Major (2022) Telugu by Janidu Raajakaruna
” ඔයාලා මගේ පුතා මිය ගියේ කොහොමද කියලා මතක් තියාගන්න එපා. එයා ජීවත් වුණේ කොහොමද කියලා මතක තියාගන්න.. “
අපිට මෙහෙම කියන්නේ Major Sandeep Unnikrishnan ගේ තාත්තා.
‘Major’ චිත්‍රපටය ඕනෑම චිත්‍රපට රසිකයෙකු හට රසවිඳීමට හැකි නිර්මාණය ක් බවට මා විශ්වාස කරනවා. චිත්‍රපටය හරහා අපට පෙන්වන්නේ සොල්දාදුවෙක් පමණක් ම නෙවෙයි. Sandeep කියන්නේ තමන් ට හිතෙන දේ කරන, අනුන් වෙනුවෙන් කැප වෙන, රටට ආදරය කරන තරුණයෙක්. වෙලාවකට ඔහු ගන්නා තීරණ හරිම දඩබ්බර යි. ඒත් මේ තරුණයා නොවන්නට එදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මීටත් වඩා වෙනස් විදියකින් අවසන් වීමට තිබුණා.
චිත්‍රපටයේ පළමු අර්ධය වැය වන්නේ Sandeep ගේ ළමා කාලයේ සිට යෞවනත්වය දක්වා කාලය අප ඉදිරියේ චිත්‍රණය කිරීමට යි. කුඩා කල සිටම සොල්දාදුවෙක් වීමේ සිහිනය පෙරදැරි කරගෙන සිටි ඔහු සිය ස්ව කැමැත්තෙන් ම එය සැබෑ කරගැනීමට ඇප කැප වීම ඔබ නරඹනු ඇත. සිය ආදරය දෙවෙනි කොට සොල්දාදුවෙක් වීමට ඔහු කටයුතු කරන්නේ රට කෙරේ ඇති අතිමහත් වූ ස්නේහය හේතුවෙන් මයි. කෙසේ හෝ සිය සිතැඟි තරුණිය ඔහුගේ සහකාරිය කරගැනීමට ඔහු වාසනාවන්ත වෙනවා.
ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මුම්බායි හි, The Taj Mahal Palace වෙත සිය කණ්ඩායම සමඟ Major Sandeep පැමිණීමත් සමඟම දෙවන අර්ධය ට අප ඇතුළු වෙනවා. එතැන් පටන් ත්‍රස්තවාදීන් විනාශ කර දමා සිවිල් වැසියන් බේරා ගැනීමට Major Sandeep උපක්‍රමශීලී ව කටයුතු කරන ආකාරය ඔබට දැක ගත හැකි වනු ඇත. තවත් පසෙකින් ජඩ මාධ්‍ය සිය මාධ්‍ය භූමිකාවේ කෙසේ නිරත වන්නේ ද යන්නත් ඔබට පසක් වනු ඇත. ඒ වන විටත් වැඩි වාසි අත්පත් කරගෙන සිටින්නේ ත්‍රස්තවාදීන් ය. එහෙත් ඔවුන් ව උපක්‍රමික පමණක් පරාජය කළ හැකි බව වටහාගන්නා Major Sandeep මෙහෙයුම ක් දියත් කරනවා. දෙවන අර්ධය තුළ ඔබ ඒ ත්‍රාසජනක මෙහෙයුම අත්දකීවි.
මෑතකදී නිකුත් වූ ඉංදීය චිත්‍රපට අතරින් ‘Major’ චිත්‍රපටය නැරඹීමට තෝරා ගත්තේ එය චරිතාපදාන කථාවක් වීමත්, සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූවක් නිසාම යි. චරිතාපදාන චිත්‍රපටය ක් නිර්මාණය කරනවා කියන ලේසි පහසු දෙයක් නෙවෙයි. විශේෂයෙන් ම සත්‍ය සිදුවීම් ඇසුරින් එය නිර්මාණය කරනවා වගේ ම එම නිර්මාණය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගත හැකි වන අන්දමට නිර්මාණය කිරීම අභියෝගයක්. කථාවේ මුල සිට අග දක්වා ම Major Sandeep ගේ ජීවිතයේ වැදගත් වන අවස්ථා අප වෙත ක්‍රමානුකූලව, රසවත් ව ඉදිරිපත් කරමින් ද, චිත්‍රපටයේ වැදගත් සංධිස්ථානයක් වන ත්‍රස්තවාදීන් විනාශ කර දැමීමට ‘The Taj Mahal Palace’ හි ඔහු කටයුතු කරන ආකාරය ලොමු දැහැගැන්වන සුළු ලෙස චිත්‍රණය කරමින් නිර්මාණකරුවන් එම අභියෝගය ජය ගැනීමට සමත් වී තිබෙනවා.
‘Major’ චිත්‍රපටය හින්දි, තෙලිඟු සහ මලයාලම් යන භාෂාවන්ගෙන් ඔබට නැරඹිය හැකි යි.