Maheshinte Prathikaaram (2016 ) Malayalam
Spoiler Alert!
ආත්ම ගරුත්වය යනු සෑම පුද්ගලයෙකුටම එක හා සමානවම වැදගත් දෙයක්. ආත්ම ගරුත්වයට සමාජ තරාතිරමක්, ආගම/ජාතිය, කුල බේදය සහ ස්ත්‍රී/පුරුෂබාවය අදාල වන්නේ නැත. සෑම පුද්ගලයෙකුටම තම ආත්ම ගරුත්වය රැකගැනීමට සහ එය ආරක්ෂා කර ගැනීමට අයිතියක් තිබෙනවා. වර්තමානයේ ආත්ම ගරුත්වය පිලිබඳ ප්‍රභල කථිකාවක් ඇති කළ චිත්‍රපටයක් Thappad. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අම්රිතාට, නොසිතූ අවස්ථාවක පිරිසක් ඉදිරියේ තම සැමියාගෙන් කම්මුල් පහරක් එල්ල වීමත් සමග, ඇයගේ ආත්ම ගරුත්වය පිරිසක් ඉදිරියේ හෑල්ලුවට ලක්වුණා. ඒ අනුව ඇය තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීමට ප්‍රභල අරගලයක නියැළුනා. Thappad චිත්‍රපටයේදී මුලිකත්වය ලැබුනේ කාන්තාවකට. මෙහි එම ආත්ම ගරුත්වයට සම්බන්ද වන තේමා පාඨයම, 2016 දී තිරගත වූ Maheshinte Prathikaaram චිත්‍රපටයටද සංසන්දනය කරන්නට පුළුවන්. Maheshinte Prathikaaram චිත්‍රපටයේ මහේෂ් භාවානාටද, නොකළ වරදකට ඔහුගේ ආත්මගරුත්වය හෑල්ලුවකට ලක්‌වනවා පිරිසක් ඉදිරියේදී. Thappad චිත්‍රපටයේ බොහෝ ගැඹුරින් එම තේමාව පිලිබඳ අධ්‍යනය කළේ, ගෘහස්ත හින්සනයද ප්‍රධාන තේමාවක් ලෙස යොදාගනිමින්. චිත්‍රපට ද්විත්වයේ, කතා අන්තර්ගතයේ වෙනසක් තිබුනත් ආත්ම ගරුත්වය පිලිබඳ ප්‍රභල කථිකාවක් චිත්‍රපට ද්විත්වයේම දක්නට ලැබුණා. එපමණක් නොව මෙය කේරලයේ, තුරාවූර් ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමක් මත පදනම් වූ කතාවක්. ඒ අනුව මෙය, තම ආත්ම ගරුත්වය වෙනුවෙන් සටන් කළ පිරිමියාගේ කතාවයි.
මහේෂ් යනු කුඩා ගම්මානයක ජීවත් වන තරුණයෙක්. වෘතියෙන් ඡායාරූප ශිල්පියෙක් වන ඔහු, කුඩා පරිමාණයේ ස්ටුඩියෝ එකක්ද පවත්වාගෙන යනවා. බොහොම සාමාන්‍ය සාමකාමී ජීවිතයක් ගෙවන මහේෂ්, හිත හොඳ/අවංක පුද්ගලයෙක්. ඔහුට පියා හැරුණු විට, වඩාත් සමීපතම පුද්ගලයින් වන්නේ ක්‍රිස්පින්, බේබී සහ පාසල් කාලයේ පටන් ඔහුගේ පෙම්වතිය වූ සෞම්‍යා. මහේෂ්ගේ සරල සාමකාමී ජීවිතය, නොසිතූ ආකාරයට කණපිට පෙරළෙන්නේ ක්‍රිස්පින් සහ බේබී වෙනත් පුද්ගලයෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින්. ක්‍රිස්පින් සහ බේබී ඇති කරගත් ගැටුම සාමදානය කිරීමට ගිය මහේෂ්ට සිදුවන්නේ අකරතැබ්බයක්. මෙම ගැටුම සමාදානය කිරීමට මැදිවූ මහේෂ්ට, ජිම්සින් නම් පුද්ගලයෙකු අතින් දරුණු ලෙස පහරකෑමකට ලක්වනවා. විශාල සෙනගක් ඉදිරිපිට තමා නොකළ වරදකට ගුටිකාපු මහේෂ්ට අත්වූයේ දරාගත නොහැකි ලැජ්ජාවක් සහ ඔහුගේ ආත්ම ගරුත්වය හෑල්ලුවට ලක්වීමක්. මහේෂ්ට සිදුවූ ලජ්ජාවට සදාරණයක් ඉෂ්ට කර ගැනීමට, ඔහු ජිම්සන්ගෙන් පළිගන්නා තුරු සෙරෙප්පු දෙක නොදා සිටීමට තීරණය කරනවා. මේ සමගම ඔහුගේ පෙම්වතියද, ඇයගේ දෙමාපියන් විසින් රැගෙන ආ විවාහ යෝජනාවට කැමති වන්නේ මහේෂ්ව අත් හරිමින්. මෙය අතරවාරයේදී මහේෂ් ඔහුට පහරදුන් ජිම්සින්ගේ විස්තර සොයාගැනීමට සමත් වූවත්, ඔහු තාවකාලිකව රැකියාවක් වෙනුවෙන් රටින් පිටව ගොස් ඇත. ඒ කෙසේ නමුත් මහේෂ් ඔහු එනතුරු බලා සිටීමට තීරණය කරන්නේ තමන්ට සිදුවුයේ සුළුපටු ලැජ්ජාවක් නොවන නිසා. මේ සමගම මහේෂ් හට මුණගැසෙනවා, ජිම්සි නම් යුවතියක්. ජිම්සි මහේෂ්ගේ studio එකට පැමිණෙන්නේ, සඟරාවක් වෙනුවෙන් ඇයගේ ඡායාරූප පෙළක් ඔහුගෙන් ලබාගැනීමට. නමුත් මහේෂ්ගේ එම ඡායාරූප වලට ඇය කැමැත්තක් දක්වන්නේ නැත. මහේෂ් තම පියාගෙන් ලබා ගන්නා උපදෙසක් මත, ජිම්සීගේ ආකර්ශනීය ඡායාරූප පෙළක් ඔහුගේ කැමරාවට හසු කර ගැනීමට සමත් වනවා. මෙයින් සෑහීමට පත්වන ජිම්සි මහේෂ් පිලිබඳ උනන්දුවක් දක්වනවා පමණක් නොව, මහේෂ් තුලද ජිම්සි පිලිබඳ හැඟීමක් මතුවනවා. නමුත් එක් ගැටළුවක් තිබෙනවා. ජිම්සි යනු මහේෂ්ට දරුණු ලෙස පහර දුන් ජිම්සන්ගේ බාල සහෝදරියයි. ඒ අනුව මහේෂ් සහ ජිම්සිගේ සම්බන්දයට කුමක් සිදුවේවිද? මහේෂ් ඔහුගේ අරමුණ අත්හරීද? සහ ඔහුගේ ආත්ම ගරුත්වය ලබා ගැනීමට ඔහු කුමක් සිදු කරයිද?.

විශේෂයෙන්ම තමන් සතුව කිසිදු වරදක් නොමැතිව, හෑල්ලුවට ලක්වීමක් සහ තමන්ගේ ආත්ම ගරුත්වයට හානියක් සිදුවූවා නම් එය වෙනුවෙන් තමාට සටන් කිරීමට සාදාරණ අයිතියක් තිබෙනවා. ආරම්භයේදී තප්පඩ් චිත්‍රපටයේ මේ සම්බන්දව කතාබහ කළ අංගයද සඳහන් කළේ එම නිසයි. මහේෂ්ද තමන් නොකළ වරදකට පහරකෑමට ලක්වීමෙන් ඔහුට සිදුවූයේ සුළුපටු අවමානයක් නොවේ. ඔහු මෙයට සාදාරණයක් ඉෂ්ට කර ගැනීමට පෙළඹීම එක්තරා ආකාරයකට revenge story එකක් ලෙස පෙනී ගියත්, මෙම චිත්‍රපටයේ එම සම්ප්‍රදායික revenge story ශෛලය යොදාගන්නේ නැත. මෙහි ප්‍රධාන චරිතය වන මහේෂ්වද මොනම අවස්ථාවකදීවත් වීරයෙක් ලෙසටත්, Macho man කෙනෙක් ලෙසවත් පෙන්නුම් කරන්නේ නැත. ඔහු යොදාගන්නා විවිද උපක්‍රමයන් හරහා ඔහු සොයන්නේ සාදාරණය පමණයි. මහේෂ් මෙහි ප්‍රධාන චරිතය වූවත්, මෙහි අපට හමුවන සහාය චරිතයන් සඳහාද ඉතා හොඳ අවකාශයක් ලැබී තිබෙනවා. ඒ සමගම කතාවේ අන්තර්ගතයට සම්බන්දව සියුම් හාස්‍ය රසයක්ද ඉතා අපූරුවට ඇතුලත් කර තිබෙනවා. මෙම අංගයන්හි සාර්ථකත්වයට මුල් වන්නේ Dileesh Pothan ගේ අධ්‍යක්ෂණය සහ Syam Pushkaran ගේ තිර රචනයයි. මෙම චිත්‍රපටයේ තවත් සිත්ගත් අංගයන් ද්විත්වයක් තිබෙනවා. පළමු අංගය වන්නේ ඉතාම තාත්වික සටන් ජවනිකා. මෙහි ඇතුලත් වන සටන් ජවනිකාවන් කිහිපයේදී, වෙනත් ඉන්දියානු චිත්‍රපට තුල නොදැකපු ස්වභාවික බවක් පෙන්නුම් කරා පමණක් නොව එහිදී කිසිදු slow motion shot එකක් ඇතුලත් වූයේ නැත. දෙවෙනි අංගය වන්නේ අපර්ණා බාලමුරලි සම්බන්ද වන flash mob නර්තනය. මෙය ඉතා තාත්වික ලෙස මෙහෙයවා තිබුනා පමණක් නොව, එය චිත්‍රපටයට වෙනස්ම ආකාරයක අලංකාරයක් ගෙන දුන්නා.
මහේෂ් භාවනාගේ චරිතය නිරුපණය කළ Fahadh Faasil, ඉතාම විශිෂ්ට ලෙස මෙම චරිතය රඟ දැක්වුවා. විශේෂයෙන්ම මෙම චරිතය වටා තිබෙන underdog ස්වභාවය සහ විටෙක පෙන්නුම් කරන අහිංසකකමත් ඔහු ඉතා හොඳින් හසුරවා තිබෙනවා. Fahadh Faasil ඇස් වලින් කතා කළ තවත් එක් සුවිශේෂී රංගනයක් මෙය. ඒ සමගම අපර්ණා බාලමුරලිද, ජිම්සිගේ චරිතය වටා තිබෙන දඟකාර/කටකාර ලක්ෂණයන් ඇයගේ රංගනය තුලින් ඉතා අපූරුවට පෙන්නුම් කළා. ඇයගේ රංගනය මෙම චිත්‍රපටයට සුවිශේෂී ආකර්ශනයක් ගෙන දීමට සමත් වුනා. Shyju Khalid ගේ සිනමාකරණයටද විශේෂ අවධානයක් හමුවිය යුතුයි. විශේෂයෙන්ම චිත්‍රපටය පුරාවට දැක ගැනීමට හැකිවන ගැමි පරිසරය සහ වැහිබර දර්ශනයන් ඉතා විශිෂ්ට ලෙස රූපගත කර තිබුනා.
අවසාන වශයෙන් කිව යුත්තේ, Maheshinte Prathikaaram යනු මලයාලම් සිනමාවෙන් බිහිවූ තවත් එක් අගනා නිර්මාණයක්.
Initial release: February 5, 2016 (India)