Maara (2021) Tamil by Vathsala Udagedara
වරක් රස විඳපු නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ සෑහෙන අභියෝගාත්මක ක්‍රියාවක්. පළමු නිර්මාණය රසවිඳින අවස්ථාවේදී අපි කතාවේ මුල මැද අග නොදන්නා නිසා නොසංසිඳෙන කුතුහලයෙන් යුතුව කතාවක් රස වින්දත් ප්‍රතිනිර්මාණයකදී නිර්මාණකරුගේ අපූරු කලාත්මක ඇහැත් , සිය විෂය පථයේදී ඔහු සතු ප්‍රතිභාවත් සමෝසමව අවශ්‍ය වෙනවා ප්‍රේක්ෂකයා හෝ පාඨකයා තමන්ගේ නිර්මාණය තුල රඳවාගන්නට.
2015 වර්ෂයේදී තිරගත වුන Charlie චිත්‍රපටිය කියන්නේ අංග සම්පුර්ණ නිර්මාණයක්. ඒ චිත්‍රපටියේ රංගනය , අධ්‍යක්ෂණය , සංගීතය , තිර පිටපත ඇතුලු සකල සෑම සිනමාරූපී අංගයක්ම ඉතාම නැවුම් , චමත්කාරජනක සහ අතිශය ජනාදරයට පත් වන්නට අවශ්‍ය කළමණා වලින් පරිපූර්ණ සලරුවක්. ඒ චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් වෙන #Maara චිත්‍රපටිය ගැන දැනගත් ගමන්ම මට හිතුනේ මගේ ප්‍රියතම නළුවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම ඉන්න මාධවන් මේක කරන්න භාරගත්තේ අපරාදේ කියලා. අළුතින් කරන්න දෙයක් වත් පෙන්වන්න දෙයක් වත් Charlie තුලින් අධ්‍යක්ෂක Martin Prakkat හෝ Dulquer Salmaan සහ Parvathy අපිට ඉතුරු කරලා තිබුණේ නෑ කියල මගේ ආධුනික හිත කීවා. කොටින්ම චිත්‍රපටිය බලන්න download කළේ මාධවන් ඉන්න කොටස් බලන්න තිබුණ ආසාවට මිසක් චිත්‍රපටිය රස විඳින්න නෙමෙයි. ?
නමුත් Maara කියන්නේ මම දැකපු සුපිරිම ප්‍රතිනිර්මාණයක් . අධ්‍යක්ෂක Dhilip Kumar සහ සෙසු ශිල්පීන් මුල් නිර්මාණයේ කතා සාරාංශය සපුරා උකහාගනිමින් , අතිශය සිනමාරූපි සහ ආවේණික රසයකින් ප්‍රේක්ෂකයාට සාධාරණක් ඉටු කළ ප්‍රසංසනීය සිනමා නිර්මාණයක් බිහි කරන්නට සමත් වෙලා තියෙනවා .
Maara චිත්‍රපටියේ මුල්ම දර්ශන පෙළම පළමු නිර්මාණයට වඩා සුන්දර ආකර්ශනීය ආරම්භයක්. ඊට පස්සේ Charlie හිතේ කොණකින් තියාගෙන කිසිම කහටක් , ඒකාකාරීබවක් හෝ පශ්චාත්තාපයක් නැතිව Maara එක්ක අපූරූ සිනමා චාරිකාවක් යන්න අපිට පුළුවන්. ඒ වගේම පුද්ගලිකව මම Maara චිත්‍රපටයේ තිර රචනයට වඩාත්ම කැමතියි. මුල් නිර්මාණය තුල තිබුණ ඇතැම් යථාර්තවාදී නොවුණු අවස්ථා උපක්‍රමශීලී ලෙස Maara මඟහරවා ගෙන තියෙනවා . ඒ වගේම චිත්‍රපටිය ආරම්භ වූ මොහොතේ පටන් අපටත් රස විඳින්නට ලැබෙන සූරවීර සෙබලා සහ ඔහුගේ “ආත්මාරක්ෂක” මාළුවාගේ අපූරූ ( ළමා ? ) කතාන්දරය සමස්ත චිත්‍රපටිය තුලම අපටත් පෙනී නොපෙනී සහ දැනී නොදැනී ගලා යාමට සලස්වා ඉන් අනතුරුව කතා රසය උපරිම තලයකට ගෙන එමින් එකි කතාන්දරය තුලට අවසන් මොහොතේ මුලු චිත්‍රපටියක සිදුවීම් සහ චරිත එකිනෙක ඈඳීමත් ඉතාමත් මනබඳිනසුලුයි.
වික්‍රම් වේධා චිත්‍රපටිය තුලදි මුල් වරට මම විඳපු මාධවන් – ශ්‍රද්ධා ශ්‍රීනාත් On screen chemistry එක Maara තුලදී පරිපූර්ණ ලෙස රසවිඳින්නටත් අවස්ථාවක් ලැබුණා.❤❤ ඒ වගේම අනෙකුත් සෑම නළුවෙක්ම නිළියක්ම තම තමන්ගේ දායකත්වය අතිශය මනරම් විදිහට මාරාට ලබාදී තිබුණා. පාර්වතීගේ ළමා අවධිය නිරූපණය කරන ළමා නිළිය සහා මාරාගේ ගැටවර අවධිය නිරූපණය කරන ළමා නළුවාගේ පටන් වෙල්ලයියා සහ මීනාක්ෂී චරිත නිරූපණය කරන මෞලි සහ පද්මාවතී රාවෝ කියන වැඩිහිටි නළු නිළි දෙපළ දක්වාම සියළු සහය නළු නිළියන් සිය උපරිමය Maara ට ලබා දී තියෙනවා .
කොහොම වුණත් මම Maara මේ තරම් රස වින්දා වුණත් , ඒක IMDb හි අගය 7.7 ලබා ගන්නට සමත් වෙලා තිබුණත් අන්තර්ජාලයෙන් movie reviews බලද්දී Maara මම තරමට රස නොවිඳපු සමහර ඉන්දියානු සිනමා විවේචකයන් ඉඳලා තිබුණා. රස වින්දනය හැමවෙලාවෙම සාපේක්ෂයිනේ. ඒ නිසා ඒ විචාර ඔබේ වින්දනයට සපුරා බාධාවක් කරගන්න ඕන නෑ කියලා මම නම් හිතන්නේ. Charlie බැලුව කෙනෙක් වුනත් නොවුණත් ඔබට පුළුවන් Maara බලලා ඔබේ අදහස මටත් කියන්න.
කෙළිලොල් , වගකීම් විරහිත බොහීමියානුවෙක් වන Maaraa තුල සිටින වගකීම් සහගත , පරෝපකාරී , ලතෙත් මිනිසාත් … සමාජ සීමාවන්ගෙන් කොටු නොවුන නිදහස් ස්වාධීන කෙල්ලෙක් වන පාරෝ තුල සිටින සැබෑ ආදරය සොයමින් යන්නට තරම් නිර්භය , අරමුණක් වෙනුවෙන් කැපවන ගැහැණියත්… ඒකාකාරී ලෙස ජීවිත ගමනේ දුවන ඕනෑම කෙනෙකුට තමන් දෙස නැවත වරක් හැරී බලන්නට ආරාධනා කරනවා. ජීවිතයේ වටිනාම දේවල් වන්නේ “දේවල්” නොව ” හැඟීම් ” බව යලිත් ඕනෑම හිතකට යලිත් පසක් කරවන සුන්දර සිනමා අත්දැකීමක් #Maara .

Initial release: January 8, 2021