේ Short Term memory එකේ තාමත් ඇත) ඔහු සිය බිරිඳට, ඇගේ මරණයට සාධාරණයක් ඉටු කළා යන හැඟීම හා ඔහුගේ ආශාවන් සංසිඳුවා ගත්තා යන සිතුවිල්ල නිසා ඔහුගේ හිතේ මැවුණු හිතළුවක් පමණක් බවය.

මම විස්තර කරපු මේ හරියට වෙනකන් වත් කතාව, සිදුවීම් තේරුම් ගන්න නම් 4, 5 වතාවක් වත් Memento බලන්න ඕන වෙයි.

මෙතනින් ඔබ ෆිල්ම් එකේ දකින දර්ශන සියල්ල ඉවර වෙනවා.
ඒ කියන්නේ කතාව ඉවරයි… සමාප්තයි… THE END…

*****************************************************************************

මට අනුව නම් Memento ෆිල්ම් එකේ තියෙන ලොකුම අවුල තමයි, මේකේ Plot එක Twist වෙන්නේ කොතනද,කොහොමද Climax එක මොකක්ද කියල හරියට තේරුම්ගන්න අමාරු එකත්,පැහැදිළිව පෙන්නන්නේ නැති එකත් ය.

Nolan ෆිල්ම් එකේ අග හරියේදී අපිට පොඩි clue එකක් දෙනවා.

Memento ෆිල්ම් එක ළඟ තියෙන අය චිත්‍රපටයේ පැය 01 විනාඩි 30 තත්පර 02 වන දර්ශනය ඉතාම හොඳින් නරඹන්න… (ෆිල්ම් එක ළඟ නැති අය මම දාල තියෙන Screen Shot photo එක හොඳින් බලන්න, මේකේ තියෙන attached photos ටිකේ අන්තිමටම ඇති)

ඒක දැක්කද?…

මෙන්න මෙතැනදී තමයි මේ මුළු ෆිල්ම් එකේම Plot එක අනික් පැත්තටම Twist වෙන්නේ. Nolan කාරයා කිසිම හිතක් පපුවක් නැතුව අපේ ඔලුවටම, අර මං කලින් කියපු පොල්ලෙන් ගහන seen එකට එන්නේ.

ඔබට පෙනෙනවා ඇති මානසික රෝහලක පුටුවක වාඩිවී සිටින Sammy ව. පසුව ඒ පුටුවේ සිටින පුද්ගලයා අපේ කථානායක Lenny බව පෙන්වා රූප රාමුව එක් ක්ෂණයකින් මාරු වෙනවා. හොඳින් බලන්න. මේක පෙන්නන්නේ තත්පරයෙන් 1/5 ක් වගේ ඉතාම අඩු කාලෙකින්. ඕක ෆිල්ම් එක නිකන්ම බලන් ඉන්න අපිට නම් කීයටවත් පේන්නේ නෑ.

ඉතින් Lenny ගේ මානසික මට්ටමත්, ඔහු දකින, විඳින අත්දැකීමුත් සහ Teddy ට අනුව ඔහු Lenny ගේ අතීතය පිලිබඳ කියන කාරණා වලිනුත් ඇත්ත විය හැකියයි සිතිය හැකි කරුණු අනුව මම විශ්වාස කරන තර්කනයන් මෙතනින් එහාට ගොඩ නගන්නම්.

ඔබ Shutter Island, A Beautiful Mind, American Psycho, The Machinist වැනි ෆිල්ම් බලලා ඇති යයි මා සිතනවා, එසේ නම් එහි එන යම් යම් සිද්ධීන් Lenny ට ද මදක් සමීප යයි සිතන්න. (මේ ෆිල්ම්ස් සෙට් එක බලල නැත්තම් බයවෙන්න එපා, Lenny නිසා මේ ෆිල්ම් ටික spoil වෙන්නේ නෑ)

චිත්‍රපටයේ කිහිප තැනකම, Lenny තමා Amnesia රෝගියෙකු නොවන බවත් තමාට ඇත්තේ Short-term memory loss එකක් පමණක් බවත් කිහිප දෙනෙකුටම පවසයි. Lenny තමා මානසික රෝගියෙකු බව විශ්වාස කිරීමට අකමැතිය. එනිසා ඔහු ඔහුට අවශ්‍ය පරිදි ඔහුගේ fantasy ජීවිතය ගොඩනග ගන්නවා.

ඇත්තටම Lenny යනු Anterograde Amnesia මානසික රෝගයෙන් පෙළෙන්නෙකි. ඔහුගේ ඇත්ත නම Sammy Jankis ය. (ඔව්, අර Lenny ටෙලිෆෝන් එකෙන් විස්තර කරන කතාවේ ඉන්න Sammy Jankis ය. ඔහුගේ නම ඇත්තටම Sammy Jankis වුවත් ඔබේ පහසුවට Lenny ලෙසම ඉදිරියටත් හඳුන්වන්නම්) Lenny ගේ වම් අතේ පච්චා කොටන් ඉන්න “Remember Sammy Jankis” යනු Lenny ගේ ඇත්තම නමය. නමුත් ඔහුට දැන් ඔහුගේ ඇත්ත නම Sammy Jankis බවට මතක නැත. නොඑසේ නම් තමාගේ fantasy එක විසින්ම ඔහුට ඒ නම අමතක කරවා ඇත.

මේ කියන විදිහට,
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් Lenny ගේ නිවසට ඇතුළු වන්නේ වත්, Lenny විසින් වෙඩි තැබීමෙන් කිසිවෙක් මියයන්නේ වත් නැත. ඔහුගේ බිරිඳට කිසිදු කරදරයක් සිදුවන්නේ ද නැත. අනෙක් කොල්ලකරුවා එල්ල කරන ලද පහරකින් Lenny බරපතල තුවාල ලබන්නේ ද නැත. ඔහු කියන ආකාරයෙන් හිසට සිදුවන තුවාලයක් නිසා ඔහුට Short-term memory loss එකක් ඇතිවන්නේ ද නැත. මේ සම්පුර්ණ සිද්ධියම Lenny ගේ හිතළුවකි. Fantasy එකකි. මේ සියල්ලම Lenny තම fantasy එක තුල ගොඩ නගා ගත් හිතළුය.
එහෙනම් මොකක්ද ඇත්ත?

Lenny රක්ෂණ නිලධාරියෙකු වන්නට හෝ නොවන්නට ඇත. එය අපට ලොකු අදාලත්වයක් නැත. Lenny ගේ හිසට සිදුවන හානියකින් (බොහෝවිට Sammy Jankis ගේ කතාවේ කියවෙන පරිදි මෝටර් රථ අනතුරකින් විය හැක) , ඔහු සදාකාලිකවම Anterograde Amnesia රෝගියෙකු බවට පත්වෙනවා. ඔහුගේ බිරිඳට දියවැඩියාව රෝගය ඇති අතර, නිවස තුලදී insulin එන්නත් කර ගැනීමට තරම් එය උත්සන්න රෝගයක් බවට පත්වෙනවා.

ඔහුගේ මේ හදිසි අබාධයට රක්ෂණ සමාගමෙන් ද ඔහුට මුදල් ලැබෙන්නේ නැත. මන්ද එය ඔහුගේ ශාරීරික දුබලතාවයන් සඳහා පමණක් වලංගු වන අතර මානසික රෝග, දුබලතාවයන් සඳහා වලංගු නොවන නිසාය. මේ නිසා Lenny ට රක්ෂණ ප්‍රතිලාභය සියල්ලත් අහිමි වී යනවා. මේ හේතුවෙන් ඔහුගේ බිරිඳට පවුලේ වියදම් දරාගත නොහැකි තත්ත්වයකට පත්වෙනවා. ඔහුගේ මෙම හදිසි අසනීප තත්වය බිරිඳට මානසිකවද බලපානවා. ඇය ඔහුව වෛද්‍යවරුන්ට යොමු කලද කිසිදු ප්‍රගතියක් අත්වන්නේ නැත.

ඇයට Lenny ගේ මෙම අසනීපය සැබෑවක් දැයි සැකහැර දැන ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා ඇය යොදාගන්නේ ඇයගේ දියවැඩියාව සඳහා ලබා ගත යුතු Insulin මාත්‍රාව ලබා දීමට Lenny ව යොදා ගැනීමෙනි. Lenny ට Insulin එන්නත් කිරීමේ හැකියාව තවමත් ඇත. සමහර දිනවල බිරිඳට Insulin එන්නත් කරන්නේ ද Lenny විසින්මය. නමුත් Lenny ට එය මතක් කල යුතුය. මතකයේ තබාගෙන සිට, නිවැරදි වෙලාවට එන්නත ලබාදීමට තරම් Lenny ට හැකියාවක් නැත. ඉතින් ඇය සිදු කරන්නේ විනාඩි 15 කට වරක් Lenny ලවා Insulin මාත්‍රාවක් එන්නත් කරවා ගැනීමය. එම Insulin මාත්‍රාවම ඔහු ඊට විනාඩි 15 කට කලින් එන්නත් කල බව Lenny ට අමතකය. මෙලෙස කිහිපවිටක්ම බිරිඳ ඔහු ලවා Insulin එන්නත් කරවාගන්නවා. අවසානයේ ඇයට තේරුම් යනවා Lenny ට සැබෑවටම Amnesia මානසික රෝගය ඇති බවත්, ඔහු එයින් සුවවීම සිදු නොවියහැකි දෙයක් බවත්. එහෙත් ඇය ප්‍රමාද වැඩිය. Insulin අධි මාත්‍රාවක් ශරීරගතවීමෙන් ඇය එතැනම මිය යනවා. Lenny ඇය මිය යනවා දකිනවා. ඒ අවස්ථාවේ ඔහු තේරුම් ගන්නවා බිරිඳ මියගියේ ඔහුගේ මාත්‍රාවේ සිදුවූ වැරද්දක් නිසා බවට.

මේ සිදුවීම මම විස්තර කලේ, චිත්‍රපටය තුල කළු සුදු රූප රාමු වලින් පෙන්වන Sammy Jankis ඔහුගේ බිරිඳට Insulin එන්නත් කරන අවස්ථාව හා ඇය මිය යන අවස්ථාවය. ඇත්තටම ඒ සිදුවීමේ Sammy Jankis නම් අපේ කතානායක Lenny මය. Lenny ගේ බිරිඳ ඇත්තටම මියගියේ Insulin අධි මාත්‍රාවක් ශරීරගතවීමෙනි (Insulin overdose). මෙය Teddy විසින් පවසන පරිදි Lenny ගේ බිරිඳ ඇත්තටම මියගිය හේතුවට ද සමපාත වන නිසා මාගේ මේ තර්කය බොහෝ විට නිවැරදි විය හැකිය.

ඇය එහිදී සිදු කරන්නේ මාරාන්තික පරීක්ෂණයකි. Insulin මාත්‍රාවන් ගණනාවක් එකවර අවස්ථා කිහිපයකදී Lenny ලවා එන්නත් කරවා ගෙන ජීවිතයත් මරණයත් අතර කරණ සෙල්ලමකි, සියදිවි නසා ගැනීමකි. එකම වෙනස නම් Lenny මේ කිසිවක් නොදැන සිටීමය. ඇය සිතන්නේ Lenny ට කවදා හෝ මේ අසනීපය හොඳ වේ යැයි කියාය. යම් හෙයකින් Lenny විසින් ඇයට Insulin එන්නත් කිරීම මගදී නැවැත්වුවා නම් ඇයට ඔහු හොඳ කරවා ගැනීමේ කුඩා හෝ බලාපොරොත්තුවක් ඇතිවනු ඇත. අවාසනාවකට Lenny ට මේ කිසිවක් මතක නැත, ඇය මතක් කරන සෑම වතාවකම Lenny දිගින් දිගටම Insulin එන්නත් කිරීම සිදු කරනවා. ඇයට මෙහි අරමුණු කිහිපයක් තිබෙන්නට ඇත.

1. ඇත්තටම Lenny ට මානසික රෝගයක් තිබේද?, නැත්තම් මේ ඔහු ඇයව රැවටීමට කරන රඟපෑමක්?
2. ඇත්තටම Lenny මානසික රෝගියෙක් නම් ඔහුව හොද කිරීමට හැකියාවක් තිබේද?
3. රක්ෂණ වන්දිය නොලැබීම, පවුලේ අනෙකුත් වියදම් හමුවේ තවදුරටත් Lenny ගේ වෛද්‍ය වියදම් සඳහා ඇයට වියදම් කල නොහැකි වීම.
4. ඔහුගේ මෙම මානසික රෝගී තත්ත්වය දෙස බලමින් තවදුරටත් ජිවත් වීමට වඩා මරණය සුවදායක යයි ඇයට සිතීම.

අප වඩාත්ම, හදවතින්ම ආදරය කරන පුද්ගලයෙකුගේ වෙන් වීමක් දරාගැනීමට සමහරවිට අපට ලබී ඇති මුළු ජිවිත කාලයම වුවත් මදි විය හැක. අපි සමහර විට කැමතියි ඔහුට/ඇයට කලින් අපි මැරෙනවා නම්. එතකොට ඔහුගේ/ඇයගේ වියෝවෙන් අපිට දුකක් නොදැනෙන නිසා, ඒ හිස්තැනට අඩුවක් පුරවන්නට අවශ්‍ය නොවන නිසා. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් එය බියගුළු කමක්, ප්‍රශ්න වලින් පලායමක් කියල… දහස් වර සිතින් මැරී මැරී ජිවත් වනවාට වඩා මරණය ඔවුනට සුවදායක නින්දක් වන්නට ඇත…

Lenny ටත් ඔහුගේ බිරිඳටත් සිදුවුයේ මේ සංසිද්ධියමය…

බිරිඳ කලින්ම Lenny ව හැරගිය අතර, Lenny තවදුරත් ඒ ජිවිතයේ හිස්තැන් වල ජීවත්වීම ප්‍රතික්ෂේප කරණවා. ඔහු මානසික රෝහලේ සිටින විට මේ හිස්තැන් වහගන්න තමන් විසින්ම ඔහුගේ ජිවිත කතාව, ආදර කතාව මුල ඉඳන් නැවත නැවත ලියනවා. ඒකේ වීරයාත් Lenny ම තමයි. ඒ කතාව දවස ගානේ එන්න එන්නම අලුත් වෙනවා, ලස්සන වෙනවා, අලුතෙන් තව තව කෑලි එකතු වෙනවා. පිටින් බලන් ඉන්න අපිට ඒක fantasy එකක් පමණි, Lenny කියන්නේ පිස්සෙක්, ඔල්මාද කාරයෙක්, මිනීමරුවෙක්. එත් ඒ fantasy එකේ ජිවත් වෙලාම Lenny ට ඒක තමයි දැන් එයාගේ මුළු ලෝකයම. එතනින් එහාට කිසි දෙයක් ඇත්ත යයි ඔහු විශ්වාස කරන්නේ නෑ. කව්රු කිව්වත් පිළිගන්න ලෑස්තිත් නෑ.

මේ ලිපිය ලියන මමත්, කියවන ඔබත් ජිවිතයේ අපට හමුවූ සෑම අභියෝගයක්ම ජයගත් අය නොවේ. පැරදුම්, බිඳවැටීම්, ප්‍රතික්ෂේපවීම් ඕනෑ තරම් අපේ ජිවිත වල අඩු වැඩි වශයෙන් තියෙන්නට ඇත. සමහර සිත් වේදනා වලින් මදකට හෝ මිදෙන්නට අපි අපේම Fantasy ලෝක වල මොහොතකට හෝ අතරමං වන්නට කැමතිය. සිහින මවන්නට, ඒ තුල ජිවත් වන්නට කැමතිය. ඒ Fantasy ලෝක තුල අපි වීරයන් ය, අපි වැරදි කර නැත. ඒ Fantasy ලෝක වල සියල්ල සිදුවන්නේ අපේ කැමැත්ත, බලාපොරොත්තු අනුවය. ඉතිං, අපේ කතානායකයා වන Leonard Shelby (Lenny) නැත්තම් Sammy Jankis නිවැරදි හෝ වැරදි දැයි ඔබම තීරණය කරන්න.

මැගසින් බන්ධනාගාරේ ඉස්සරහ තාප්පේ මං දැකල තියෙනවා “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” කියලා ලියල තියෙනවා…
නමුත්, නිකමටවත් කවදා හෝ ඔබ සිතුවාද “මානසික රෝගීන් ද මනුෂ්‍යයෝය නොවේ දැයි” කියා…

මෙතනින් එහාට මම තවදුරටත් Memento ගැන ලියන්නට බලාපොරොත්තු නොවෙමි…

ඔබගේ සියලු ගැටළු වලට පිළිතුරු මේ පොස්ට් එක සමග නැවත චිත්‍රපටය බැලුවොත් ලැබේවි…

****************************************************************************

ඒකට හේතුවක් උනේ ගොඩක් දෙනෙක් තව ඒ වගේ ෆිල්ම් වලට Full Movie Reviews ඉල්ලලා තිබ්බ නිසයි. ඇත්තටම මට review කිරීමට උවමනා වුයේ ටිකක් භෞතික විද්‍යාව පැත්තට බර හෝ අභ්‍යවකාශ විද්‍යාත්මක පැහැදිලිකිරීම් කලයුතු වෙනත් මාදිලියක චිත්‍රපටයකි (Post එකේ Filtered Films List එක අනුව නම් Predestination හෝ Coherence වැනි චිත්‍රපටයක්).

Memento ෆිල්ම් එකට review එකක් කිරීමට මට කිසිදු අදහසක් හෝ උවමනාවක් නොතිබුණි. නමුත් ඒ තත්ත්වයට මා පත් කලේ, එම නියැදියේ සිටි ඇත්තන්ය.
බහුතරයකගේ මතය වුයේ Memento චිත්‍රපටය ඉතා සංකීර්ණ බවත්, ඒ සඳහා මේ වනතුරුත් හොඳ Full Movie Review එකක් හෝ නිවැරදි Explanation එකක් නොතිබූ බවත්යි. අවසානයේ මට Win – Win situation එකකට එන්න උනා. ඇත්තම කිව්වොත් Memento එකට Full Movie Review එකක් දෙන්න මට සිද්ධ වුණා.

Memento බැලුවේ මීට අවූරුදු ගානකට ඉස්සර නිසා කතාව ගොඩක් දුරට මට අමතක වෙලයි තිබුණේ. ඉතින් මුල ඉඳන්ම ෆිල්ම් එක බලන්න වුණා. Review එක ලියන වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඉතින් කට්ටියම set වෙලා මාව දැම්ම අමාරුවේ තරම තේරුම් ගත්තේ. ඉතිං Memento Review එක ලියල ඉවර කරන්න හිතුවට වැඩි කාලෙකුත් මහන්සියකුත් වෙන්න වුණා.

ඒ වගේම ෆිල්ම් එක තේරුම් ගන්න, සමහර තැන් දහ පාරක් විතර ආයේ ආයේත් බලන්න ඕන උනා. අන්තර්ජාලයේ තිබ්බ සමහර reviews නිසා ෆිල්ම් එකේ තිබ්බ සමහර ගැටළුකාරී තැන් ලෙහාගන්නත් මට උදව් වුණා. නමුත් මේ ලිපිය නම් ඒ කිසිම දේක පරිවර්තනයක් නෙමෙයි කියල මට විශ්වාසෙන් කියන්න පුළුවන්. ඒ හින්දා මං ගොඩනගපු සමහර තර්ක වලට වඩා වෙනස් අදහස් ඔයාලටත් තියෙන්න පුලුවන්.
Nolan උනත් Memento ෆිල්ම් එක ගැන ගොඩක් දේවල් පැහැදිලි කරන්නේ නෑ. එකේ උපකල්පන, අභිරහස් තැන් අපිටම හිතාගන්න ඉඩ අරිනවා. Youtube එකේ විනාඩි 18ක විතර video clip එකක් තියෙනවා, Nolan මේ ෆිල්ම් එකේ යොදා ගත්ත රූප රාමු හා ෆිල්ම් එකේ sequence එක මොන වගේ ද කියල පැහැදිලි කරන, හැබැයි ඔහු මේ ෆිල්ම් එකේ අපිට තියෙන ප්‍රශ්න ගැන නම් එකේදී කතා කරන්නේ නැ . Nolan පවා කියල තියෙන්නේ Memento එකේ සමහර සිද්ධීන් වලට හරියටම හරියන උත්තර නැති බවය. Nolan ත් එහෙම කියනවා නම් අපිට ඉතිං හිතාගන්න වෙන්නේ, ඒවා ඒ විදිහට උනා කියලම තමයි.

කුඩා කාලයේ සිටම Sherlock Holmes කතා කියවපු, X-Files බලපු පුරුද්ද, ඒ කතා වලින් ලැබුණු පන්නරය නිසාමදෝ මන්දා තාමත් මේවගේ ෆිල්ම්ස් වලට මම පට්ට ආසයි. මේ category එකේ ෆිල්ම් එකකට Full Movie Review එකක් දීමෙන් මම බලාපොරොත්තු වන්නේ, ෆිල්ම් එකේ නොතේරුණු තැන්, ගැටළු, අභිරහස් කරුණු සියල්ලම වාගේ කඩා බිඳ දමා විනාශ කර දැමීමටය. මට address කිරීමට අවශ්‍ය වූයේ විශේෂයෙන්ම මේ category එකේ ෆිල්ම්ස් බලන්න කැමති අයටය. අන්තිමට උනේ මොකක්ද කියල මොලේ හම යනකන් කල්පනා කරන්න ඕන ජාතියේ ෆිල්ම්ස් බලන්න කැමති කුලකයටයි.

මේ වගේ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන්නේ, ඕනෑම අයෙකුට මේ post එක කියවා ෆිල්ම් එක තේරුම් ගන්නට පහසු වන ආකාරයටය. වැඩිපුර වැල්වටාරම් ලිවුවේ, මේ category එකේ ෆිල්ම්ස් බලන්නේ ද නැති, බලන්නේ නැත්තේ ද නැති, වැට උඩ ඉන්න set එකට පයින් එකක් ගසා මේ ගොඩට ඇද දමා ගැනීමේ අරමුණෙනි.
නමුත්, ගොඩ දෙනෙකුට මේ වගේ ෆිල්ම්ස් සෙට් වෙන්නේ නැති බව ද මම හොඳාකාරවම දනිමි.

අන්තිමටම වගේ මම කැමතියි කට්ටියට Memento ෆිල්ම් එකේ ending එකකට තව තර්කයක් තනියම හිතල ගොඩනගන්න challenge එකක් දෙන්න.

Fight Club ෆිල්ම් එක බලලා ඇති නේද? හැමෝම වගේ ?

Clue – හරි, Memento එකේ ඉන්න Teddy ව Fight Club ෆිල්ම් එකේ ඉන්න Brad Pitt (Tyler Durden) ගේ character එක ට ආදේශ කරලා මුල ඉඳල Memento ෆිල්ම් එක බලන්න.

මම ඔහොමත් හිතුවා. වැඩේ ගොඩක් දුරට තාර්කිකයි, සාර්ථකයි. එත් ඕව ඔක්කොම reviews වල ලියන්න ගියොත් මට පොතක් ලියන්න වෙයි Memento ගැන.

ආතල් එකට ලියන, මගේ මේ post වල සාර්ථකත්වය හෝ ආසාර්ථකත්වය මා නොදනිමි. එය තීරණය කල යුත්තේ ඔබ මිස මා නොවේ.

(සංවාදයට විවෘතයි)

මෙතැනට වෙනකන් ඉවසීමෙන්, සංයමයෙන් මේ විකාර post එක කියවූ ඔබ සැමට ස්තුතියි,

Download
Subtitle Download

චානක කොළඹගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *