Little Forest (2018) Korean by Ashini Randini
? Spoiler Alert ?
ඕනෙම පුද්ගලයෙක් ගිනිගහන ගෙන්දගම් පොළොවෙ තෙම්පරාදු වෙලා ජීවත් වීමේ තරගෙත් එක්ක ඔට්ටු වෙනකොට බොහෝ මොහොතවල් වලදි කෙනෙකුට තමන්වම තමන්ගෙ ආත්මයෙන් ගිලිහෙන්න පුලුවන් . ඒ මොහොතෙදි බොහොමයක් මිනිස්සු අඩපණ වෙලා හිතත් එක්ක පොර බදනකොට සමහරක් මනුස්සයො තට්ට තනියෙන්ම හුලගක් වගේ සැහැල්ලු වෙලා තමන්වම අහුලගන්න උත්සාහ කරන ගමන් තමන්ගෙම ලෝකයක් හදන්න ඔට්ටු වෙනවා…. ❤
සෝන්ග් හේ වොන්ටත් සිද්ධ උනේ හැම අස්වැසුමක්ම හැම හීනයක්ම තමන්ගෙන් ගිලිහිලා අතරමග ඔහේ පාවෙද්දි තමන්ගෙම පුංචි ලෝකයක් හදන්න මහන්සි වෙන්න ❤
ආදරණීය තාත්තා සදහටම සමුඅරන් යන්නම ගියාම ඕනෙම දෝණියෙකුට හෙවණැල්ලත් අම්ම , ශක්තියත් අම්ම , සතුටු සාගරෙත් අම්ම . වචනයේ පරිසමාප්තියෙන්ම හැමදෙයක්ම අම්ම .
? වල් ඌරො රාත්‍රියට එළිබහිද්දි පිණිමුවොත් කෑමොර දෙන්නෙ හරියට ගැහැණියක් හයියෙන් විලාප තියනව වගේ.
? දුවේ ඔයාට කවුරුහරි කරදර කරනව නම් ගනන් ගන්නෙපා . ඒ බාධක මගාරින්න . එයාලට ඒක කරන්න දෙන්න . ඔයා දුකෙන් ඉන්නව පෙන්නන්නෙපා එතකොට එයාල ඉබේම නතර වෙයි . …. .
ජීවිතයට අපූරු පණිවිඩ දුන්න වගේම තමන්ව නිතරම සතුටෙන් තියපු තමන්ගෙ සුන්දර මැජික්කාරි උණු අම්මත් හදිස්සියේම නොකියම ලියුන් කරදහියක් කුස්සියෙ හංගල යන්න ගියාම දුවක් අසරණ වෙන එක නම් අහන්නත් දෙයක්ද ?
සියෝල් වල ගුරු විභාගයත් අසමත් වීමත් එක්කම තමන්ගෙ අම්ම එක්ක ජීවත් උනු පුංචි ගම්මානයට සීත කාලය ගත කරන්න එන හේ වොන්ටත් තිබුණ අපූරු අභිලාෂයක්. ඒ තමයි අම්මගෙ රස කෑම වට්ටෝරු අත් හදා බලන ගමන් , බහ තෝරන සන්ධියේ අතිජාත මිත්‍රයො දෙන්න ඉයුන් සූක් ,ජේහා එක්ක ජීවිතේ විදින ගමන් තමන් කවුද කියල හොයාගන්න එක ,තමන්ට ඇත්තටම උරුම මොකක්ද කියල හොයාගන්න එක ❤
ඝන අහසෙ වලාකුලු අතරෙ සැගවිලා යන තරම් උස ගොඩනැගිලි , කාර්යබහුල කාලසටහන් , වාහන දුම් එක්ක විශාල සුඛෝපභෝගී නගරයක ජීවත් වෙන එක තරම් ඉස්තරම් දෙයක් තවත් නෑ කියල අදහපු හේ වොන් අන්තිමේ තේරුම් ගන්නව පුංචි සැහැල්ලු ගේ පොඩ්ඩක වැහි වතුරට තෙමෙන බිමක උනත් සැනසීමයි කියල ❤ . සිහි මදපවනක් ඇතුලෙත් තමන්ගෙ රාජධානිය හොයාගන්න පුලුවන් කියල ,ඕනෑවට වඩා වැඩ රාජකාරි එක්ක ඔට්ටු උනා කියල හිත අස්ස පහුරු ගාන ප්‍රශ්න වලට උත්තර බදින්න බෑ කියල .
ඔෆිස් කන්තෝරුවක කැරකෙන පුටුවට වඩා පුංචි ගම්මානයක ඩාදිය කදුලු එක්ක මහන්සි වෙලා අල ලූණු වගා කරන එකත් හරිම සැපදායකයි කියල හේ වොන්ට වගේම ජේහාට ඉයුන් සූක්ටත් ඒත්තු යනව ❤
සුවිශාල හීන මාලිගා අහසටත් උඩින් මවන්න කලින් තමන්ට උරුම පුංචි බිම්කඩක හීන වැපිරුවොත් ඉහටත් උඩින් පියාඹන්න පුලුවන් . ඉස් ඉස්සෙල්ලම කරන්නෝනෙ හීනියට උත්සාහයක් ගන්න එක.
ලූණු පොළවෙ පැල කරල මුල් අද්දවන කල් හොදින් සාත්තු කරල ආරක්ශා කරන්නෝනෙ . එතකොටයි ශක්තිමත් අංකුරයක් විදියට ලූණු අස්වැන්න ලැබෙන්නෙ . හිම වැටෙන කාලයේ සීතල දරාගෙන පොළව යට ඉපදෙන ලූණු වසන්තයේ දලුලන ලූණු වලටත් වඩා රසයි ,ශක්තිමත් ❤.
ඒකමයි හේ වොන්ගෙ අම්මටත් ඕනෙ කලේ . හේ වොන්ගෙ අම්මට උවමනා උනේ හේ වොන් දුක් කම්කටොලු දරාගෙන හිමේ පැලවෙන ලූණු ගෙඩියක් වෙනව බලන්න . අංකුර හටගන්නකල් රැකබලාගත්තට පස්සෙ බයක් හැකක් නැතුව පොළවෙන් උඩට මතු වෙන්න පුංචි ලූණු ගෙඩියට හයිහත්තිය දෙන්නෙ අම්ම .
? මට නැති උනු දේවල් හොයාගන්න මගෙ කැප කරපු හීන ආයෙමත් වපුරන්න මම යනවා . ඔයා තමයි මගෙ ලෝකෙම . ඔයාට ඕනෙකරන හැමදේම මම ඉගැන්නුව . තනියෙන් අතු විදහල පැලවෙන්න මගෙ දුවේ . පුංචි ගමේ මහපොළොවෙ සුවදයි , මෙහෙ හුලගයි වැලි වල සුසිනිදු බවයි මතකයේ තියාගන්න ……
හේ වොන්ගෙ අම්මගෙ මුලු ජීවිත කාලයම කැප කලේ හේ වොන්ගෙ පුංචි මාලිගාව හදන්න අත්තිවාරම ඉදි කරන්න .
හේ වොන්ගෙ අම්මටම අයිති පුංචි වන අරණ උනේ හරිත ගහකොල , සුනිල් දිය ජලාශ , මදපවන පිරුණු සොබාදහමයි , ඇයටම ආවේණික උනු රසනහර පිනාගියපු ආහාර වට්ටෝරුයි , හේ වොන් වෙනුවෙන් හිතේ පිරුණු ආදරයයි ❤
ඒ ඉතින් අම්මගෙ පුංචි වන අරණ . දැන් අම්ම පෙන්නපු අඩිපාර දිගේ ගිහින් පුංචි දෝණි එයාටම විතරක් අයිති වණ අරණක් හදාවි …….
? මම දැන් අම්මගෙ ලියුමට දෙන්නෝනෙ උත්තරය දන්නව . මම දැන් මගේ වනඅරණ හදන්නෝනෙ… ❤️
මේ අපූරු ඉන්ද්‍රජාලික දකුණු කොරියානු සිත්තමෙන් අපි හැමෝටම අපූරු පාඩමක් උගන්නනව . ඒ තමයි සමහර වෙලාවට සමහර දේවල් වලට යන්න දීල ගිලිහෙන්න යන්න හදන දේවල් වලට ගිලිහෙන්න දීල තමන්ගෙ වටේ පුංචි ඉඩහසරක උනත් තියෙන දේවල් දෝතෙන් තුරුලු කරගෙන තියෙන වපසරියට අනුව හැඩ ගැහෙන එක හොදයි කියන එක . ලොකු හීන මාලිගා වලට පයින් ගැහුවත් තියෙන පුංචි දෙයින් උනත් සතුටක් ලබල සරල විදියට කෑමයි හුලගයි ආදරෙයි එක්ක ජීවත් වෙලා තමන්ගෙ ආත්මය හොයාගන්න එකේ වැදගත්කම හේ වොන් වගේම ජේහා ඉයුන් සූක් හරි අපූරුවට කියා දෙනව .
මනසයි ගතයි දෙකම විඩාවෙන් බර කරන කප්පරක් ප්‍රශ්න හමුවේ නිරුත්තර උනාම වෙලාවකට අත්හරින එකත් කදිම පිළිතුරක් .උත්තර නැති ප්‍රශ්නයකට දිගටම උත්තර හොය හොයා හිතයි ගතයි ලෙඩ කරනොගෙන තමන්ට තියෙන පුංචි දේවල් වලින් සතුට උරුම කරගන්න හදන එක හරි අපූරු පිළිතුරක් .
හරියට වර්ජිනියාවෙ කලු ජාතික මිනිස්සුන්ට නිදහස උරුම කරල දෙන්න සටන් කරපු ක්ලොටී හෙන්ලිට ඇස් දෙක පියාගෙන නිදහස කියන රූපෙ හිතේ අන්දගන්න හදනකොට තමන්ගෙ රූපෙ හිතේ ඇදුන වගේ … එනෝලා හෝම්ස් අම්ම හොයාගෙන යන ගමනෙදි තමන්වම හොයාගත්ත වගේ… ඈන් ෆ්‍රෑන්ක් මරණ බයේ ඇනෙක්සියක හැංගිලා ඉන්න අතරෙ දිනපොතක් අස්සෙන් තමන්ගෙම පුංචි ඒත් බොහොම හයිය ලෝකයක් හදාගත්ත වගේ …..ඩියර් සින්දගී සලරුවේ ජීවත් උනු කයිරා අසීරු විකල්ප නැතිව ලේසි විකල්ප තෝරගෙන ගිලිහුනු ජීවිතය හොයාගත්ත වගේ …❤.
ඉතින් මම ආයෙමත් යන්නම් දැන් මොහොතකට කලියෙන් හේ වොන්ගෙන් ඉගෙනගත්තු අපූරු පණිවුඩයටම ……
සමහර සුවිසල් හීන මන්දිර වලට වඩා පුංචි ගෙයක් ඇතුලෙදිත් සැනසීම නිදහස හොයාගන්න පුලුවන් . තමන්ටම අයිති පුංචි වනලැහැබ උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න අත්හැරියාමත් අපිට හදන්න පුලුවන් . ❤
සමහර මොහොතවල් වලදී සමහර උභතෝකෝටික ප්‍රශ්න වලට ඔහේ යන්න ඇරල නිහඩව බලාඉන්න එකත් සැනසීමක් . එතකොට තමන්ට නිදහසේ පුංචි දෙයකින් උනත් තමන්ව හොයාගන්න පුලුවන් . නිදහසේ හුස්ම ගන්න ගමන් හීන වලට පණ දෙන්න පුලුවන් …..
ඉතින් නිදහස කියන්නෙම හුදෙක් වචනයකටත් එහා ගියපු අපූරු සංකල්පයක් . ❤️
