Lamb (2021) Icelandic by Luckshman Aranvala
අයිස්ලන්ත සිනමාවෙන් ලෝක සිනමාවට පිදෙන අපූර්ව සිනමා නිර්මාණයක්. අයිස්ලන්තය කිව්වම ඉතින් දර්ශනීය සොබහව සෞන්දර්යයේ සුන්දරත්වයකුත් මැවිල පේනවනේ. අන්න ඒක උපරිමයෙන්ම විඳින්නට හැකි අවස්ථාවක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. හැබැයි ඒක නෙමේ වැඩේ. A24 Horror Movie එකක් කිව්වම දැනෙන්නෙ කොහොම හැඟීමක්ද? දන්නෝ දනිති. දැනට මේක එහෙම එකක් කියල හිතාගන්නකො. අද්භූත චරිත විස්තරයක් එක්ක අමුතුම කන්සෙප්ට් එකක් තමයි මේ නරඹන්නට ලැබෙන්නේ. ඒ වගේම 94 වෙනි ඇකඩමි සම්මාන උළෙල සඳහා හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය වෙනුවෙන් තරඟ වදින්නට අයිස්ලන්තයෙන් ඉදිරිපත් කරන්නේත් මෙම චිත්‍රපටයමයි. හොඳම තෝරාගැනීමක්.
සොබහව සිරිය උතුරන පාරිසරික වර්ණනා වලින් පිරිල තිබ්බට මේක හරිම කම්මැලි ආරම්භයකින් තමයි සමන්විත වෙන්නේ. පළවෙනි පැය භාගය තුළ විශේෂිත කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. බැටළු ෆාම් එකක් සහ එහි හිමිකාරීත්වය දරන සැමියා සහ බිරිඳව අපිට මුලින්ම හඳුන්වා දෙනවා. ගොවිපලේ දෛනික කටයුතු දිහා තමයි බලන් ඉන්න තියෙන්නෙ. දෙන්නා අතරේ සීමිත දෙබස් ඛණ්ඩයන් ඇතිවෙනව වුණත් කතන්දරය මොන විදිහක එකක් වෙයිද කියන කිසිම ඉඟියක් ඒ තුළ නැහැ. ඉතින් ඔහේ බලන් ඉන්න අතරේදී මෙන්න හමුවෙනව අද්භූතජනක සංධිස්ථානය. ඉතින් එතනින් එහාට අවසානය වනතෙක්ම කුතුහලයෙන් බලන් ඉන්නට පුළුවන්. අතරින් පතර සිදුවන සිදුවීම් සමඟින් විස්මයට පත්කරවන අවසානයක් කරා එළඹෙන්නට පුළුවන්.
හැමදේම නරඹා අවසානයේදී තමයි ඇත්තටම මොකක්ද මේ වුණේ, මොකක් ගැනද මේ කියන්නේ කියන දේවල් ගැන නැවත සිතා බැලීමක් කරන්නට වෙන්නේ. කතන්දරයට අරක්ගන්නා ෆැන්ටසිමය වාතාවරණය තුළ තිබෙන රියැලිටිය වෙන්කර තෝරබේරා ගන්නට ඕන. මෙහෙම ගමුකෝ. එකම පරිසර පද්ධතියකට අයත් ජීවීන් ප්‍රභේදයක් විදිහට මිනිස්සු සහ සත්තු වෙනස් වෙනස් වෙන්නේ කොහොමද? මනුස්සයා කියන ජීවියාට උසස් මනසක් තියෙන නිසා, හිතන්න පතන්න පුළුවන් නිසා වැනි කාරණා නිසානේ. එතකොට මනුස්සයා කියන සතාට තියෙනවා අමුතුම අධිකාරීත්වයක්. බලු අම්මෙක්ට හම්බවෙන බලු පැටියෙක්ව ඒ බලු අම්මගෙන් වෙන් කරලා අපේ කරගෙන හදාවඩා ගන්න අපිට අයිතියක් තියෙනවා. කොහෙන් ආපු අයිතියක්ද ඒ? බලු පැටියාත් සුවචව කීකරුව අපේ සෙවණේ හැදෙනවා වැඩෙනවා අපිට ආදරේ කරනවා අපිව රකින්නට පවා ඉදිරිපත් වෙනවා. එයාව මෙලොවට බිහිකරපු බයොලොජිකල් අම්මව එයාට මතකවත් නෑ. අනික තමන්ගෙ දරුවව තමන්ගෙන් වෙන් කළාට එරෙහි වෙන්නට ඒ බලු අම්මටත් වුවමනාවක් නෑ. බැරිවෙලාවත් ඒ බලු අම්මා බුරාගෙන හපන්න ආවොතින් ගහල පන්නල දාන්නත් මිනිස්සු වෙච්ච අපිට අයිතියක් තියෙනවා. ඒ අනුව අපේ අවශ්‍යතාවයක් සපුරාගන්නට අපි ආස කරන සතෙක්ව ඒ සතාගෙ සැබෑ අම්මගෙන් වෙන් කරලා අපේම කරගෙන හදාගන්න අපිට අයිතියක් තියෙනවා. ඕනෑම සුරතල් සතෙක් සම්බන්ධයෙන් ඔය කාරණාව ඔහොමයි. නමුත් මනුස්ස දරුවෙක් හදාවඩාගන්න කොට නීති රෙගුලාසි බොහෝමයි. මේ කතන්දරයේ එක පැතිකඩක් අපිට එහෙම ගළපගන්න පුළුවන්.
තවත් පැත්තකින් තමන්ගෙ නොවන පවුලක ජීවත් වෙන දරුවෙක්ගෙ මානසිකත්වය සම්බන්ධයෙන් වෙනමම කතිකාවතක් මෙහි අඩංගුයි. හිතන්නකො බලහත්කාරයෙන් දරුවෙක් පැහැරගෙන ගිහින් ආදරය සෙනෙහස රැකවරණය නොඅඩුව පුදකරලා ඒ දරුවව සුවෙන් සැපෙන් හදාවඩා ගන්නවා කියලා. ඉතින් ඒ දරුවා ඒ තමන්ගෙ නොවන පවුල ඇතුළෙ ඒ විදිහට සුවසේ හැදෙන වැඩෙනකොට තමන්ගෙ සැබෑ මවපියා ගැන මතකයෙන් ඇත්තටම දරුවට වැඩක් නෑනෙ. අර මුලින් කියපු කාරණයටම අදාළ වෙන වෙනත්ම පැතිකඩක්. මේ කතන්දරය ඇතුළෙ ඇත්තටම කථාවෙන්නේ ඒ කියන බලහත්කාරයෙන් ගොඩනඟාගන්නා සබඳතාවයක් ගැනම තමයි. බලහත්කාරය තුළම සැබෑම වූ ස්නේහයක් නිරායාසයෙන්ම ගොඩනැගිලා. නිවැරදි විදිහ නොවුනාට සිස්ටම් එක හැදෙන්නෙ එහෙමයි. එතකොට මේ අම්මා තාත්තා දරුවා කියන ප්‍රීතිමත් පවුල මැද්දට එබෙන්නට හදන එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වූ දෙදෙනෙකුත් අපිට දකින්නට ලැබෙනවා. පවුලට අවුලක් නොවන පිණිස ඒ දෙදෙනාව පවුලෙන් ඉවත් කරන්නට ඒ අම්මා එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වූ ක්‍රම දෙකක් භාවිතා කරනවා. මේකත් මේ කතාවෙ වැදගත් පැතිකඩක්. විමසිල්ලෙන් නරඹන්න. තවත් දේ හමුවේවි.
***************************************************
Directed by
Valdimar Jóhannsson
Written by
Sjón
Valdimar Jóhannsson
Produced by
Hrönn Kristinsdóttir
Sara Nassim
Piodor Gustafsson
Erik Rydell
Klaudia Śmieja-Rostworowska
Jan Naszewski
Starring
Noomi Rapace
Hilmir Snær Guðnason
Björn Hlynur Haraldsson
Ingvar Eggert Sigurðsson
Cinematography
Eli Arenson
Countries
Iceland
Sweden
Poland
Language
Icelandic