Masala Padam (2015) Tamil by Luxman Aranvala
ෆේස්බුක් යූටියුබ් වැනි සමාජ මාධ්‍යජාලා වල චිත්‍රපට ගැන අදහස් පළ කරන ඔබ අප සියලු දෙනාම නැරඹිය යුත්තක් ලෙසින් මුලින්ම නිර්දේශ කරන්නට කැමතියි. ෆේස්බුක් හි චිත්‍රපට රිවීව්ස් පළ කිරීම යනු වර්තමානයේදී හිනිපෙත්තටම නැඟි ට්‍රෙන්ඩ් එකක්. නමුත් අන්තර්ජාල යුගයට පෙර හෝ ප්‍රසිද්ධ සමාජ මාධ්‍යජාලා වල ක්‍රියාකාරීත්වය ඉහළම තළයක රැඳෙන්නට පෙරාතුව, “සිනමා විචාර” යන මාතෘකාව වලංගු වෙන්නේ “විචාරකයින්” යනුවෙන් විශේෂයෙන් හඳුන්වාදෙන පුද්ගල ඛාණ්ඩයක් සඳහා පමණයි. චිත්‍රපට විචාර කෙරෙහි කිසිම උනන්දුවක් හෝ අවබෝධයක් නැතිවම චිත්‍රපට නැරඹූ පිරිසත් ඕනෑ තරම්. නමුත් වර්තමානය වන විට තත්ත්වය බොහොම වෙනස්. චිත්‍රපටයක් නිකුත් වෙන්නටත් පෙරාතුවම සමාජ මාධ්‍යජාලා තුළින්ම එය “ෆ්ලොප්” කරවන්නට හෝ “හිට්” කරවන්නට පෙළගැසුනු ජනබලවේගයක ක්‍රියාකාරීත්වයක් දකින්නට පුලුවන්. චිත්‍රපට විචාර වෙනුවෙන්ම නම් දැරූ ජනප්‍රිය social media reviewers ඛාණ්ඩයන් බිහිවීමත් එක්කම, නිර්මාණකරුවන් ට එමඟින් තම නවතම නිර්මාණය ජනතාව අතරට රැගෙන යාම තුළ අභියෝගයක් මතුව තිබෙනවා. රිවීවර්ස්ලා ගේ මතය අනුව ජනතාව මෙය වැළඳ ගනී ද? ප්‍රතික්ෂේප කරාවි ද? ෆිල්ම්ස් හැදෙන්න ඕන රිවීවර්ස්ලා බලාපොරොත්තු වන ගුණාත්මක භාවය රැකෙන පරිදි ද? සාමාන්‍ය ජනයා ඉල්ලන මසාලා රසය ඉස්මතු වෙන පරිදි ද? මේ රිවීවර්ස්ලා ගෙ අදහස් උදහස් ගණන් ගත යුතුම ද? ජනප්‍රිය නිර්මාණකරුවන් විසින් නිපදවන ඕනෑම නිර්මාණයක් ආදරයෙන් පිළිගන්නා රසික ප්‍රජාවක් සිටී නම්, අන්න ඒ අය පිනවීමෙන් තම ලාභය උපයා ගත හැකියි නේද? ඒ අනුව සැකසුන චිත්‍රපට කර්මාන්තය තුළ උද්ගතව ඇති මේ නව අන්තර්ජාල බළපෑම ගැන කෙරෙන අපූරු කතිකාවතක් තමයි මෙහි අඩංගු වෙන්නේ.
වසර 40 ක් තිස්සේම තම රසික ප්‍රජාවට සාර්ථකව මසාලා රසය බෙදූ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ ඊට එරෙහිව හඬ නඟනා සෝෂල් මීඩියා රිවීවර්ස්ලා අතර හටගන්නා ඝට්ටනයක් තමයි කතන්දරයට පාදක වෙන්නේ. නිෂ්පාදකවරුන් දිගින් දිගටම හරයක් නැති මසාලා රසය පමණක්ම ලබා දෙමින් සිනමා රසිකයින්ගේ රසාස්වාදය මොට කරනා බවයි චෝදනාව. ලොව අනෙක් රටවල් දියුණු, ගුණාත්මක, ගැඹුරු, කලාත්මක සිනමා ඉසව් සොයා යමින් උසස් සිනමා රසාස්වාදයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නට උත්සහ දරණ අතරේ, කොලිවුඩ් සිනමාව තුළ හැමදාම එකම අච්චුවේ මසාලා රසය පමණක්ම ලබා දෙන චිත්‍රපට සියල්ලක්ම ෆේස්බුක් යූටියුබ් විචාරයන් ඔස්සේ ට්‍රොල් කිරීම තමයි මේ තරුණ පිරිසගේ කාර්‍යභාරය වෙන්නේ. එකම TV වැඩසටහනක් තුළ මසාලා නිෂ්පාදකයාත්, සමාජ ජාලා විචාරකයිනුත් මුහුණට මුහුණ හමුවී මේ අර්බූදය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවකිනුයි කතන්දරයට ප්‍රවේශය ලැබෙන්නේ.
නිෂ්පාදකයාගේ කෝණයෙන් සියල්ල නිවැරදියි. ප්‍රසිද්ධ නළු නිළියන්, ලොකු බජට් එකක්, ගුරුත්වාකර්ෂණය රහිත ඇක්ෂන්ස්, විකාරරූපී කොමඩි, ගීත පුරවපු රොමෑන්ස් ආදී වට්ටෝරුවක්ම හැමදාමත්ම ඉදිරිපත් කරන්නේ ඊට අනුගත වූ දැවැන්ත රසික ප්‍රජාවක් ඉන්නා නිසාමයි. දමිළ සිනමාවේ පතාක යෝධයින් එදා සිට අද දක්වාම තම නොනැසෙන ජනප්‍රියත්වයත් එක්ක රසිකයින් අතරේ වන්දනාමානයට පාත්‍ර වෙන්නෙත් ඒ නිසාමයි. ඒ වට්ටෝරුව පසෙක දමා කලාත්මක සම්භාව්‍ය මට්ටමකට අවතීර්ණ වෙන්නට නිෂ්පාදකයෙක්ට ඇති රුදාව මොකක්ද? කොටින්ම දුවන්නැති ෆිල්ම්ස් හදලා කර්මාන්තයක් විදිහට දැන දැනම පාඩු ලබන්නෙ මොකටද? ගොං චිත්‍රපටම හදනවා කියලා දහසක් සමාජ මධ්‍යජාලා ක්‍රියාකාරීන් කෑ ගසාවි, අපහාස උපහාස කරාවි, ලෝක සිනමාව එක්ක සංසන්දනය කරලා සාම්ප්‍රදායික දමිළ මසාලා සිනමාව තුට්ටු දෙකට දමාවි. ඒවා හේතු කාරණා කරගෙන මිනිස්සු රජිනි කාන්ත් ගෙ චිත්‍රපට නොබලා ඉඳීවිද? ඕකයි නිර්මාණකරුවාගෙ තර්කය. චිත්‍රපටයක් තුළින් රියලාස්ටික් බවම හොයන විචාරකයාගෙ චෝදනාවන් කොපමණ බලවත් වුවත් චිත්‍රපටයක් හදන්නට අවශ්‍ය කරන සම්පත් තිබෙන්නේ නිෂ්පාදකයා සතුව බවත්, ඒවා තමන්ට අවශ්‍ය කරනා පරිද්දෙන් මිශ්‍රණය කරමින්, වැඩි පිරිසක් ඉල්ලන දේ, එනම් ගැඹුරු යතාර්ථවාදී සම්භාව්‍ය සිනමාවක් වෙනුවට සිංදු ෆයිට් කොමඩි ලව් ඉමෝෂනල් වට්ටොරුවෙන්ම ඉදිරිපත් කිරීම වඩාත් සාර්ථක බවත් ඔහුගේ තර්කයයි. විචාරකයින් ගේ තර්කය වෙන්නේ මසාලා කතන්දර වලින් සිදු කරන්නේ රසිකයින් ගොනාට ඇන්දීමක් නම්, රසවින්දනය මොට්ට කිරීමක් නම්, ඇයි විචාරකයින්ටම චිත්‍රපට හදන්න බැරි? මෙන්න නිෂ්පාදකයාගෙන් අභියෝගයක් එල්ල වෙනවා තරුණ විචාරක මණ්ඩලයටම.
මාස 6 ක් කල් දෙන්නම්. මසාලා සිනමාව බල්ලට දාපු ෆේස්බුක් යූටියුබ් වීරයෝ සෙට් එක එකතු වෙලා පුලුවන් නම් හොඳ කතාවක් ලියල දෙන්න. මම ඒ කතාව නිෂ්පාදනය කරන්නම්. නිකම්ම නෙමේ, හොඳම නලුනිලියන් එක්ක හොඳම මට්ටමෙන්. ඔයාලම කියනවනම් අපි හදන චිත්‍රපට ගොං කියලා, ඔන්න ඔයාලට අවස්ථාවක් ලබා දෙන්න මම සූදානම්. ඔයාලා ඔය කියන විදිහට සිනමා නිර්මාණයක් යතාර්ථවාදී වෙන්න ඕන නම්, ප්‍රේක්ෂකයාට ඉන් උසස් රසවින්දනයක් සපයා දිය යුතු නම්, අපේ සිනමාවත් ලෝක සිනමාව හා ගුණාත්මක බවින් කරටකර ඉන්න ඕන නම්, අපිටත් උසස් සිනමා කර්මාන්තයක් තියෙනවා කියලා ලෝකෙට කෑ ගහල කියන්න ඕන නම්, මසාලා චිත්‍රපට යනු තව දුරටත් උගත් බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ අවලංගු කාසියක් නම්, ඔන්න ඔයාලට අවස්ථාවක් ලැබෙනවා මාස 6 ක් තුළ ඔයාලා ඔය කියන විදිහේ “හොඳ” චිත්‍රපට කතාවක් මට ලියල දෙන්න. මම සූදානම් ඒ “හොඳ චිත්‍රපටය” හොඳම මට්ටමින් හදලා මිනිස්සුන්ට පෙන්නන්න.
රටේ සිද්ද වෙන හැම අර්බූදයකටම ආණ්ඩුව බනින එකේ පුලුවන් නම් එක දවසකට මහඇමති පුටුවේ වාඩි වෙලා බලන්න මේ වැඩේ කොච්චර අමාරුයිද” යනුවෙන් සජීවී රූපවාහිනී වැඩසටහනකදී ප්‍රශ්න පිට ප්‍රශ්න අසමින් තමන්ව අපහසුතාවයට ලක් කරන නිවේදකයාට ප්‍රධාන අමාත්‍යවරයෙක් විසින් එල්ල කරනා අභියෝගය ඇතුළත් ‘Mudhalvan’ (1999) චිත්‍රපටයට සමාන වාතාවරණයක් තමයි මේ උද්ගතවෙලා තියෙන්නෙ. දැන් මොකද වෙන්නේ? සමාජ මාධ්‍ය ජාලා වල කෑගහපු කීබෝඩ් වීරයෝ ටික මේ අභියෝගය බාරගනීවිද? සයිබර් ලෝකෙන් එළියට ඇවිත් ඇත්තටම චිත්‍රපටයකට හොඳ කතාවක් ලියන්න මේ අයට පුලුවන් වෙයිද? මේ තමයි ෆේස්බුක් එකේ සිනමාව ගැන හෑලි ලියන අපේ කතාව.