Martin Scorsese American Film Director |Sinhala Article

Martin Scorsese American Film Director by Anushka Rasanjana De Silva

අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනය තවත් විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගැන කරන විමසුමක් වෙනවා…. අද කතා කරන මේ ජීවමාන දැවැන්ත සිනමා පෞරුෂය ලොව පුරා විවිධ රටවල සිනමා නිර්මාණකරුවන්ට ආභාෂයක් වූ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වගේම දශක හයකට ආසන්න කාලයක් චිත්‍රපට නිර්මාණකරණයේ තවමත් නියැලෙන විශිෂ්ඨ හොලිවුඩ්යේ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන නිසාවෙයි.. ඔහු මාර්ටින් චාල්ස් ස්කොසේසි…..

1942 නොවැම්බර් 17 උපත ලබන ස්කොසේසි සිනමාවට පිවිසෙන්නේ 1960 දශකයේදි…. උපාධිය වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලබන කාලයේ නෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන ස්කොසේසිගේ පළමු දිගු චිත්‍රපට නිර්මාණය 1967 වසරේ නිකුත් කරන Who’s That Knocking at My Door චිත්‍රපටයයි… ඇකඩමි සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂකවරයාට වැඩිම වතාවක් නිර්දේශ වු දෙවන අධ්‍යක්ෂකවරයා වෙන මාර්ටින් ස්කොසේසි නිර්දේශ වී ඇති වාර ගණන 9ක් වෙයි… ඔහු මුලින්ම හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි ඇකඩමි සම්මානය දිනාගන්නේ The Departed චිත්‍රපටය වෙනුවෙන් 2007 වසාර්දි වෙයි…. සිය සිනමා දිවිය තුල Psycological Triller , Crime , Balck Comady , Biographical , Sport, Musical, Darama,  Religious Epic, Children’s Adventure , Romantic වැනි විවිධ ශනාර වල චිත්‍රපට අධ්‍යක්ෂණය කල ස්කොසේසිගේ සිනමා ශෛලිය ගැන දැන් විමසා බලමු….

බොන්ග් ජුන් හෝ, ක්වෙන්ටින් ටරාන්ටිනෝ, ඩේවිඩ් ෆින්චර් , අනුරග් කාශ්‍යප් වැනි දක්ෂ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට සිනමාවේ පහන් කණුවක් වු මාටින් ස්කොසේසි නම් නිර්මාණකරුවාට සිනමා ආභාෂය ලැබිලා තියෙන බවට සඳහන් වෙන්නේ ඉතාලි නවයථාර්ථවාදී සිනමාව හරහායි.. විශේෂයෙන්ම Bicycle Thieves, Rome ,Open City, Paisa චිත්‍රපට ඔහුට ආභාෂයක් වුණු බව ස්කොසේසි පවසා ඇත… ඒ වගේම සත්‍යජිත් රායි, ඉන්ග්මාර් බර්ග්මන්, ෆෙඩ්රිකො ෆෙලිනි ඔහුට විශාල ආභාෂයක් වුණ බවත් ස්කොසේසි සඳහන් කර ඇත…

ස්කොසේසිගේ චිත්‍රපට වැදගත් ප්‍රධානම හේතුව සිනමා⁣ව විකාශනය වුන ආකාරය ගැන විමසා බලන්න හොඳම ක්‍රමය ඔහුගේ දශක හයකට වැඩි සිනමා නිර්මාණයන් වෙනවා.. ඒ චිත්‍රපට හරහා ඔහු සිනමා ශෛලියන්, අධ්‍යක්ෂණ හා සංස්කරණය ක්‍රම හදුන්වාදි තිබෙනවා….

මුලින්ම ඔහුගේ චිත්‍රපට වල පොදු ලක්ෂණයක් විදියට අපිට මොන්තාජ් කතා ශෛලිය එක්ක පසුබිම් කථනය නැත්නම් Voice Over Narration ශෛලිය දකින්න පුළුවන්…. මොන්තාජ් චිත්‍රපට ශෛලිය ගැන මීට කලින් අපි රුසියානු සිනමා ඉතිහාසය යටතේ කතා කලා…. සරලව ආපහු වතාවක් මොන්තාජ් ශෛලිය ගැන මතක් කලොත් එකම කාලයේ විවිධ සිදුවීම් කිහිපයක් හෝ එකම ස්ථානයේ විවිධ කාල වල සිදුවුණු සිදුවීම් කිහිපයක් හෝ විවිධ ස්ථාන වල එකම වෙලාවේ සිදුවීම් කිහිපයක් කෙටි කාලයකින් ඉතාමත් ඉක්මනට රූප කණ්ඩ විදියට පෙන්වීම…. මේ විදියේ මොන්තාජ් ශෛලිය ස්කොසේසිගේ බොහොමයක් චිත්‍රපට වල අපිට දකින්න පුළුවන්…

ඊළඟට කැමරාකරණය ගැන බැලුවොත් චරිත වල රිඇක්ෂන් වැඩිපුර ඉස්මතු කරන්න කැමරාව වස්තුව දෙසට හා ඉවතට ගෙන යාම සිදුකරනවා දකින්න පුළුවන්.. ඒ වගේම දිගු හඹායෑම් නැත්නම් Long Tracking Shot බහුලව ස්කොසේසිගේ චිත්‍රපට වල දකින්න පුළුවන් වෙනවා… Taxi Dreiver, Casino, Goodfellas, Gangs of New York, The Wolf of wall Streer , Hugo චිත්‍රපට වල මේ විදියේ Long Tracking Shot ස්කොසේසි යොදාගෙන තියෙනවා… Long Tracking නැත්නම් Long Take කියන එක මුල්කාලයේ කොච්චර අපහසු වුනත් මුල්කාලයේ එක තමන්ගේ අනන්‍යතාවයක් කරගත්ත සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදියට අපිට ස්කොසේසි හදුන්වන්න පුළුවන්….

ස්කොසේසිගේ චරිත ගැන බැලුවොත් ඔහුගේ චිත්‍රපට වල චරිත ගොඩනැගීම නැත්නම් Character Development ඉතාමත් විශිෂ්ඨ යැයි කිව්වොත් නිවැරදියි… ඔහුගෙ චරිත වල චිත්‍රපට ආරම්භය හා අවසානය අතර විශාල පරතරයක් දකින්න පුළුවන්… ඒ චරිත ඔවුන්ට එල්ල වෙන බාහිර බලපෑම් හරි තමන් තුළ ඇති වන මානසික අරගල නිසා විශාල ගැඹුරක් චිත්‍රපට අවසානයේ නිර්මාණය කරන ආකාරයට ස්කොසේසි තමන්ගේ චරිත ගොඩනැඟීම සිදු කරයි….

ස්කොසේසිගේ තවත් විශේෂ ලක්ෂණයක් නම් ඔහුගේ චිත්‍රපට වල සංස්කරණ ශිල්පිණියයි…. Thelma Schoonmaker නම් තුන්වරක් ඇකඩමි සම්මානය දිනු සිනමා සංස්කරණය ශිල්පිණිය ස්කොසේසිගේ පළමු චිත්‍රපටයේ සිට ඔහුගේ චිත්‍රපට තුනක හැර අනෙක් චිත්‍රපට සියල්ලගේම සංස්කරණ ශිල්පිණියයි… ස්කොසේසිගේ පලමු චිත්‍රපටය ඇය මුලින්ම සංස්කරණය කල චිත්‍රපටයත් වෙනවා…. එදා සිට ස්කොසේසිගේ චිත්‍රපට වෙනුවෙන්ම අට වරක් ඇකඩමි සම්මානයට නිර්දේශ වන ඇයට ඇනඩමි සම්මාන දිනාගන්න හැකි වෙන්නේ Raging Bell, The Aviator හා The Departed චිත්‍රපට වෙනුවෙන් වෙයි…… ස්කෝසේසිගේ චිත්‍රපට වල වැඩිම වාරයක් රංගනයෙන් දායක වු රංගන ශිල්පියා වන්නේ Robert De Niro වෙයි… චිත්‍රපට 9ක් හා කෙටි චිත්‍රපටයකට රංගනයෙන් දායක වු නීරෝට පසුව ස්කොසේසිගේ චිත්‍රපට පහක රංගනයෙන් දායක වෙන්නේ Leonardo Dicaprio වෙයි…..

මාර්ටින් ස්කොසේසි පස් වතාවක් විවාහ වී ඇති අතර මේ වන විට දරුවන් තිදෙනෙක්ගේ පියෙක් වෙයි…. මේ වනවිට දිගු චිත්‍රපට 25 ක් හා දිගු වාර්තාමය චිත්‍රපට 16ක් අධ්‍යක්ෂණය කර ඇති ස්කෝසේසි Raging Bull චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙර අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති අතර ඒ කාලයේ විශාදයට පත් වී පසුව රෝහල් ගත කිරීමෙන් පසුව දැඩි ලෙස රෝගාතුර වී ඇත… ඉන්පසුව ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි රොබට් ඩී නිරෝ ස්කොසේසිට පවසා ඇත්තේ, “ජීවත් වෙනවාද මැරෙනවාද ඒක ⁣ඔයා තීරණය කරන්න…ජීවත් වෙන්න ඕන නම් අපි ෆිල්ම් එකක් හදමු…” ඒ අනුව පසුව නිර්මාණය වුණු ඇකඩමි සම්මාන අටකට නිර්දේශ වුණු රොබට් ඩි නිරෝට හොඳම නළුවා සම්මානය ලබා දුන් චිත්‍රපටය Raging Bull වෙයි….

ඒ විදියට අද විමසා බැලුවේ හොලිවුඩයේ දක්ෂ ප්‍රවීණ මාර්ටින් ස්කොසේසි පිළිබඳවයි…ඉතිං සුපුරුදු පරිදි මේ විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයා ගැන අදහස් දැනුම බෙදාගන්නට අාරාෂනා කරමින් ඔහුගේ වචන කිහිපයක් සමඟ ලිපිය අවසන් කරන්නම්…

“සිනමාව කියන්නේ රාමුවෙන් ඇතුලේ තියෙන දේ හා රාමුවෙන් පිට තියෙන දේ ගැන කාරණාවක්….”

අනුෂ්ක රසාංජන ද සිල්වා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *