Marlina the Murderer in Four Acts (2018)
ඉන්දුනීසියානු සිනමාව මොනතරම් උසකින් තියනවද කියන කාරණය පිළිබඳව හොඳම උදාහරණයක් තමයි මම අද කතා කරන්න යන Marlina the Murderer in Four Acts කියන චිත්‍රපටිය. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 93 පමණ වනවා. මර්ලීනා නමැති වැන්දඹු කාන්තාවක් වටා තමයි මෙහි කතාව දිවයන්නේ. නමින් කියවෙන ලෙසම කොටස් හතරකින්, එසේත් නැතිනම් ජවනිකා හතරකින් මෙම චිත්‍රපටිය සමන්විතවනවා;
First Act: The Robbery
Second Act: The Journey
Third Act: The Confession
Fourth Act: The Birth
මෙය Anthology කාණ්ඩයේ චිත්‍රපටියක් නම් නොවෙයි. චිත්‍රපටියේ කතාව කොටස් හතරකට බෙදා ඉදිරිපත් කිරීමක් පමණයි සිදුවන්නේ.
ඉන්දුනීසියාවේ Sumba දිවයිනේ රූගත කර ඇති මෙම චිත්‍රපටිය තුළ ඉන්දුනීසියානු ජන සමාජයේ පවතින ඇතැම් ප්‍රවාද සහ විශ්වාසයන් ඇතුළත් කර තිබෙනවා. ටැරෙන්ටියානු සිනමා ආභාෂයට අනුව නිමැවුනු ස්වභාවයක් චිත්‍රපටිය තුළ වරින් වර දකින්නට පුළුවන්. එය සමස්ත ඉන්දුනීසියානු සිනමාවටම පොදු ලක්ෂණයක්. ඔවුන් තම චිත්‍රපටි සඳහා හොලිවුඩයෙන් අභාෂය ලබා ගෙන අනතුරුව එම චිත්‍රපටිය තුළට ඉන්දුනීසියානු සංස්කෘතිය, කලාව, සංගීත, සාහිත්‍යය, එදිනෙදා ජන ජීවිතය, සම්ප්‍රදාය සහ ජනකතා වැනි ඔවුන්ටම ආවේණික ‘ඉන්දුනීසියානු ගතිලක්ෂණ’ ඇතුළත් කරනු ලබනවා. අවසාන ප්‍රතිඵලය වන්නේ විශිෂ්ඨ ගණයේ සිනමාපටයක් නිර්මාණය වීමයි.
මර්ලීනා ජීවත් වන Sumba දිවයින කඳු ගැට වලින් වැසී ගිය වියළි භූමි ප්‍රදේශයක්. එම භූමි දර්ශන දකින තැනැත්තෙකුට ක්ලින්ට් ඊස්වුඩ්ගේ කව් බෝයි චිත්‍රපටි සිහිපත් වීම නොඅනුමානයි.එසේම සාමාන්‍ය සම්මතයට අනුව Sumba දිවයින කාන්තාවන් සඳහා අනතුරුදායක ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.
මර්ලීනා යනු වැන්දඹුවක්. ඇය විසින් ඇති කළ හරකුන්, ඌරන් සහ කුකුළන් හොරකම් කිරීම සඳහා සත් දෙනෙකුගෙන් යුතු සොර කණ්ඩායමක් පැමිණෙනවා. එයින් දෙදෙනෙක් හරකුන් සහ ඌරන් රැගෙන නැවත පිටව යනවා. ඉතිරි පිරිස ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමට සැරසෙනවා. එහෙත් මර්ලීනා විසින් උපක්‍රමශීලීව සොරුන් සිව් දෙනෙකුගේ ඉරණම විසඳනු ලබනවා. නමුත් සොර මුලෙහි නායකයා වන මාර්කුස් ඇයව දූෂණය කරනවා.
මේ සියල්ල සිදු වන්නේ මර්ලීනාගේ මියගිය සැමියා ඉදිරියේදී වීම කණගාටුවට කරුණක්. (මිය ගිය අයව ‘මමී’ ලෙසට සකස් කර නිවසෙහිම තබා ගැනීම Sumba වැසියන්ගේ සම්ප්‍රදායකි). උරහිස දෙපස දෑත් පටලවාගෙන වාඩී වී සියල්ල දෙස බලා සිටින මර්ලීනාගේ සැමියාගේ මෘත ශරීරය චිත්‍රපටිය තුළ ඇති ප්‍රබල සංකේතාත්මක ඉදිරිපත් කිරීමක්
එයින් පසුව මර්ලීනාගේ ජීවන චක්‍රයෙහි ස්වභාවය චිත්‍රපටිය තුළින් දිගහැරෙනු ලබනවා.
මෙම චිත්‍රපටිය තුළ මා දකින සුවිශේෂීම ලක්ෂණ ද්විත්වය වන්නේ චිත්‍රපටිය තුළ හඬ භාවිතා කිරීමේ දක්වා තිබූ දක්ෂතාවය සහ කැමරාකරණයයි.
සම්පූර්ණ චිත්‍රපටිය සඳහාම ඇත්තේ එක soundtrack එකක් පමණයි. එයද භාවිතා වන්නේ යම් ජවනිකාවක් ආරම්භයේදී සහ අවසානයේදී අතරමැද අවස්ථා දෙක තුනකදීත් පමණයි. ඉතිරි මුලු කාලයම සුළඟේ හඬ, ඇවිලෙන ලිපක දර පතුරු දැවෙන හඬ, මිනිස්සුන්ගේ කතාබහ ආදී පරිසරයේ ඇසෙන ඉතා සියුම් ශබ්ද පවා විශිෂ්ඨ ලෙස චිත්‍රපටිය තුළට ප්‍රතිනිර්මාණය කර ගැනීමට නිර්මාපකයින් සමත්ව තිබෙනවා. ඉතා කුඩා හඬකින් වුවද හැඟීමක් නිර්මාණය කර පෙන්වීම විශිෂ්ඨයි; මර්ලීනාගේ චිත්ත අභ්‍යන්තරයේ දැවෙන කෝපාග්නියේ ශබ්දය ඇයට පසුපසින් ඇවිලෙන ලිපෙහි දර පතුරු දැවෙන හඬින් නිරූපණය කර තිබෙනවා.
කැමරාකරණය ගැන තනි වචනයකින් පැවසුවහොත් එය ‘අග්‍රගණ්‍ය’ යි.
විදේශීය සිනමා උළෙල බොහෝ ගණනකදී සම්මානයට පාත්‍ර වුනු Marlina the Murderer in Four Acts චිත්‍රපටිය නොමඳ චිචාරක පැසසුම් වලටද ලක් වුනු, ඉන්දුනීසියානු සිනමාවේ විශිෂ්ඨත්වය කියාපාන තවත් එක් චිත්‍රපටියක්. මෙහි සම්පූර්ණ ධාවන කාලය තුළදීම ප්‍රේක්ෂකයා “ඊළඟට මොකද්ද වෙන්නේ?” යන කුතුහලය තුළ රඳවා ගැනීමට අධ්‍යක්ෂකවරිය සමත්වී තිබෙනවා. කාන්තා කේන්ද්‍රීය චිත්‍රපටියක් වුවද අනවශ්‍ය අයුරින් කාන්තා නිදහස හෝ සමානාත්මතාවය උළුප්පා විකෘතියක් නිර්මාණය කර නොමැති වීම පිළිබඳව අධ්‍යක්ෂකවරියට විශේෂ ස්තූතියක් හිමි විය යුතුයි.
ස්වභාවධර්මයෙන් පවා ස්ත්‍රිය නිමා ඇත්තේ දරාගෙන සිටීම සඳහායි. මාස නවයක් දරුවකු කුස තුළ හොවාගෙන පෝෂණය කිරීම කාන්තාවන්ට පමණක් කළ හැකි වන්නේ ඒ නිසායි. නමුත් යම් දිනයක කාන්තාවකගේ ඉවසීමත් දරාගැනීමත් යම් දිනයක නිම වන්නේද එදිනට සිදුවන්නේ කුමක්ද යන්න මෙම චිත්‍රපටිය තුළින් අපූරුවට ඉදිරිපත් කර තිබෙනවා.