Malena (2000) Italian | Sinhala Article

Malena (2000) Italian by Hansini Kavindi

ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ

#Malena (Spoiler Alert)

“Many sins are forgiven her, because she has loved very much.”
(Jesus’s words on St Mary Magdalene)

(ඇයට ඇයගේ බොහෝ පව් සමාකර ගත හැකිය. මන්ද ඇය බොහෝ සෙයින් ආදරය කර ඇති බැවිනි.)

මගේ ජීවිතය තුළ මට හමු වී ඇති ගැහැනුන් අතරින් මා සිත තදින් පැහැරගත්, ඔවුන්ට ප්‍රේම කිරීමට තරම් මා තුළ පෙළඹවීමක් ඇති කළ ගැහැනුන් ඇත්තේ ඉතාමත් අතළොස්සකි. ඒ අතරින් ඇයට හිමිවන්නේ මුල් පෙළ ස්ථානයකි. ස්ත්‍රියක වන මා ස්ත්‍රියකට ප්‍රේමකිරීම සම්බන්ධයෙන් කතාකිරීම ඔබට පුදුම එලවනසුළු දෙයක් විය හැකිය. ඇතැම් විට එය ඔබ වරදවා වටහාගන්නට ද හැකිය. නමුත් “ප්‍රේමය” වූ කලී හුදු ආකර්ෂණයෙන් සහ ලිංගිකත්වයෙන් ඔබ්බට ගිය, සීමා බන්ධනයන්ගෙන් මිදුණු හද ගැඹුරින් පැන නගින්නා වූ හෘදයාංගම හැඟීමක් බව අවබෝධකරගත් කල ඔබ නිසැකයෙන්ම එය කෙබඳු හැඟීමක් දැයි වටහාගනු නිසැක ය.

ග්‍රීක දෙවඟනකගේ රූපකායක් බඳු ඇගේ අසහාය රූප සෞන්දර්යයෙන් ඈ මගේ හදවත කුල්මත් කළාය.

ඇගේ අවිහිංසක බව කැටි වූ සුන්දර දෑස් ඒ මුළු කාලය පුරාවටම වචනයෙන් කිව නොහැකි දහසක් දේ ගොළු බසින් මගේ හදවත අභ්‍යන්තරයට කෙඳිරුවේ ය.

ඈ සුරූපී “මලීනා ස්කෝඩියා” ය.

ස්ත්‍රිය වූ කලී ස්වභාවධර්මයේ වඩාත් සුන්දරතම සහ සියුමැලිම නිර්මාණයන්ගෙන් එකකි. එමෙන්ම ඒ සියුමැලි සුන්දර බව හේතුවෙන්ම ඈ ලොව වඩාත්ම තර්ජනයට ලක්වන තැනැත්තිය ද වන්නී ය.
“Malena” යනු එලෙස තර්ජනයට ලක්වන “ස්ත්‍රීත්වයේ” කතාන්දරය යි. ඈ ස්ත්‍රීන් වන අප සියල්ලන්ගේම ආත්මය පතුළේ සැඟවුණු දුක් වේදනා නිහඬවම ලොවට හඬගා කියන්නී ය.

හමුදා නිළධාරියෙකුගේ ආදරණීය බිරිඳ වූ සුරූපී මලීනා සිය සැමියා යුධ සේවයට පිටත් වූ පසුව වයස්ගත පියා සමගින් තනිව වාසය කළාය. නව යොවුන් වියේ ගැටවරයන්ගේ සිට මහල්ලා දක්වා ඇය නගරයේ සියලුම පුරුෂයන්ට ආශාවේ උල්පතක් විය. ඇයගේ එකදු ඉඟියක් හෝ සිනා බැල්මකින් තොරව ඔවුන් සිතින් සිය දහස් වාරයක් ඇය සමග රමණයේ යෙදෙන්නට ඇත. එමෙන්ම සිය අසහාය රූ සපුව හේතුවෙන් ඇය නගරයේ ස්ත්‍රීන්ගේ ඊර්ෂ්‍යා පරවශ කුහක සිතුවිලිවල තුච්ඡ ගොදුරක් බවට ද පත් වූවා ය.

“රෙනාටෝ” ද මෙලෙස ඇය පසුපසින් පැමිණි නව යොවුන් ගැටවරයෙකි. අහසට පොළව මෙන් විශාල වයස් පරතරයක් තිබුණ ද අතිශය ස්වාභාවික වූත්, ජීව විද්‍යාත්මක වූත් ඔහුගේ නව යොවුන් වියේ කායික සහ මානසික උත්තේජනයන් සඳහා කදිම තෝතැන්නක් වූයේ සුරූපී මලීනා ස්කෝඩියා ය. ඔහුගේ සෑම සුන්දර සිහිනයකදීම යහන සරසන ලද්දේ ඈ විසිනි. නමුත් මා ඔහුව දකින්නේ මලීනාගේ පියාත්, සැමියාත් හැරුණු කොට ඒ නගරයේ විසූ ඇයට සැබැවින්ම ආදරය කළ එකම තැනැත්තා වශයෙනි.

මලීනාගේ ජීවිතය නාය යෑම ආරම්භ වන්නේ ඇයගේ සැමියා යුධ බිමේ දී මියගිය බවට වන පුවත සැලවීමත් සමගිනි. සියල්ලන්ම ඔහු වෙනුවෙන් උත්තමාචාරයන් පවත්වද්දී ඇය නිහඬවම ශෝකය දරාගනිමින් වැළපුණා ය. නගරයේ ස්ත්‍රීන් සිය විෂ පිරුණු මුඛයෙන් ඇයව ගණිකාවක බවට පත්කළේ ඇයගේ සැමියා මියයන්නටත් ප්‍රථමයෙන් ය. ඔහු මියගිය පුවත සැලවීමත් සමග ඈ කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වූ පුරුෂ ආකර්ෂණය හමුවේ ඔවුන්ගේ ඒ දරුණු ප්‍රතිචාරයන් තව තවත් වැඩි වූයේ ඇගේ රූමත් බව සහ එකී ආකර්ෂණය පිළිබඳව ඔවුන් තුළ වූ ඊර්ෂ්‍යා සහගත බව මැනවින් පිළිබිඹු කරවමිනි. සෑම පුරුෂයෙකුම සිටියේ ඈව ගොදුරු කරගැනීමට කුරුමානම් අල්ලමිනි. සෑම ගැහැනියකම සිටියේ ඇයව දූෂිත ඕපාදූපයක ගොදුරක් කරගැනීමට මාන බලමිනි. සැබැවින්ම ඇය අහිංසක විය. නමුත් ඇය නොදැනුවත්වම ඈ වටා සමාජය ඈට එරෙහිව පෙළගැසෙමින් තිබිණි.

වැන්දඹු ස්ත්‍රියක වෙත පුරුෂයින් ළඟාවන්නේ බොහෝවිට ඇයව කෙළි බඩුවක් බවට පත්කරගැනීමේ අපේක්ෂාවෙනි. වියළී ගිය දිවි කතරට ප්‍රේමයේ දිය පොදක් අපේක්ෂාවෙන් ඈ මහත් බලාපොරොත්තු තබාගනිමින් ළංවන උසස් හමුදා නිළධාරියා පවා ඇයව අවස්ථාවාදී ලෙස හැරයන්නේ ඒ බව මනාව පසක් කරවමිනි. ඇයගේ පියා මියයන්නේ ද මේ අතර ය. අවමංගල්‍ය උත්සවයේදී ඇයගේ කම්මුල් සිපගනිමින් ඇයට ශෝකය ප්‍රකාශකිරීමට පැමිණි පුරුෂයන් දිගු පෝලිමකි. ඔවුන් ඇයගේ කනට කර පැවසුවේ ඈ වෙනුවෙන් ඔවුන් සිටින බවයි. සැබැවින්ම ඔවුන් පැමිණියේ ඈ වෙනුවෙන් ද? කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වන ඇය සියල්ලන්ගේම ගොදුරක් බවට පත්වීම ආරම්භ වන්නේ එතැන් සිට ය. ඇයට මෙලොව කිසිදු හව්හරණක් නොවී ය. ඈ වෙත ළඟා වූ සියලු පුරුෂයින් ඇයට සැපයූ සෑම සේවයක් වෙනුවෙන්ම ඇයගෙන් බලාපොරොත්තු වූයේ එක් දෙයකි. ඒ ඇගේ ශරීරයේ පහස පමණි. අතමිට කාසි හිඟ වෙද්දී, කුස පතුළෙන් නැගී ආ ගින්දර ශරීරය දවා අළු කරද්දී සිය ශරීරය උකසට තබනු හැර ඇයට වෙන විකල්පයක් නොවී ය. නමුත් ඈ ඒ කිසිවක් සිදුකළේ කැමැත්තකින් නොවේ. සැමදා ඇය හදවතට තුරුළුකරගෙන සිටියේ සිය සැමියා සමගින් හිනැහෙමින් සිටි මංගල ඡායාරූපය යි. ඇයගේ මුළු හදවතම පිරී පැවතුණේ ඔහුගෙනි.

ඉතින් අප ප්‍රශ්න කළ යුත්තේ කවුරුන්ද?
ජීවිතය ගැටගසා ගැනීම වෙනුවෙන් සිය ශරීරය උගසට තැබූ මලීනාව ද?
නැතිනම්,
පාන් කැබැල්ලක්, කිරි ටිකක් වෙනුවෙන් සිය ශරීරය උගසට තබන තත්වයට ඇයව පත් කළ සමාජය ද?
රට වෙනුවෙන් යුධ බිමට ගිය ගෞරවනීය සෙබළ වැන්දඹුවකට එවන් ඉරණමක් අත්කළ සමාජය ද?

සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල ආදරණීයයන් රට වෙනුවෙන් කරන කැපකිරීම් පිළිබඳව අපි මහත් හරසරින් කතාකරන්නෙමු. උදම් අනන්නෙමු. නමුත් ඔවුන්ගේ රැකවරණය අහිමි වී ගිය පවුල් සහ ඒවායේ සාමාජිකයන් පිළිබඳව අප කතාකරන්නේ කී දවසක් ද? ඔවුන් දෙස සැබෑ සාම්නුකම්පිත බවකින්, සහකම්පනයකින් සහ හෘදයාංගම බවකින් බලන්නේ කොපමණ කාලයක් ද?

මලීනාගේ කතාව දුෂ්කර යුධ සමයක් තුළ පරිහානියට පත්වන ආර්ථික, සමාජීය වටපිටාව හේතුවෙන් තර්ජනයට ලක්වී අසරණභාවයට පත්වන සෙබළ පවුල්වල පැවැත්ම පිළිබඳව කතාන්දරයයි. විශේෂයෙන්ම එලෙස තර්ජනයට ලක්වී අසරණභාවයට පත්වන ස්ත්‍රීත්වය පිළිබඳව කතාවයි.

ආහාර වෙළෙන්දෙකු සමග යහන්ගතවන මලීනා ඔහු නැවත හෙට දිනත් පැමිණෙන බව පැවසූ විට ඔහුට පිළිතුරු දෙමින් පවසන්නේ ආහාර රැගෙන ආ හැකි නම් හෙටත් එලෙස පැමිණෙන ලෙසයි. එම රූපරාමුව සහ වදන් සැබැවින්ම මගේ හදවත කැබලිවලට බිඳදැමීමට සමත් විය.

සියල්ල අවසානයේ ඇය තීරණයකට එළැඹුණා ය. සැබැවින්ම එය ඇයට කොතරම් අසීරු තීරණයක් වන්නට ඇත්ද? ඇය ඇයට ආභරණයක් වූ සොඳුරු කෙස්වැටිය සියතින්ම කපාදැමුවා ය. පසු දා ඇයගේ නිවසින් පිටතට පැමිණියේ පෙර සිටි මලීනා නොවේ. හාත්පසින්ම වෙනස් මලීනා කෙනෙකි. මුළු නගරයේම ඇස් ඈ වෙත යොමු වී තිබුණි. ඇයගේ සිගරැට්ටුව දැල්වීම සඳහා එතැන සිටි සෑම පුරුෂයෙකුම ඉදිරිපත් විය. ඔවුන් නිහඬවම ඉඟිකළේ සමාජයේ ඉතා අඳුරු පැතිකඩක නියත යථාර්ථය යි. ඒ “මා දල්වන ගින්නෙන්, ඔබ දැවී යන්නැයි” යන හද කම්පාකරවන සුළු යථාර්ථය යි. අකමැති කුඩා හෝ ස්පර්ශයක් ඉවසීම අපට මහත් අසීරු පිළිකුලක් උපදවන කරුණකි. එසේ නම් කුසගින්න වෙනුවෙන්, ජීවිතය ගැටගසාගැනීම වෙනුවෙන් එවන් අකමැති, පිළිකුල් උපදවන ස්පර්ශයන් සිය ගණනක් දිනපතා ඉවසන්නට සිදුවීම දෛවයේ කෙබඳු සරදමක් ද? එය අත්විඳින්නාට ඒ හැඟීම කෙසේ දැනෙනු ඇති ද? ඇය හදවතින් සිය දහස් වාරයක් ඉපදෙමින් මියයන්නට ඇතුවාට කිසිදු සැකයක් නැත.

ඒ දෙවන ලෝක යුධ සමය විය. සතුරු මිතුරු භේදයකින් තොරව ඕනෑම යුධ සෙබෙළෙකුගේ සිට සෑම මිනිසෙකු දක්වාම ඇය සිය සේවය සැපයුවා ය. ඇයගේ හොඳම පාරිභෝගිකයන් වූයේ ජර්මානු සෙබළුන් ය. ඒ සියල්ලම අතර නගරවාසීහු, විශේෂයෙන්ම ස්ත්‍රීහු ඇය දෙස කිව නොහැකි තරම් ද්වේශයකින් බලා උන්හ.

යුද්ධය නිමා විය. සතුරු සෙබළු පිටවී ගියහ. නගරයම යුධ ජයග්‍රහණය සමරද්දී ස්ත්‍රීහු වෙනත් කාර්‍යයකට මුල පිරූහ. ඒ ඔවුන්ට අනුව “තුච්ඡ සැතිරියක” වූ මලීනාට පාඩමක් ඉගැන්වීමේ කාර්‍යය යි. සැබැවින්ම ඔවුහු එය මැනවින් ඉටුකළහ. ඇයගේ සුන්දර කෙස් වැටියෙන් අල්ලාගෙන බිම දිගේ ඇදගෙන ආ ඔවුහු නගරයේ දෙනෝදාහක් බලාසිටිය දී ඇයට පහර දී නිරුවත් කළහ. කෙළ ගැසූහ. දරුණු ලෙස බැනවැදුණහ. ඈ හඬා වැටුණා ය. ගැලවී යාමට තැත් කළා ය. ඇයගේ පාරිභෝගිකයන් වූ පුරුෂයෝ සියලුදෙනා ඒ සියල්ල දෙස නිහඬව බලා සිටියහ. රෙනාටෝ ද ඒ අතර විය. ඇයව ගලවාගැනීමට කිසිවෙකුත් නොවී ය. ස්වාමිපුරුෂයාගේ අවමංගල්‍යයේදී මග්දලේනා ලෙස සැරසී ඇය ගමන් කළ නගර මධ්‍යයේදීම ඔවුහු ඇයව නිරුවත් කර ඇයට පහර දුන්හ. ඔවුන් දෙනෝදාහක් ඉදිරියේ ඒ නිරුවත් කළේ ඔවුන්ගේ මග්දලේනාගේ ප්‍රතිරූපය යි. ඊට එරෙහිව නැගීසිටීමට එකෙකු වත් නොවී ය. මා නරඹා ඇති ගිණිය නොහැකි සිතුවම්පට දර්ශන අතරින් මගේ සිත වඩාත් සංවේදීභාවයට පත්කළ දර්ශනයන් අතර මෙම දර්ශනයට හිමිවන්නේ පළමු පෙළ ස්ථානයකි. එය ඒ තරමටම සංවේදී තාත්වික දර්ශනයකි. එම දර්ශනය අතරතුර ඇගේ වේදනාත්මක කෑගැසීම් සවන් වැකුණු මගේ දෙනෙතින් ගැලූ කඳුළු නතර කරගැනීමට මට ද නොහැකි විය.

ඈ “ගණිකාවක” වූයේ තනිවම නොවේ. ඇය “පාපයේ ගැලුණේ” තනිව නොවේ. තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකිය. ඇයගේ පහස සොයා වැල නොකැඩී පැමිණි උත්තම පුරුෂ සමාජයම ඇයව ගණිකාවක බවට පත්කරලී ය. ඇයට පහර දෙද්දී ඈ වෙනුවෙන් හඬක් නැගීමට ඒ ඊනියා උත්තම පුරුෂ සමාජය තුළ ස්ත්‍රියකගෙන් කිරි බිව් පිටකොඳු සවිමත් එකදු පිරිමියෙකු නොවී ය. පහරදීම් කෙළවර එය නිහඬවම නැරඹූ පුරුෂයන් අසළට පැමිණි ඇය ඔවුන් දෙස බලා මහ හඬින් හඬගාන්නේ ළය කම්පිත වන ස්වරයකිනි. එම මුරගෑම තුළ වචනයෙන් කිව නොහැකි දහසක් දේ සැඟවී තිබුණි.

එදා ඒ සියල්ලන් ඉදිරියේ නිරුවත් වූයේ මලීනා නම් නොවේ. එලෙසින් නිරුවත් වූයේ අප කවුරුත් හොඳින්ම දකින, එහෙත් සුචරිතවාදී සුදු පිළි අතර සැඟවෙමින් කතාකරන්නට මැලිවන සමාජයේ එක්තරා අඳුරු පැතිකඩකි. මලීනාව එලෙස නිරුවත් කරන ලද්දේ ද ස්ත්‍රීන් විසිනි. එය වචනයෙන් කිව නොහැකි බොහෝ දේ ප්‍රකාශ කරන්නකි. සැබැවින්ම ස්ත්‍රියකට තවත් ස්ත්‍රියක නිරුවත් කළ හැකි ද? මලීනාව නිරුවත් කළ ස්ත්‍රීන් එදා සියල්ලන් අබිමුව නිරුවත් කළේ ද තම “ස්ත්‍රීත්වය” යි. තම හදවතේ අඳුරු ප්‍රතිබිම්බයි. මම සමස්ත ස්ත්‍රී සමාජයෙන්ම මෙවැනි පැනයක් විමසනු කැමැත්තෙමි. ඔබ ජීවිත කාලය තුළ සත්‍ය අසත්‍ය විමසීමකින් තොරව කොපමණ ස්ත්‍රීන් ප්‍රමාණයක්, කොපමණ වාර ගණනක් ඔබේ වචනයෙන් නිරුවත් කර තිබේද? මඳක් ඔබ ඔබේම හදවතට අවංකව කන් දී බලන්න. එවිට ඔබට ලැබෙන පිළිතුර ඔබව සසල කරවනු නිසැක ය. ස්ත්‍රීත්වය හොඳින් හඳුනන ස්ත්‍රීන් වන අපම, සියල්ලන් ඉදිරියේ අපේම ස්‍ත්‍රීත්වය නිරුවත් කරන කල, අප වෙනුවෙන් අපම පෙනී නොසිටින කල, අපට වඩා ජීව විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව ද හාත්පසින්ම වෙනස් පුරුෂයින් අප වෙනුවෙන් පෙනී සිටීවි යැයි අපේක්ෂා කරන්නේ කෙසේ ද? එය සිනහ උපදවන කරුණක් නොවන්නේ ද? ප්‍රථමයෙන් අප අප වෙනුවෙන් සිටිය යුතු ය. සිනමාකරුවා සිය සිනමාකෘතිය හරහා විනිවිදින්නේ මෙවන් ගැඹුරු සමාජ යථාර්ථයකි. මලීනා සියලුම ස්ත්‍රීන් නැරඹිය යුතු සිනමාපටයක් ලෙස මා සිතන්නේ එබැවිනි. පුරුෂයින්ට එය අමුතුවෙන් නිර්දේශ කිරීමක් අවශ්‍යවන්නේ නැත. මන්ද මේ වන විටත් ඔවුන් අතරින් බොහෝදෙනෙකු මෙය නරඹා ඇතුවාට මට කිසිදු සැකයක් නැත.

අවසානයේ සියල්ල දරාගත නොහුණු ඇය ඉතා දුක්ඛිත ලෙස නගරයෙන් පිටවී යන්නීය. රෙනාටෝ මේ සියල්ල දෙස බලා සිටින්නේ හද පිරුණු ශෝකයෙන් යුතුව ය. නමුත් මියගියා යැයි පැවසෙන ඇයගේ සැමියා නැවත පැමිණීමත් සමග සියල්ල වෙනස් වී යයි. ඇය පිළිබඳව සත්‍යය අනාවරණය කරගත් පසුව ඇයගේ සුරත තම සුරතේ පටලවාගනිමින් සිය ගෞරවාන්විත බිරිඳ ලෙස යළි ජීවත් වූ නගරයටම කැඳවාගෙන ඒමට තරම් ඔහු “මහත්මා පිරිමියෙකු” විය. සියලුදෙනාගේම ඇස් ඔවුන් දෙපළ වෙත රැඳී තිබුණි. එකිනෙකාට ඇසෙන නෑසෙන තරම් සෙමින් ඔවුහු මුණුමුණු ගෑහ. එහෙත් හඬ නගා කතාකිරීමට කිසිවෙකුත් නොවී ය. අවසානයේ ඇයව නිරුවත් කර පහරදුන් ස්ත්‍රීහුම යළිත් ඇයව “ස්කෝඩියා මහත්මිය” ලෙස සමාජය ඉදිරියේ පිළිගැනීමට ලක් කළහ.

සැබැවින්ම එය මගේ සිත තදින් කම්පනයට පත්කරලී ය. නොයෙක් ගැහැටයන්ට මුහුණදුන් ගැහැනියකට, විශේෂයෙන්ම වැන්දඹුවකට, දික්කසාද වූ ගැහැනියකට, සැමියා හැරගිය, ඔහුගෙන් වෙන්ව ජීවත්වන කාන්තාවකට, සිය ස්වාමිපුරුෂයාගේ නමින් තොරව සමාජය ඉදිරියේ ස්වාධීනව තනිව දෙපයින් නැගී සිටීමට නොහැකි ද? ඇයට සමාජය තුළ ඇයටම උරුම ස්වාධීන අනන්‍යතාවයක් ගොඩනගාගත නොහැකි ද? එලෙස සමාජය ඉදිරියේ පිළිගැනීමට ලක්වීමට ඇය පුරුෂයෙකුගේ සහ ඔහුගේ නාමයේ පිහිට පැතිය යුතුම ද? අවාසනාවකට මෙය ඇත්ත කතාවකි. මලීනා යළි සමාජය හමුවේ පිළිගැනීමට ලක්වන්නේ මලීනා ලෙස නොව “ස්කෝඩියා මහත්මිය” ලෙසය. එය ඇගේ සැමියාගේ නාමයයි. සිනමාකරුවා සිය නිර්මාණය හරහා සියුම් ලෙස ප්‍රශ්නගත කරන්නේ එවන් සමාජය යි.

සමාජයේ කිසිවෙකුත් කතාකිරීමට වැඩිපුර කැමැත්තක් නොදක්වන අඳුරු පැතිකඩක් පිළිබඳව සියුම් ලෙස අපූරු විවරණයක යෙදෙන “Malena” සිනමාපටය ඉතා සංවේදී ලෙස ප්‍රේක්ෂක හදවත් කම්පනයට ලක්කිරීමට සමත් වන, එම විෂයෙහි ඉතාමත් සාර්ථක වූ ප්‍රශස්ත මට්ටමේ ලා සැලකිය හැකි සිනමා නිර්මාණයකි. මෙවන් සමාජීය ප්‍රපංචයක් පිළිබඳව කතිකාවකට බඳුන් කිරීමේදී සිනමාකරුවා ප්‍රකට කර ඇති එඩිතර භාවයත්, ඔහුගේ දක්ෂතාවයත් සැබැවින්ම අගය කළ යුතුම ය. ඉතා ගැඹුරු සමාජීය ප්‍රපංචයන් සහ විවරණයන් රූපරාමු තුළට කැටිකොට දැක්වීමෙහි ලා ඔහු විසින් ප්‍රකට කරන ලද දක්ෂතාවය ඉතාමත් විශිෂ්ට ය. එමෙන්ම මෙම සිනමාපටය තුළ ඉතා සියුම් ලෙස හසුරුවන ලද කැමරා ඇසක විශිෂ්ටත්වය ද අපට නොඅඩුව විඳගැනීමේ හැකියාව ඇත.

මෙහිදී මලීනා ලෙස රංගනයෙන් දායකත්වය සපයන මොනිකා බෙලූච්චි සහ රෙනාටෝ ලෙස රංගනයෙන් දායකත්වය සපයන ගුසෙප්පේ සල්ෆාරෝගේ රංගනය ද සැබැවින්ම අගය කළ යුතුම ය. මොනිකා බෙලූච්චිගේ ග්‍රීක දෙවඟනක බඳු අසමසම රූප සෞන්දර්යයත්, විශිෂ්ට රංගන හැකියාවත් චිත්‍රපටයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. එවන් චරිතයක් එලෙස සිත් කාවදින අන්දමින් නිරූපණය කිරීමෙහිලා ඈ සතු දක්ෂතාවය සහ එඩිතර බව කාන්තාවක ලෙස මම අගය කරමි. එමෙන්ම එයට ගරු කරමි. ඉතාලි බසින් නිෂ්පාදනය වී ඇති මලීනා සිනමාපටයට හිමි වී ඇති IMDb අගය 7.5 කි. නමුත් මෙය පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි සිනමාපටයක් නොවන බව ද ඔබට පැවසිය යුතු ය. මෙම සිනමාපටය ඇකඩමි සම්මාන ඇතුළු සිනමා උළෙලවල් කීපයකදීම සම්මාන කීපයක් සඳහාම නිර්දේශ වී ඇත. සමාජය ප්‍රශ්නගත කිරීමත්, අභියෝග කිරීමත් පහසු කටයුත්තක් නොවේ. නමුත් මෙහිදී සිනමාකරුවා සිය සිනමා කෘතිය ඔස්සේ එම අරමුණු මැනවින් ජයගෙන ඇති ආකාරය අපට දැකගත හැකිය.

සිනමාපටය අවසානයේ මගේ හදවත බර වී දෑස් බොඳවී තිබුණි. එය එක් කඳුළකින් හෝ දෙකකින් අවසන් නොවී ය. හදවත වැගිරී ගියේ කඳුළු වර්ෂාවක් වස්සවමිනි. දෝතින් මුහුණ වසාගත් මම හඬක් නොනැගෙන පරිදි හඬාවැටුණෙමි. නමුත් මලීනා මෙන් හඬනගා වැළපෙන්නට මට අවැසි විය. එය හුදු මලීනා වෙනුවෙන් පමණක් උපන් කඳුළු නොවේ. එය ඇයටත් මා හටත් උපතින්ම උරුම වූ ස්ත්‍රීත්වය වෙනුවෙන් උපන් කඳුළු වර්ෂාවකි. එනිසාම ඒ පිළිබඳව කිසිවිටෙකත් මම පසුතැවිලි හෝ ලැජ්ජා නොවෙමි. ඇතැම්විට මට මේ සිනමාපටය මෙතරම් තදින් දැනුණේ මා ද ස්ත්‍රියක වීම නිසා වන්නට පුළුවන. ස්ත්‍රියක ලෙස උපත ලබා තවත් හදවතක, විශේෂයෙන්ම තවත් ස්ත්‍රී හදවතක දුක හඳුනන, ඉන් සහකම්පනයට පත්වන මගේ ස්ත්‍රී හදවත ගැන මම සතුටු වෙමි. ආඩම්බර වෙමි. එමෙන්ම මෙලොව වෙසෙන තවත් සිය දහස් ගණනක් වූ මලීනලා වෙනුවෙන් කම්පනය නොවන, ඔවුන් ගොදුරුකරගැනීමට මාන බලන සමාජය පිළිබඳව දුක්වෙමි. ලැජ්ජාවෙමි. අප ඒ දුටුවේ එක් මලීනා කෙනෙකු පමණි. එය අපගේ හදවත් එතරම් කම්පනය කරලීමට සමත් විය. එවන් තවත් මලීනලා ලොව කොතරම් ඇතිද? ඔවුන් විඳින වේදනාවන්ගේ අංශු මාත්‍රයකට හෝ අලගු තැබීමට අපගේ වේදනාබර සුසුමකට හෝ කඳුළකට නොහැකි ය. මේ හුදු මලීනාගේ කතාව පමණක් නොවේ. මෙය ලිංගිකත්වය පිළිබඳව කතාවක් ද නොවේ. මෙය ස්ත්‍රීත්වය පිළිබඳව කතාවකි. එනිසාම එය ස්ත්‍රීන් වන ඔබේත් මගේත් කතාවයි. ස්ත්‍රීන් වන ඔබේ මවගේ, බිරිඳගේ, පෙම්වතියගේ, සොහොයුරියගේ, මිතුරියගේ හෝ දියණියගේ කතාවයි. අද සමාජයක් ඉදිරිපිට අසරණ වූයේ මලීනාගේ ස්ත්‍රීත්වයයි. හෙට එය ඔබගේ මගේ හෝ මා ඉහත සඳහන් කළ කවරෙකුගේ හෝ ස්ත්‍රීත්වය අරභයා සිදුවිය හැකිය. මම මලීනා තුළින් සමාජය අබිමුව අභියෝගයට ලක්වන මගේ ස්ත්‍රීත්වය දැකගතිමි. ස්ත්‍රීන් වන අප ප්‍රථමයෙන් වටහාගත යුතු කරුණක් ඇත. ඒ අපට සවියක් වීමට හැක්කේ අපටම බවයි. ඉන්පසු පුරුෂයන් දෙසට හැරීමට අපට පුළුවන.

කෙසේ වුව ද මලීනා යනු යළි කිසි දිනෙක නරඹන්නේ නොමැති බවට මා තරයේ අදිටන් කරගත් සිනමාපටයකි. ඒ කිසිසේත්ම එහි වරදක් හෝ රසවින්දනයේ ගැටලුවක් නිසා නොවේ. මන්ද ස්ත්‍රියක ලෙස මලීනා විඳි සියලු ගැහැටයන් මගේ හදවතට දරාගැනීමේ සීමාවෙන් ඔබ්බෙහි පවතින බැවිනි. එනිසා යළි යළිත් එය නරඹමින් හද පාරවා ගැනීමට මම අපොහොසත් වෙමි. මා යළි කිසි දිනක මලීනා සිනමාපටය නොනරඹනු ඇත. ඇය පිළිබඳව අකුරු මා වෙතින් යළි නොලියවෙනු ඇත. නමුත් මගේ හද පතුළෙන්ම මම ඇයට ප්‍රේම කරමි. එමෙන්ම ඇය සැමදා මගේ හදවතේ ගැඹුරුම තැනක නිදන්ගත වී සිටිනවාට කිසිදු සැකයක් නැත. සිනමාපටය අවසානයේ රෙනාටෝගේ මෙම වදන් ඒ බවට සාක්ෂි සපයනු ඇත.

“කාලය ගෙවී ගියා. මම ගොඩක් ගැහැනුන්ට ආදරය කළා. ඔවුන් මට තුරුළු වූ විට මගෙන් අහනව ඔවුන්ව හැමදාම මතකයේ තියේවිද කියල. මම ඔවුන්ට “ඔව්, මට ඔයාව හැමදාම මතක තියේවි” කියල කියනව. ඒත් මට කවදාවත් අමතක නොවන එකම ප්‍රේමය මගේ අප්‍රකාශිත ප්‍රේමය, ඇය, මලීනා….පමණයි.”

************************************************

Directed by – Giuseppe Tornatore
Produced by – Bob Weinstein
Harvey Weinstein
Carlo Bernasconi
Screenplay by – Giuseppe Tornatore
Story by – Luciano Vincenzoni
Starring – Monica Bellucci
Giuseppe Sulfaro
Music by – Ennio Morricone
Cinematography – Lajos Koltai
Edited by – Massimo Quaglia
Production companies – Medusa Film
Miramax
Pacific Pictures
Tele+

Distributed by – Medusa Distribuzione (Italy)
Miramax (United States)
Release date – 27 October 2000 (Italy)
2 February 2001 (United States)

Running time – 109 minutes
92 minutes (United States cut)
Country – Italy
United States

Language – Italian

Box office – $14.4 million

හංසිනී කවින්දි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *