Malik (2021) Malayalam | Sinhala Article

Malik (2021) Malayalam

? Spoiler Alert!

8.7/10 · IMDb

Malik යනු අධ්‍යක්ෂක මහේෂ් නාරායන්ගේ තුන්වන සිනමා නිර්මාණයයි. නාරායන් අධ්‍යක්ෂණය කළ Take Off සහ C U Soon වැනි නිර්මාණ නිර්මාණ ඔබ නරඹා තිබෙනවා නම්, මෙම අධ්‍යක්ෂකවරයා තුල අඳුරු සංකීර්ණ තේමාවන්ට ඇති රුචිකත්වය ඔබ‍ට වටහා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ජාතිවාදය සහ ත්‍රස්තවාදය වැනි සංකීර්ණ තේමාවන් ඔහු අධ්‍යක්ෂණය කළ Take Off චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කළා. Malik චිත්‍රපටය තුලද මෙවැනි සමාන තේමාවන් ඇතුලත් වූවත්, ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමක් Malik හරහා ඉදිරිපත් කරනවා. Political Crime Thriller ගණයට අයත් Malik තුලින් ඔබ‍ට පෙන්නුම් කරන්නේ ජන සමගිය වෙනුවෙන් කටයුතු කළ දැවැන්ත චරිතයක් සම්බන්දවය. නාරායන්ගේ සුපුරුදු තේමාවන්ගේ දිගුවක් ලෙස පෙන්නුම් කළත්, ඔහුගේ පෙර නිර්මාණයන් අභිබවා යන ප්‍රභල සමාජ දේශපාලනික අධ්‍යනයක් මෙය හරහා ඉදිරිපත් කරනවා. මෙය නරඹන අතරවාරයේ මනී රත්නම් අධ්‍යක්ෂණය කළ Nayakan චිත්‍රපටයද මතකයට නැගුනා. කතාවන් මූලික වශයෙන් වෙනස් වූවත් Nayakan හි වේලු සහ Malik හි අපට හමුවන සුලේමාන් බොහෝ සෙයින් සමාන වනවා. විශේෂයෙන්ම එම චරිතයන් සමාජය තුල නිර්මාණය වූ ආකාරය සහ ඔවුන්ගේ පොදු අරමුණු එක තැනකට පැමිණෙනවා.

චිත්‍රපටය ආරම්භ වන්නේ මහළු වියේ සිටින සුලේමාන් නොහොත් අලී ඉක්කාගෙන්. සුලේමාන් යනු ඔහු ජීවත් වන ප්‍රදේශයේ ජනතාවගෙන්, බොහෝ සෙයින් භක්තියට සහ ඇගයීමට ලක්වූ නායකයෙක්. බහුතරයක් දෙනාගේ මතය අනුව සුලේමාන් යනු අසාදරණයට එරෙහි වූ, පීඩිතයාගේ පැතිකඩින් සිට ගත් නායකයෙක්. මෙහි මුල් දර්ශනයන් තුලම සුලේමාන්ට එරෙහිව ඇති ත්‍රස්ත චෝදනාවක් හමුවේ ඔහුව අත්අඩංගුවට පත් වනවා. නමුත් මෙම අත්අඩංගුව පිටුපස ප්‍රභල දේශපාලනික කුමන්ත්‍රණයක් ඇතුලත් වනවා. සුලේමාන් බහුතරයක් ජනයාගේ ආදරය සහ ගෞරවයට පාත්‍ර වූවත්, ඔහුව වෙනස් ආකාරයට අර්ථ දැක්වූ පිරිසක්ද අසල සිටියා. සුලේමාන් ඉස්ලාම් ආගම ඇදහුවත්, සෑම පුද්ගලයෙකු දෙස විමසුවේ විවෘත ඇසකින්. නමුත් වර්තමානයේදී කලක් ඔහු සමග එක්ව සිටි කතෝලිකයින් ඔහුට විරුද්ධ වනවා. මෙම ප්‍රජාවෙන් බහුතරයක් ඔහුව මැරිය යුතුයි යන මතයේද සිටිනවා. ඔහුගේ මවද සුලේමාන්ට විරුද්ධව යම් සිදුවීමක් සම්බන්දයෙන් සාක්ෂි ලබාදී තිබෙනවා. බහුතරයක් මුස්ලිම් ප්‍රජාවගෙන් ආදරය සහ ගෞරවය ලබා ගත් සුලේමාන්ට, ඔහුව හැදූ වැඩූ මවද එරෙහි වන්නේ කුමන හේතුවක් මතද?. සැබවින්ම සුලේමාන් කව්රුන්ද?.

Mahesh Narayanan
Mahesh Narayanan

චිත්‍රපටයේ එක් ප්‍රභල දර්ශනයක සුලේමාන්ගේ මව ප්‍රකාශ කරනවා : “අවුරුදු හයේදී සුලේමාන් මැරෙන්නම ගියා. මම දැන් ප්‍රර්ථනා කරනවා ඔහු එදා මැරුණානම් හොඳයි කියලා “. තමන්ගේ ලෙයින් වැදුණු දරුවෙකුට මවක් මෙවැනි බරපතල ප්‍රකාශයක් ලෙහෙසියෙන් සිදු කරන්නේ නැත. නමුත් බහුතරයක් දෙනාගේ ආදරයට පාත්‍ර වූ මෙම චරිතයේ ඔබත් මමත් නොදන්න අඳුරු සංකීර්ණ පැතිකඩක් ඇති බව අඟවන ප්‍රභල දෙබසක් මෙය. ඒ සමගම මව සහ සුලේමාන් අතර ඇති සම්බන්දය අර්බුදකාරී බවද මින් අඟවනවා. එම මවගේ ප්‍රකාශයේ හරි වැරැද්ද කෙසේ වෙතත්, එහි විශාල පසුබිම් කතාවක් ඇතුලත් වනවා. එම පසුබිම් කතාව, සුලේමාන්ගේ චරිතය දශක කිහිපයක් හරහා වර්ධනය වූ ආකාරයෙන් පෙන්නුම් කරනවා. සුලේමාන්ව ඔහුගේ මවගේ භාෂාවෙන් විස්තර කලොත්, කුඩා කළ සිටම කැලේ පැනපු කොල්ලෙක්. පියාද නොමැතිව ඔහුගේ මවට සුලේමාන් සහ ඔහුගේ සහෝදරියව උස් මහත් කිරීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වනවා. නිසි පාසැල් අධ්‍යාපනයක්ද නොමැතිව කුඩා කාලයේ පටන් නීතී විරෝධී ක්‍රියාවන්ට සුලේමාන් යොමු වනවා. ඔහු මෙයට යොමු වන්නේ චන්ද්‍රන් නම් ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම යටතේ. නමුත් මොනයම් ආකාරයේ නීතී විරෝධී ක්‍රියාවක් සිදු කළත්, සුලේමාන් තුල දැඩි මානුෂීය පැතිකඩක්ද තිබෙනවා. ධීවර වෙළඳාමේ මතුපිටින් යෙදුනත් සුලේමාන් සහ ඔහුගේ මිත්‍රයෙකු වන ඩේවිඩ් සමග වෙනත් නීතී විරෝධී වෙළඳාම් කිහිපයකටම සම්බන්ද වනවා. මොවුන් ජීවත් වන්නේ රමාදපාලි නම් ධීවර ගම්මනයකයි. මෙහි ප්‍රධාන වශයෙන් සිටින්නේ මුස්ලිම් සහ කතෝලික ප්‍රජාවයි. අතීතයේ මෙම ප්‍රජාවන් සමගියෙන් සිටියත්, කාලයත් සමග ඔවුන් අතර ගැටුම් වර්ධනය වනවා. මෙය අතරවාරයේ සුලේමාන් ඔහුගේ මිත්‍රයාගේ නැගණිය වන රොසලීන් සමග පෙමින් බැඳෙනවා. සුලේමාන් මුස්ලිම් ජාතිකයෙක් සහ රොසලීන් කතෝලික ජාතිකයෙක් වූවත්, ඔවුන්ගේ ප්‍රේමයට ආගම ජාතිය බාදාවක් නොව. නමුත් පිටත සමාජයේ ඇති වාතාවරණය කෙමින් වෙනස් වනවා. විවිද දේශපාලනික කුමන්ත්‍රණයන් හමුවේ රමාදපාලිහි සිටින ජන ප්‍රජාවන් අතර සමගිය කෙමින් ගිලිහී යනවා. සුලේමාන් මෙයට ප්‍රභලව විරුද්ධ වනවා. අවසානයේ ප්‍රචණ්ඩත්වය ඊට පිළිතුරක් ලෙස භාවිතා වන අතර සුලේමාන්ද එහි කොටස්කරුවෙක් වනවා. අතේ ලේ තවරා ගත් කළ එයින් ලෙහෙසි පහසු ගැලවීමක් නැත. සුලේමාන් ඇතුළු ඔහු නියෝජනය කළ ජනයාට සිදු වන්නේ කුමක්ද?. මෙය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමයි.

Sushil Shyam

Malik යනු narrator’s ලා තිදෙනෙකුගෙන් ඉදිරිපත් වන කතාවක්. මෙයට narrators ලා තිදෙනෙක්ම යොදා ගැනීමෙන්, විවිද ආකාරයේ point views පෙළක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා. කලකට පසු ඉන්දීය සිනමාව තුල දුටු සාර්ථකම narration එකක් Malik තුල ඔබ‍ට දැක බලා ගන්නට පුළුවන්. මෙම කාරණය නිසාම චිත්‍රපටයේ මූලික අවධානය සුලේමාන්ගේ චරිතයට පමණක් නොව, එම චරිතයේ වත්මන් තත්වය ගොඩ නැගීමට දායක වූ අනිකුත් චරිතයන්ගේ දැක්මද ඔබ‍ට දැක බලා ගන්නට පුළුවන්. මෙය මෙහි අධ්‍යක්ෂක සහ තිර රචක මහේෂ් නාරායන්ගේ සාර්ථක ඉදිරිපත් කිරීමක්. ඒ සමගම මෙහි ආරම්භයේ ඇතුලත් වන විනාඩි 13 ක continuous long shot දර්ශනය, සුලේමාන්ගේ ලෝකයට නරඹන්නාව ඇතුළු කරන්නට දායක වූ ප්‍රභල දර්ශනයක්. ඒ සමගම සුලේමාන් ඇතුළු බහුතරයක් චරතයන් වලට, මහ මුහුදද ප්‍රධාන සංකේතයක් කරමින් ඉතා අපූරුවට සම්බන්ද කර තිබෙනවා. මෙහි ප්‍රධාන මාතෘකාවක් වන ජනවාර්ගික ගැටුමේදී, එය මුස්ලිම් කතෝලික ගැටුමට වඩා ඔබ්බට ගිය සංකීර්ණ දේශපාලනික කාරණයක් බව Malik හරහා පෙන්නුම් කරනවා. එය හරහා දූෂිත සමාජය ක්‍රමවේදයක් නිර්මාණය වන ආකාරය සහ එම ජරාජීර්ණ ක්‍රමය හමුවේ මිනිසා අවස්ථාවාදී වී එකිනෙකාව පාවා දෙන තැනට පත්වීමද, Malik හරහා ප්‍රභලව විග්‍රහ කළ කාරණයක්. ඒ සමගම ප්‍රචණ්ඩත්වය වැනි දෙයකට අත තැබුවොත්, මිනිසාට ඉන් ලෙහෙසි පහසු ගැලවීමක් නැත. මෙම චිත්‍රපටයේ සුලේමාන් ඇතුළු බහුතරයක් චරිත මෙම අදහසින් අර්ථ දැක්විය හැක.

Fahadh Fasil නැවත වතාවක් ඔහු ඉන්දියානු සිනමාව සහ මලයාලම් ඔසවා තැබීමට දායක වන දක්ෂ රංගන ශිල්පියෙක් බව Malik හරහා පෙන්නුම් කරනවා. තරුණ අවදියේ පටන් වැඩිහිටිවිය දක්වා දිව යන සුලේමාන්ගේ චරිතයේ සෑම සංකීර්ණ පැතිකඩක්ම Fahadh Fasil ගේ විශිෂ්ට රංගනය හරහා පෙන්නුම් කළා. එක්‌ කාල සීමාවන් තුල සුලේමාන්ගේ චරිතය වර්ධනය වන ආකාරය Fasil ඉතා හොඳින් ග්‍රහණය කර තිබුනා. රොසලීන්ගේ චරිතය රඟ දැක්වූ Nimisha Sajayan ද තවත් අභියෝගාත්මක රංගනයක් ඉදිරිපත් කරනවා. ඇගේ චරිතය තුලත් තරුණ වියේ සිට මහළුවිය දක්වා වර්ධනය වූ ආකාරය ඉතා අපූරුවට නිමිෂා විසින් ඉදිරිපත් කළා. මෙම රංගනයන් දෙකට අමතරව තවත් සිත් ඇදගන්නාසුළු රංගනයක් ඉදිරිපත් කළේ ඩේවිඩ්ගේ චරිතය රඟ දැක්වූ Vinay Forrt විසින්. සුලේමාන්ගේ ව්‍යාපාරයන්ගේ සහකරුවා, මස්සිනා සහ පසු කාලීනව ඔහුට එරෙහි වන පුද්ගලයෙකු දක්වා ගමන් කළ ඩේවිඩ්ගේ චරිතයට උපරිම සාදාරණයක් ඉෂ්ට කිරීමට Vinay Forrt සමත් වුනා.

Mahesh Narayanan

චිත්‍රපටයේ Sanu Varghese ගේ සිනමාකරණයද ප්‍රධාන වශයෙන් කැපී පෙනුණු සාධකයක්. විශේෂයෙන්ම මා ඉහතදී සඳහන් කළ විනාඩි 13 ක කාල සීමාවක දිවෙන ආරම්භක continuous long shot එක ඇතුළුව තවත් දර්ශන පෙළක් මෙය සනාථ කරනවා. ඒ සමගම Sushil Shyam ගේ සංගීත අධ්‍යක්ෂණයද චිත්‍රපටයේ රළු ප්‍රචණ්ඩකාරී වාතාවරණය ඉස්මතු කිරීමට ප්‍රභලව දායක වුනා.

 

Malik යනු ඔබ විසින් නැරඹිය යුතුම විශිෂ්ට සිනමා නිර්මාණයක්‌.

Initial release: August 3, 2021 (India)
Director: Mahesh Narayanan
Budget: est. ₹27 crore
Producer: Anto Joseph
Cinematography: Sanu Varghese

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *