Love Sonia (2018) Hindi – English by Hasanka Somarathne
ලව් සෝනියා කියැවීම…
මෙම සිනමා නිර්මාණය නරඹන අතර මා නිතැනින්ම අතීත සිදුවීමක් කරා පිය නැඟීමි.
මීට වර්ෂ කීපයකට ප්‍රථම ඉන්දියාවේ මිතුරන් සමඟ සාදයකට සහභාගී වී නැවත නේවාසිකාගාරය වෙත පැමිණීමට බැංගලෝරයේ මැජෙස්ටික් බස් නැවතුමේ මා රැඳී සිටින මොහොතකි.
හිරුද මිලානව ගොම්මන් අඳුර භාරත මාතාව වෙලා ගන්නා මොහොතක කවරකු හෝ මාගේ අතින් අදින බව දැනී හැරී බැලුවෙමි.
අවුරුදු 12ක පමණ කුඩා දැරියක් “බයියා චලියේ” කියමින් මාගේ මුහුණ දෙස බලා සිටී. සාවියක් බඳු වූ ඈගේ වුවනතෙහි ගිල්වුනු දෑස් යුග්මයේ ඇත්තේ බයාදු බැල්මකි. අතරමං වූ දැරියක් යැයි සිතූ මම “කහා ජානා හේ?” ඇසීමි. ඈ දුන් පිළිතුරෙන් මැය ගණිකා වෘත්තියෙහි නියැලෙන්නියක් බව පසක් වූ මා අන්ද මන්ද විය. සියොලඟම හිරි වැටී ගියාක් බඳු විය. පවුලේ එකම දරුවා වූවත් අනෙක් නෑදෑ සොයුරියකට මෙබඳු ඉරණමක් අත් වූයේ නම් පවුලක් ලෙස දරා ගන්නේ කෙසේදැයි මා මාගෙන්ම ප්‍රශ්න කිරීමි.
සෙල්ලම් වයසේ පසුවන මේ දැරිවිය ජීවිතය පිළිබඳව අත්පොත්වත් තබා නැත්තේ නොවේද? මෙය නම් අනර්ථයම නොවේද.. කුසගින්න සහ දිළිදු බව ඇගේ ආත්මයම විකුණා ඇත්තේ නොවේද?
ඒ වන විටත් ඒ අසළ මෑ දෙස ගිජු දෑසින් බලා සිටි මැදිවියේ පුද්ගලයකු “ඉදර් ආ” ලෙස ආමන්ත්‍රණය කර මොහොතකින් ඈට ඉස්සර වන ලෙස පවසා පසුපසින් ඇවිද ගිය අයුරු මාහට සිහි වේ. හද කම්පා කළද මා හට කළ හැකි යමක් නැත. මාද අසරණය. මෙම සිදුවීම එදිනම මාගේ මව සමඟ කියූ පසු කිසිදා ඈ නොදුටු පිටදේසක්කාර තැලී පොඩිවූ මල් කැකුලක් වෙනුවෙන් කඳුලු සැලූ අයුරු මාගේ මතක මංතීරය කළඹවාලයි.
මෙය ලියන මොහොතේ පවා කොතැනක හෝ මාවතක සරමින් හෝ යම් පාපතරයකුගේ ගොදුරක්ව හෝ සමාදානයේ සැතපී හෝ ඇතැයි මා හට හැඟී යයි.
ඉන්දියාව තුළ ළමා ගණිකා වෘත්තිය සඳහා දිනකට තරුණියන් 270ක් පමණ පැහැර ගනු ලබති. ඒ අතරින් සුරූපී, වැඩුණු අඟ පසඟ සහිත තරුණියන් යුරෝපා රටවලට, සිංගප්පූරුවට, රුසියාවට ප්‍රවාහනය කරනු ලබන අතර අනෙක් දැරියන් එම පැහැරගත් ප්‍රදේශ වලට වඩා ඉතා දුරින් පවතින ප්‍රදේශ වල රතු එළි කලාප සඳහා යොමු කරති. ඒවායේ ගණිකා නිවාස වල විවිධ කාමාතුරයන්ගේ මනදොල පිනවීමට සිදු වන්නාහ. විකෘති ලිංගික ආශා සහිත පිරිමින්ට නතු වන මෙවන් මල් කැකුළු ඒ පාපකාරී දිවියෙන්ම සමුගන්නා බව නොරහසකි.
ලව් සෝනියා වූ කලි එම අඳුරු පැතිකඩෙහි ජීවත් වන අහිංසකාවියන්ගේ ශෝකාලාපයයි.
තමා ලබා ගත් ණය මුදල ගෙවා ගත නොහැකි වන පියෙක් එම පුද්ගලයාට සිය දියණියන් දෙදෙනාගෙන් එක් දියණියක් ලබා දෙන අයුරු හා එසේ විකිණු සිය සොයුරිය සොයා යන අභීත තරුණිය වට ගෙතුණු සත්‍ය සිදුවීම පාදක කර ගත් සිනමා නිර්මාණයකි මේ…
සිය සොයුරිය ප්‍රීති සොයා යන සෝනියාට සිදුවන්නේ කුමක්ද දැන ගැනීමට මේ නිර්මාණය ග්රහනය කර ගත යුතුම වේ.. නමුදු ඉතා සංවේදී මෙන්ම අමු යැයි සම්මත විෂය පථයේ සිනමා නිර්මාණයක් වන මෙය සංවේදී හදවත් ඇත්තවුන් සඳහා නොවේ බැව් කිව යුතුමය.
ආදිල් හුසේන්, අනූපම් කේර්, රාජ් කුමාර් රාඕ, ඩෙමී මුවර් වැනි ප්‍රවීණ රංගධරයන් සේම ඊට නොදෙවෙනි රංඅගනයක නිරත වන රුනාල් තාකූර්, ෆ්රීඩා පින්ටෝ වැන්නවුන් මේ සිනමා කෘතිය ප්‍රේක්ෂකාගාරයේ හද මඩලෙහි සංවේදීම ස්ථානයෙන් තම ග්රහනයට නතු කර ගැනීමට සමත් බැව් කිව මනාය. වර්තමාන සමාජයේ තවත් අඳුරු පැතිකඩක් පිළිබඳව පූර්ණ කතිකාවතක් වන මෙය නරඹන ලෙස ඔබටද ආරාධනා කරමින්..
තවත් දවසක හමුවෙමු..❤️?