Maja Ma (2022) Hindi | Sinhala Article

Maja Ma (2022) Hindi by Ramitha Vimukthi

Spoiler Alert!

මාධුරී දික්ෂිත්ගේ සිනමා ගමනේ හොඳම කාලයක් නැවතත් උදාවී තිබෙනවා. එයට ප්‍රධාන සාක්ෂියක් මෙම වසරේ නිකුත් වූ The Fame Game සහ Maja Ma. අප මාධුරීගෙන් 90 දශකයේ දුටු ඒ තරු ගුණය අදටත් ඇය රඳවා ගැනීමට සමත්වී තිබෙනවා. Maja Ma හරහා නැවත වරක් මාධුරී ඉතා සංකීර්ණ තේමාවක දිවෙන රංගනයක් ඉදිරිපත් කරනවා. මෙහි ඇතුලත් වන තේමාව හින්දි චිත්‍රපට වලට නවක තේමාවක් නොවේ.

තේජස් යනු ඇමරිකාවේ වෘතියක නිරත වන තරුණයෙක්. ඔහු ඊශා නම් ඇමරිකාවේ උපන් ඉන්දියානු තරුණියක් සමග ප්‍රේම සම්බන්දයක් පවත්වනවා. නමුත් ඊශාගේ දෙමාපියන් ඇමරිකාවේ ජීවත් වූවත් ඉතා සම්ප්‍රදායික මතයන් දරණ පුද්ගලයින්. ඔවුන් තේජස්ව තම දියණියට විවාහ කර දීමට තීරණය කළත්, තව එක් දෙයක් පිළිබඳව ඔවුන් අවදානය යොමු කරනවා. ඒ තේජස්ගේ දෙමාපියන්ගේ වගතුග සම්බන්දව. තේජස්ගේ මව පල්ලවී. ඇය ඉතා මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරන ගෘහණියක් සහ නර්තන ශිල්පිනියක්. ඔහු සහ මව අතර ඉතාම ආදරණීය බැඳීමක් තිබෙනවා. තේජස්ගේ සහෝදරිය වන ටාරා සමාජ ක්‍රියාකාරිනියක්. ඊශාගේ දෙමාපියන් ඔවුන්ව හමුවීමට පැමිණි අවස්ථාවක තේජස්ගේ පවුල සමග එක්තරා උත්සවයකට සහභාගී වනවා. එහිදී තේජස්ගේ මව සහ සහෝදරිය බහින්බස් වන වීඩියෝවක් එලියට පැමිණෙනවා. එහි එක් තැනක පල්ලවී පවසනවා ඇය සමරිසි කාන්තාවක් බව. පල්ලවී සහ අගේ පවුලේ සමගිය මුළුමනින්ම කණපිට හරවනවා එම වීඩියෝව. එය සමග පල්ලවී ඇතුළු අගේ පවුලට මුහුණ දීමට සිදුවන සිදුවීම් පෙලක් සමග Maja Ma ඉදිරියට ගලා යනවා.

තම සැබෑ අනන්‍යතාවය සඟවාගෙන සිටින සමරිසි පුද්ගලයින් ඕනෑ තරම් අප අතර ජීවත් වෙනවා. නමුත් වර්තමානයේ තරුණ ප්‍රජාවට එය පිලිබඳ කතා කිරීමට අවකාශයක් තිබුනද, ඉතා සම්ප්‍රදායික පරිසරයන් තුල හැදුනු වැඩුණු අපගේ දෙමාපියන්ගේ පරම්පරාවට එය හාත්පසින්ම වෙනස් අත්දැකීමක්. අප තරුණ ප්‍රජාව එම සීමාවල් බිඳ දමා ඉදිරියට ගියත්, අපගේ දෙමාපියන්ගේ පරම්පරාව එම සම්ප්‍රදායෙන් ඔබ්බට යාමට බියක් දක්වනවා. එය ඉතා සාදාරණ බියක්. මොහොතකට ඔබේ මව හෝ පියා තමා සමරිසි පුද්ගලයෙකු බව ප්‍රකාශ කලොත්, ඔබ එයට දක්වන්නේ මොන ආකාරයක ප්‍රතිචාරයක්ද?. Maja Ma හි පල්ලවීගෙන් සහ ඇගේ පවුල දක්වන ප්‍රතිචාරයෙන් අප දකින්නේ එවැනි පැතිකඩක්. පල්ලවී එක්තරා අවස්ථාවක තේජස්ට මෙවැනි දෙයක් පවසනවා. ‘පුතේ ඔයා අම්මව දෙවියෙක් ගානට දාලා සලකන්නේ. හැබැයි ඒකෙන් මට මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න ඕන අයිතිය නැති කරලා දැම්මා ‘. මේ පුංච් දෙබස ගෙදර බුදුන් අම්මා කියලා මුරුංග ඇත්තේ තබලා, ඇයගෙන් කුඩා

හෝ අතපසු වීමක් සිදු වූවොත් උඹ අම්මෙක්ද කියලා අහන අපේ කුරිරු සමාජයටත් එල්ල කරපු දැඩි විවේචනයක්‌. එම නිසා අම්මා සහ පොදුවේ දෙමාපියන් කියන චරිත අනවශ්‍ය දේවත්වයකින් තොරව, දෝෂ සහිත පුද්ගලයින් ලෙස පිළිගැනීම අපගේ වගකීමක්.

මාධුරී දික්ෂිත් පල්ලවීගේ චරිතයට උපරිම සාදාරණයක් ඉෂ්ට කරනවා. විශේෂයෙන්ම මෙම චිත්‍රපටයේ ඇති නිහඬ අවස්ථාවන් වල ඇගේ හැඟීම් ප්‍රකාශන වලට අවදානය යොමු කරන්න. ඒ සමගම ගජ්රාජ් රාඕ, රිත්වික් බෝව්මික්, සිමෝන් සිං සහ ශ්‍රිෂ්ටි ශ්‍රිවස්තාවාද ප්‍රභල සහායක් ඔවුන්ගේ රංගනයන් තුලින් ලබා දුන්නා. යම් ආකාරයකට පැහැදීමක් නොතිබුනේ ඇමරිකානු කතා විලාශයෙන් දෙබස් කියූ රජිත් කපුර් සහ ශීබා චද්දාගේ රංගනයන් තුල.

ඉතින් Maja Ma නරඹන්නට ඔබටත් ආරාධනා කරනවා.

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *